රාජ්‍ය ආදායම දිගින් දිගටම පහළ වැටෙන බව පසුගිය සමයේ ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව සනාථ වෙයි. එහෙත් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා වගකිව යුත්තන් ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් දක්නට නැත. මේ නිසා රජයට අත්‍යවශ්‍ය වියදම් සඳහාද ණය ලබාගැනීමට සිදුව තිබේ. මේ වනවිට අනාවරණය වන්නේ රාජ්‍ය ආදායමෙන් සියයට 86ක් පමණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ දීමනා මෙන්ම විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාද වැය වන බවයි. එසේ නම් රටේ සෙසු අවශ්‍යතා සඳහා රාජ්‍ය ආදායමෙන් ඉතිරිව ඇත්තේ සියයට 14ක් පමණ සුළු ප්රමාණයකි. මෙය කොතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද යන්න දැඩි ලෙස සලකා බැලිය යුතු වේ.
2020 වසරේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව සනාථ වන්නේ එම වසරේ රාජ්‍ය ආදායම 2019 වසරට වඩා සියයට 27.7කින් පහළ වැටී ඇති බවය. 2019 වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1890.9ක් වුවද 2020 දී එය බිලියන 1369ක් දක්වා පහළ වැටී ඇත. මෙය බිලියන 522.9ක අඩුවීමකි. එසේම බදු ආදායමේ පහළ වැටීමේ ප්‍රතිශතය 29.9ක් වේ. 2019 වසර හා සසඳා බැලීමේදී බදු ආදායම රුපියල් බිලියන 1734.9 සිට 1216.5 දක්වා බිලියන 518.4කින් අඩුවී තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු සහ සෙස් බදු මෙන්ම සුරා බදුද එකතුවීම අඩුවීම බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි. ඍජු බදු ආදායමද 2019 හා සැසඳීමේදි සියයට 24.7 සිට 22.1 දක්වා සියයට 2.6කින් පහළ ගොස් තිබේ.
වක්‍ර බදු ආදායමද මුළු බදු ආදායමෙන් 2020දී සියයට 77.9ක් වී ඇති අතර එය 2019 වසරට වඩා සියයට 2.9කින් හෙවත් බිලියන 151.4කින් අඩුවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2019 වසරේ දෙසැම්බර් මාසයේ 01දා සිට වැට් බදු ප්‍රතිශතය සියයට 15 සිට 8 දක්වා පහළ හෙලීම බදු එකතුවට විශාල ලෙස අහිකරව බලපා තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව ප්‍රකාශ කරයි. දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2019 සියයට 3ක් වූ වැට් බදු ආදායම 2020 දී සියයට 1.6ක් දක්වා පහළ වැටී ඇත. වැට් බදු ආදායම 2019 වසරේදී රුපියල් බිලියන 443.9ක්ව තිබී ඇති අතර එය 2020දී රුපියල් බිලියන 233.8ට අඩුවී ඇත. මෙය සියයට 47.3ක අඩුවීමක් වෙයි. සුරාබදු ආදායමද දල දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2.7 සිට 2020 දී 2.2 දක්වා අඩු වී ඇත.
