2021 ජුලි 03 වන සෙනසුරාදා

ෆෙස්බුක් වර්ණනා අලුත් නවකතාකරුවන් නොමඟ යවනවා

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 857

- චූලාභය ශාන්ත කුමාර හේරත්

චූලාභය ශාන්ත කුමාර හේරත් කෙටි කලකින්ම පාඨක ප්‍රජාව අතර නමක් දිනාගත් නවකතා රචකයෙකි. ඔහුගේ අලුත්ම නවකතාව චක්‍රවර්ති පසුගියදා සුරස පොතක් ලෙස නිකුත් විය. මේ චූලාභය දේශය සමඟ තම කෘතිය ගැන කළ කතාබහකි.

ඔබේ චක‍්‍රවර්ති නවකතාව පළමු මුද්‍රණය මාසයක් තුළ අලෙවි වී අවසන් වුණා. රට තුළ වසංගත තත්ත්වයක් පවතිද්දී පවා සිදුවූ ඒ දේ ගැන කිව්වොත්?

ඊට හේතු කීපයක්ම බලපාන්නට ඇති. මගේ මුල්ම නවකතාව ‘සූරිය කුසුම’ හි සිට ‘සඛී භාර්යා’ සහ 2018 වර්ෂයේ නිකුත් වූ ‘මා’ නවකතාව වනවිට මගේ නවකතා ප‍්‍රිය කරන සහ කියවන කිසියම් පාඨක පිරිසක් ගොඩනැගී තිබුණා. ඔවුන් අලුත් නවකතාවක් ගැන විමසිල්ලෙන් සිටියේ. මගේ හැම නවකතාවක්ම මුද්‍රණ වාර තුනකට වඩා වැඩි ප‍්‍රමාණයක් නිකුත්ව තිබුණා. ‘මා’ නවකතාව මේ වනවිට මුද්‍රණ වාර හතක් නිකුත් කර තිබෙනවා. සමාජ මාධ්‍ය තුළින් සහ වෙනත් මාධ්‍යවලින් චක‍්‍රවර්ති පිළිබඳව අප කළ පූර්ව ඉඟිකිරීම් ද එහි ඉක්මන් අලෙවියට බලපාන්නට ඇති. වසංගත තත්ත්වය සමඟ අපේ රටේ ‘ඔන්ලයින්’ පොත් බෙදාහැරීමේ ක‍්‍රමවේදය වඩාත් ජනප‍්‍රිය වී තිබෙනවා. පළමු මුද්‍රණයේ පොත් විශාල සංඛ්‍යාවක් පාඨකයන් මිලදී ගෙන තිබුණේ ඔන්ලයින් ක‍්‍රමයට.

ගුවන්විදුලි නිෂ්පාදකයෙක් සහ තිර රචකයෙක් ලෙස දැන සිටි ඔබ කෙටි කලකින්ම නවකතා කලාවේ ස්ථාවරත්වයට පත්වෙනවා. ඔබ මුලින් සිතා සිටියා ද ලියන නවකතා පාඨකයන් වැළඳගනීවි කියලා.

මා ලේඛනයට පිවිසියේ පාසල් වියේදී. ගුවන්විදුලියට මුලින්ම සම්බන්ධ වන්නෙත් පිටපත් රචකයෙක් ලෙයසි. එකල මා වැඩි නැඹුරුවක් දැක්වූයේ කෙටිකතාකරණයට. මුල්ම නවකතාව පළ කරද්දී ඒ ගැන යම් චකිතයක් තිබුණා. නමුත් එයට හොඳ පාඨක ප‍්‍රතිචාරයක් ලැබුණා. සෑමවිටම මට, මා ලියන දේ ගැන විශ්වාසයක් තිබුණා. මගේ දීර්ඝකාලීන වෘත්තීය සන්නිවේදන ජීවිතය තුළ ශ‍්‍රාවක, ‍ප්‍රේක්ෂක, පාඨක ආකර්ශනය ලබාගැනීම පිළිබඳ මට කිසියම් ආකාරයක පළපුරුද්දක් ඉවක් සහ පරිචයක් තිබුණා. නවකතාකරණයේදීත් මා ඒ දැනුම නවකතාවට උචිත ආකාරයට භාවිත කළා. 

ඔබේ කෘතිවලට ලැබුණු විචාරක අවධානය ප‍්‍රමාණවත්ද?

ඒ ගැන සෑහීමකට පත්වන්නට බැහැ. මගේ නිර්මාණවලට පමණක් නොවේ සමස්තයක් හැටියට ගත්තත් සිංහල නවකතා සහ අනිකුත් කෘතීන් සඳහා ප‍්‍රමාණවත් විචාරයක් දක්නට ලැබෙන්නේ නැහැ. මාධ්‍ය තුළත් පොත් පත් විචාරයට ඇති ඉඩකඩ අඩුයි. අන්තර්ජාලය තුළ ද බොහෝවිට දක්නට ලැබෙන්නේ කෘතීන් විචාරයට වඩා අදහස් දැක්වීම් පමණයි. විචාරයක් යනු අදහස් දැක්වීමක් පමණක්ම නොවෙයි. අද දක්නට ලැබෙන බොහෝ විචාර ද යල් පැනගිය පැරණි සාම්ප‍්‍රදායික මිනුම් දඬුවලින් කරන ලද විචාර. වර්තමානයට ගැලපෙන විචාර කලාවක අවශ්‍යතාවක් මා දකිනවා. 