2020 වසරේ අපේ ආර්ථික වර්ධන වේගය ඉතිහාසගත ලෙස ඍණ 3.6ක් බවට පත්වීම හුදෙක් කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් බවට හුවා දැක්වීම සාධාරණ නොවන අතර රටේ ආදායම එකතු කිරීමේ සහ බදු අයකර ගැනීමේ අකාර්යක්ෂමතාව මෙයට හේතුවක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පවසති. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් 3852ට සාපේක්ෂව 2020දී 3682 දක්වා ඩොලර් 170කින් පහළ වැටී තිබෙන බවද පවසයි. සමස්තයක් වශයෙන් සැලකූ විට ආර්ථිකයේ ප්‍රමාණය 2019 අමෙරිකානු ඩොලර් බිලියන 84 සිට 2020 දී බිලියන 80.7 දක්වා බිලියන 3.3කින් පහළ වැටී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන මෙම දත්තයන් කිසිදු විවේචනයකින් තොරව අපට පිළිගැනීමට සිදුවේ. බොහෝ අවස්ථාවලදී මෙම සංඛ්‍යාලේඛන පිළිබඳ ගැටලු ඉදිරිපත් වුවද ඒවා සනාථ කිරීම දුෂ්කර නිසා පවතින තත්ත්වය පිළිගැනීම හැර අන් විකල්පයක් නොමැත. කෙසේ වුවද 2020 ආර්ථිකය සියයට 3.6කින් සංකෝචනය වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස බදු ආදායම පහළ වැටීම සැලකිව හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව 2019 වසර වනවිට අපේ රටේ ආදායම් බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 281,105කි. මෙය විශාල ගණනක් ලෙස බැලූ බැල්මට පෙණුනද රටේ සමස්ත ජනගහණයට සාපේක්ෂව සහ රුකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය අනුව මෙම සංඛ්‍යාව ඉතාම කුඩා බව පෙනේ. රටේ පවතින ආයෝජන සහ ව්‍යාපාර මෙන්ම ආදායම් උපයන්නන්ගේ සංඛ්‍යාව අනුව මෙම ප්‍රමාණය අවම වශයෙන් දෙගුණ විය යුතු බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.
කෙසේ වුවද පෙනී යන කරුණක් වන්නේ අපේ රටේ ආදායම් බදු ගෙවීමට සුදුසු අයගෙන් බදු ගෙවන්නේ ඉතාම ස්වල්පයක් බවය. කෙනෙකුගේ ආදායම ස්වේච්ඡාවෙන් අනාවරණය කරන ක්‍රමයක් ඇති නමුත් බොහෝ දෙනා මෙලෙස තම සත්‍ය ආදායම රජයට අනාවරණය කරන්නේ නැත. විවිධ උපක්‍රම යොදාගෙන සත්‍ය ආදායම වැසැංගීමට කටයුතු කරන බව පෙනී ගොස් තිබේ. ඒ සඳහා ඔවුන්ට උදව් කරන බදු උපදේශකවරු ඕනෑතරම් සිටිති. ඒ බොහෝදෙනා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට සම්බන්ධකම් තිබෙන අයයි. මෙහිදී ඔවුන්ට දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේද සහයෝගය ලබා ගැනීමට හැකි වී තිබේ. මෙලෙස බදු ආදායම අඩුවෙන් දැක්වුවද දෙපාර්තමේන්තුව එය පිළිගන්නවා විනා එතැනින් එහාට කරුණු සෙවීමක් සිදුකරන බවක් දක්නට නැත. මෙහිදී සිදුවන්නේ තෝරු මෝරු බදු දැලෙන් රිංගා යන අතර හාල්මැස්සන් පමණක් දැලේ පැටලීමය.
බදු ගෙවීමට ඉදිරිපත් වන පුංචි මිනිහා පසුපස පන්නන නිලධාරීන් බදු වංචා කරන ලොකු ලොක්කන් ගැන සොයන්නේ මඳ වශයෙනි. සමහර අයගේ බදු ලිපිගොනුවල වසර තුනක් පමණ අඩු ආදායම් පෙන්වා අනතුරුව එම ලිපිගොනු වසා දමන තැනට පත්කරයි. මෙය සැලසුම් සහගත කුප්‍රකට බදු වංචාවක ප්රතිඵලයකි.
පසුගිය යහපාලන රජය සමයේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක උත්සාහ කළේ බදු ලිපිගොනු සංඛ්‍යාව වැඩිකර ගැනීමටය. එහෙත් එලෙස වැඩිකළ ලිපිගොනු විවෘතව තිබුණේ කුඩා ව්‍යාපාරිකයන් සඳහා පමණි. 7000 පමණ වන එම ලිපිගොනු සංඛ්‍යාවෙන් සියයට 80ක් පමණ වූයේ කුඩා ව්‍යාපාරිකයන් වෙනුවෙනි. කෙසේ හෝ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ එම අවස්ථාවේදීද හසුකර ගැනීමට නොහැකි විය. එසේ අලුතින් විවෘත කළ ලිපි ගොනුද මඳ කාලයකින් වසා දමන්නට සිදුවූයේ ඔවුන් පෙන්වා තිබූ ආදායම බදු අයකරන මට්ටමට වඩා පහළ වූ නිසාය. මෙයින් අපට පෙනී යන්නේ බදු ගොනු සංඛ්‍යාව වැඩි කළද බදු වංචාකරුවන් අල්ලා ගැනීමට එය සාර්ථක උපක්‍රමයක් නොවන බවය. ආදායම වැඩිකර ගැනීමද සිදු නොවේ.
අනෙක් අතට පෙනී යන කරුණක් වන්නේ බදු ගෙවිය යුතු තරමටත් වඩා ආදායම් ලබන අය වැඩි දෙනෙකුගෙන් බදු අයකර ගැනීමට නීති සම්පාදනය වී නොමැති බවය. නීතීඥවරුන්, දොස්තරවරුන්, ඉංජිනේරුවන්, පෞද්ගලික අධ්‍යාපන ආයතන පවත්වන ගුරුවරුන් ආදීන්ගෙන් බදු අයකර ගැනීමට ප්‍රතිපාදන නොමැත. ඒ නිසා ඔවුන් රජයට බදු වශයෙන් රුපියලක් හෝ නොගෙවන විශාල ධනයක් උපයති. මේ පිළිබඳ විවිධ ආණ්ඩු සමවලදී සාකච්ඡා කළද ක්‍රියාත්මක වීමක් සිදුව නැත. මෙහි පවතින තවත් දුර්වලතාවක් වන්නේ පෞද්ගලික රෝහල්, දුරකතන සමාගම් සහ විශාල නිෂ්පාදන ආයතනවලින් අයකරන බදු ඔවුන් පාරිභෝගිකයාට බැර කිරීමය. බදු ගෙවිය යුත්තේ ලාභයෙන් වුවද මෙහිදී සිදුවන්නේ ලාභයට අත නොතබා ආදායම් බද්ද පාරිභෝගිකයාට &පාස්* කර ඔවුන්ගෙන් අයකර ගැනීමයි.
බොහෝ අවස්ථාවල පෙනී යන්නේ පහසුවෙන් අයකර ගත හැකි බදු මුදල් පවා අයකර ගැනීමට කටයුතු කර නොමැති බවය. කැසිනෝ ව්‍යාපාරයෙන් පමණක් හිඟ බදු මුදල රුපියල් මිලියන 2670 (කෝටි 267) බව පසුගිය ගිණුම්කාර සභාවලින් අනාවරණය වී තිබේ.
බදු පියවීමේ විශේෂ විධිවිධාන පනතේ 12 වගන්තිය අනුව 2019 දෙසැම්බර් 31 දිනට රුපියල් කෝටි 14450ක බදු මුදලක් අයකර ගත හැකිව තිබූ බදු මුදල් බවට අනාවරණය වී ඇත. එහෙත් එය අයකර ගැනීමට උනන්දුවක් දක්වා ඇති බවක් සනාථ වී නොමැති බව පැවසේ. එසේම දෙසැම්බර් 31 දින වනවිට රුපියල් කෝටි 24ක චෙක්පත් 6878ක් අගරු වී ඇති බවද අනාවරණය විය. එහෙත් ඒවා අයකර ගැනීමට ගත් ක්‍රියාමාර්ග සාර්ථක නොවී ඇති බවද අනාවරණය වී ඇත. චෙක්පත් අගරු වූ විට සියයට 10ක දඩ මුදලක්ද සමඟ අයකර ගත යුතුවෙයි.