මෙතෙක් ඔබ ලියුවේ නූතන සමාජ පැතිකඩ විවරණය කරන නවකතායි. චක‍්‍රවර්ති කෘතිය මහනුවර යුගය සිසාරා යන කෘතියක්. මේ ඓතිහාසික කතා ගැලපීමට මහනුවර යුගය ගැන අධ්‍යයනය කළාද?

චක‍්‍රවර්ති වර්තමානය සහ ඉතිහාසය සංකලනය වූ නවකතාවක්. ඓතිහාසික නවකතාවකදී එයට පාදක වන ඉතිහාසය පිළිබඳ බොහෝ හැදෑරීම් කළ යුතුයි. මගේ වෘත්තීය ජීවිතයෙන් වැඩිම කාලයක් ගෙවුණෙ මහනුවර කඳුරට සේවයේ. එහිදී වැඩසටහන් සඳහා මහනුවර යුගයේ ඓතිහාසික දේශපාලනික සංස්කෘතික සහ සමාජයීය පසුබිම පිළිබඳ බොහෝ අධ්‍යයනයන් කරන්නට සිදුවුණා. ඒ පිළිබඳ විද්වතුන් සහ පොත පත ඇසුරු කළා. ඒ දැනුම යාවත්කාලීන කරගනිමින් තව තවත් තොරතුරු ගවේශනය කරමින් මා මේ ප‍්‍රබන්ධයට එකතු කළා. චක‍්‍රවර්ති ලියැවෙන්නේ විශාල හැදෑරීමකින් අනතුරුවයි.

සම්මාන ලබන බොහෝ නවකතා කියවීමට අපහසු බවට චෝදනා කලක සිටම නැගෙනවා. ඔබට ඒ තත්ත්වය නිරීක්ෂණය වුණාද? ඔබ එයට හේතු ලෙස දකින්නේ කුමක්ද?

මේ චෝදනාවෙහි ඇත්තක් නැතුවාමත් නොවෙයි. පොතක් නම් එය කියවිය හැකි විය යුතුයි. අන්තර්ගතය කොයි තරම් බරසාර වුවත්, අරුත්බර වුවත් එය පාඨකයාට කියවාගැනීම අපහසු නම් ලේඛකයාගේ උත්සාහය අපතේ යෑමක්. නවකතාවක් අතිශයින්ම සරල විය යුතුයි යන්න මා එයින් අදහස් කරන්නේ නැහැ. කෘතියක ආරම්භයේ සිට අවසානය දක්වාම පාඨකයා ග‍්‍රහණය කර රඳවාගැනීමේ උපක‍්‍රම ලේඛකයා සතුයි. ඕනෑම කෘතියක අන්තර්ගතයට ගැලපෙන ආකර්ශනීය බස් වහරක් සහ රිද්මයක් යොදාගැනීම ලේඛකයාගේ වගකීමක්. බොහෝ නවකතා නීරස වන්නට නිසි සංස්කරණයක් සිදු නොවීමද එක් හේතුවක් බවයි මගේ පෞද්ගලික හැඟීම.

අද තරුණයන් විශාල පිරිසක් නවකතාකරණයට එළඹිලා. ඔබ එය දකින්නේ කොහොමද?

ඉතා හොඳයි. තරුණ ලේඛක ලේඛිකාවන් බොහෝ දෙනෙක් අලුත් තේමාවන් සහ ආකෘතීන් සොයා යනවා. එය සතුටක්. එමෙන්ම පොතක් පළකර ගැනීමේ හදිස්සිය බොහෝ තරුණ නවකතාකරුවන්ට අයහපත් ලෙසින් බලපා තිබෙනවා. එයට හේතුව නිර්මාණකරණයෙහි කිසියම් පරිණත තත්ත්වයකට පැමිණෙන්නට පෙර නිර්මාණ ජනගත කිරීමට උත්සාහ කිරීම කියලයි මට හිතෙන්නෙ. ඕනෑම නිර්මාණයක් ජනගත කිරීමට පෙර මනා සංස්කරණයකට ලක්විය යුතුයි. තරුණ නිර්මාණකරුවන්ගේ ඉදිරි ගමනට අවිචාරවත් අගය කිරීම් ද විශාල හානියක් ගෙන දෙනවා. මෙය සමාජ මාධ්‍ය තුළ බහුලව දක්නට ලැබෙනවා. එහි පළකෙරෙන අසාර්ථක නිර්මාණයකට පවා ලැබෙන්නේ ප‍්‍රශංසාත්මක අගය කිරීම් පමණයි. ඉන් නිර්මාණකරුවා කිසියම් ආකාරයක අධි තක්සේරුවකට පත්වෙනවා. එය තරුණ නිර්මාණකරුවන්ගේ ඉදිරි ගමනට හානිදායක බවයි මගේ අදහස. කෙසේ වෙතත් වර්තමාන තරුණ නිර්මාණකරුවන් අතර ඉතා ප‍්‍රශස්ත නිර්මාණකරුවන්ද සිටීම සතුටක්.

 කුසුම්සිරි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03