අද වනවිට ඉතාම දියුණු තාක්ෂණයක් තිබියදී චෙක්පත් දීම වැනි සාම්ප්‍රදායික ක්‍රමවලට නොගොස් බදු මුදල් ගිණුමට දැමීමේ ක්‍රමයක් ඇතිකළ හැකිය. චෙක්පත් බාර නොගෙන එය මුදලින් ගෙවා රිසිට්පතක් ඉදිරිපත් කිරීමට නියම කිරීමටද පුළුවන. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිඟ බදු අයකරන වෙනම අංගයක් ඇති අතර එම බදු අය කිරීමේ වගකීම ඔවුන් සතුවේ. බදු නොගෙවන අවස්ථාවලදී දේපල තහනම් කිරීමේ ක්‍රමවේදයක්ද පවතින නමුත් එය ක්‍රියාත්මක කරන බවක් දැකගත නොහැකිය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ගිණුම් මේ වනවිට ජාත්‍යන්තරව පිළිගත් Remix System වලට පරිවර්තනය කර ඇති නිසා බදු නොගෙවන අය සොයාගැනීමට මෙන්ම බදු එකතු කිරීම කාර්යක්ෂම කිරීමට පහසු වී ඇති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. එහෙත් වරද වන්නේ ඇතැම් නිලධාරීන් ඉදිරි පියවර ගැනීමට දක්වන මන්දෝත්සාහීභාවය බව දැනගන්නට තිබේ.
ආදායම් බදු වංචා කිරීමටත් වඩා භාණ්ඩ ආනයනයේදී වක්‍ර බදු වංචා කිරීමෙන් රජයට වාර්ෂිකව රුපියල් මිලියන 100කට වැඩි ආදායමක් අහිමිවන බව පෙනීගොස් ඇත. භාණ්ඩ ආනයනකරුවන් බදු වංචා කිරීම ක්‍රම කිහිපයකට සිදුකරන බව අනාවරණය වේ. ඉන් එකක් වන්නේ ව්‍යාජ ඉන්වොයිස් ඉදිරිපත් කිරීමයි. නියමිත වටිනාකමට වඩා අඩු වටිනාකමක් පෙන්වීමෙන් රජයට ගෙවිය යුතු තීරු බදු ආදිය වංචා කිරීම සිදුවේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා තවමත් රේගුවට නොහැකි වී ඇති අතර ඇතැම් අවස්ථාවලදී සමහර රේගු නිලධාරීන් දැනුවත්වම මෙම වංචාව කරන බවට ආරංචි පළවේ. සමහර ආයතනවල නම දුටුවිට ඔවුන් පිළිබඳ ලිස්සා යන ක්‍රමයක් අනුගමනය කරන බව කියයි.
තවද වටිනාකම අඩු භාණ් යට සඟවා තබා වටිනා භාණ්ඩ ආයනයනය කිරීමද සිදුකරන තවත් වංචාවකි. මතුපිටින් පෙනෙන ඒවාට ඒවාට වඩා වෙනස් භාණ්ඩ එම බහාලුම් තුළ සඟවා ආනයනය කෙරේ. ප්‍රමිතියෙන් හොඳ ද්‍රව්‍ය සමග ප්‍රමිතිය අඩු බාල භාණ්ඩද ගෙන්වීම බොහෝ කලක සිට කරගෙන එන්නකි. පසුගියදා විෂකාරක අඩංගු පොල්තෙල් හොඳ පොල්තෙල් සමග ආනයනය කිරීමද මෙවැනි කූට උපක්‍රමයක් විය. අබලි වාහන කොටස් යැයි පෙන්වා අලුත් වාහන ගලවා එම කොටස්ද මිශ්‍රකර එවන අතර රේගුවෙන් නිදහස් කර ගැනීමෙන් පසු අලුත් වාහන නිර්මාණය කෙරේ. ප්‍රමිතියෙන් බාල ආහාර ද්‍රව්‍ය, ගෙන්වීමද සිදුවන අතර පුවක්, වියලි මිරිස්, උම්බලකඩ ආදී බාල භාණ්ඩ හොඳ ඒවා ලෙස හුවා දක්වමින් ආනයනය කරයි. එසේම ආනයනය තහනම් කළ ද්‍රව්‍ය එසේ නොවන භාණ්ඩ යට සඟවා රට තුළට ගෙන එයි. පසුගිය දිනවල සිදුවූ වියලි කහ ආනයනය මෙයට හොඳ උදාහරණයකි.
සාමාන්‍යයෙන් භාණ්ඩ කාණ්ඩ 3000කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කරන නමුත් රේගුවට සාමාන්‍යයෙන් පරීක්ෂා කිරීමට හැකිව ඇත්තේ ඒවායින් 1600-1700 පමණ වන බව දැනගන්නට තිබේ. සමහර භාණ්ඩ අඩංගු කන්ටේනර් උඩින් මත්තෙන් පරීක්ෂා කර පිටකරන අතර එය සංවිධානාත්මකව මෙන්ම අවශ්‍ය නිලධාරීන්ගේ හිඟය නිසාද සිදුවන බව දැනගන්නට තිබේ.
මෙවැනි බදු වංචා ශ්‍රී ලංකාවට පමණක් ආවේනික නෙවන අතර ලොව දියුණුවෙමින් පවතින රටවලට පොදුවූ ලක්ෂණයක් බව ප්‍රකාශ වී තිබේ. අපේ රටේ මෙලෙස බදු වංචා සිදුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වංචනිකයන්ට ලබාදෙන දඬුවම් ප්‍රමාණවත් නොවීමය. එසේම පවතින නීති රාමුව යටතේ මේවා පිළිබඳ පැමිණිලි අධිකරණවලට ඉදිරිපත් කිරීම ප්‍රමාද වන අතර අන්තිමට දඬුවම ලැබෙන විට සිදුවිය යුත්ත සිදුවී හමාරය. මෙය අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීම වැනි ක්රියාමාර්ගයකි. එසේම අද සිදුවන බොහෝ වංචා පිටුපස දූෂිත දේශපාලනඥයන් සිටීමද වංචාකරුවන්ට ඉමහත් පිටිවහලක්ව ඇත.
රටට නියමිත බදු ආදායම නොලැබී යාම පැති කිහිපයකින් හානිදායක වෙයි. අපේක්ෂිත ආදායම අහිමිවීම නිසා රජයට අත්‍යාවශ්‍ය සේවා සඳහා මුදල් සොයාගැනීම දුෂ්කර වේ. සමාජ සුබසාධනය, ආහාර හා ඖෂධ යටිතල පහසුකම් නඩත්තුව ආදියට වැය කිරීමට මුදල් නොමැති වේ. එවිට සිදුවන්නේ මුදල් ණයට ගැනීමටය. ඒ හැරුණු විට බාල භාණ්ඩ ජනතාවට ලැබීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙයි. රෝගී වූ ජනතාවට ප්‍රතිකාර සඳහා වැඩි මුදලක් වැය කිරීමට රජයට සිදුවේ. ගුණාත්මක භාවයෙන් අඩු භාණ්ඩ ප්‍රමිතියෙන් පහළ භාණ්ඩ රට තුළට ඒම රට තුළ සිදුකෙරෙන ව්‍යාපෘතිවලට හානිකර වේ. ඒවායේ ජීවන කාලය කෙටිවීමටද හේතු වේ. ඒ නිසා රටට ලැබිය යුතු ඍජු සහ වක්‍ර බදු ලබාගැනීම සඳහා සෑම රජයක්ම දැඩි උනන්දුවකින් කටයුතු කළයුතු වෙයි. ආදායම් ඉලක්ක නිර්ණය කර ගෙන ඒවා නිශ්චිත කාලයක් තුළ සපුරාලීමට පියවර ගත යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
යසවර්ධන රුද්‍රිගු