2021 ජුලි 10 වන සෙනසුරාදා

කොවිඩ් එන්නත්කරණය මුහුණදෙන අභියෝග

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

කොවිඩ් වෛරසය පාලනය කිරීම සඳහා එන්නත්කරණය කරගෙන යයි. සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට ජනගහණයෙන් මිලියන දහ තුනක කොටසකට කොවිඩ් එන්නත ලබාදිය හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරයි. ඇණවුම් කරන ලද එන්නත් තොග ලැබෙමින් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ සපයන එන්නත් ප‍්‍රමාණයක් ද ඉදිරි කාලයේ දී මෙරටට ළඟාවෙනු ඇතැයි සැලකේ. විධිමත් කළමනාකරණයක් සහිතව සියලු පුරවැසියන් වෙත එන්නත ලබාදීමට සැලසුම් සකස් කරමින් සිටී. එහෙත් ප‍්‍රශ්න තිබේ. සැලසුම් ගැන ජනතා විශ්වාසය තුරන් කරන ක‍්‍රම විරැද්ධ මතධාරීහු අනුගමනය කරති. වෘත්තීය ක‍්‍රියාමාර්ග පවා එයට ඇතුළත්ය. ඉතාම අවශ්‍ය කාල වකවානුවක වෛද්‍යවරැන් ඇතුළු කාර්ය මණ්ඩලය වරින් වර වර්ජනය කිරීම නිරීක්ෂණය කළ හැකි තත්ත්වයකි.

එන්නත නිපදවන පමණක් නොව කොවිඩ් වෛරසය පාලනය කරන්නට තරම් බලවත් ආර්ථික ශක්තියක් ඇති රටවල් පවා අද මුහුණ දී ඇති ගැටලුවක් තිබේ. සමහර කොටස් එන්නත ප‍්‍රතික්ෂේප කරති. ජනතාව තුළ පවතින ආකල්ප බෙහෙවින් බලපාන බව පෙනේ. එන්නත ලබාගැනීමට දැන් පවතින උනන්දුව තවත් මාස කිහිපයකට පසු හීන විය හැකිය. එය අනෙක් වටයකින් අවදානමකි. වෛරසය සැඟවී සමාජයේ දීර්ඝ කාලයක් පවතින්නට එය හේතුවක් වෙන්නට ඉඩ තිබේ.

කොවිඩ් අවදානම මුල සිට

කොවිඩ් රෝගය වැළඳුණු ශ‍්‍රී ලාංකිකයකු ගැන වාර්තා පළවෙන්නේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය. වහාම පියවර ගත් අතර පළමු වටයේ දී පාලනය පහසු විය. දෙවැනි හා තෙවැනි රුලිවලින් ශ‍්‍රී ලංකාවේ ජන ජීවිතය අභියෝගාත්මක තැනකට පත් කර තිබේ. මුළු රටම ලොක්ඩවුන් කරන්නට සිදුවිය. සෞඛ්‍ය අංශ වෛරසයේ හැසිරීම ගැන පරීක්ෂණ කළේය. ව්‍යාප්තියට බලපාන සාධක සම්බන්ධ ජාත්‍යන්තර අත්දැකීම් අධ්‍යයනය කර ඇත. ජන ජීවිතයට බලපෑම අවම කරන පරිදි අවදානමක් ඇති ප‍්‍රදේශ ඉලක්ක කරගෙන විශේෂ යාන්ත‍්‍රණයක් සකස් කිරීමට පසුව පියවර ගත් බව සඳහන් කළ යුතුය. මෙම වසර මුල එන්නත්කරණය ආරම්භ කෙරිණ. රටට ගැලපෙන එන්නත් ලබාගැනීම හා ඒවා භාවිතය සම්බන්ධ උපදෙස් ලබාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කෙරිණි. ගැඹුරින් සොයා බලා එන්නත් මිල දී ගැනීමේ ක‍්‍රමවේදය සම්බන්ධීකරණයට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පත් කළේය. මෙකී පියවර අනුව රටට අවශ්‍ය කරන එන්නත් තොග ආනයනයට පියවර ගැනුණු අතර එය ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියක් බවට පත්විය. මෙම වසරේ මුල පළමු එන්නත ලබාදුන් දිනයේ සිට අද දක්වා විශේෂයෙන් බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන ඉලක්ක ගත වැඩපිළිවෙළක් දියත් කර තිබේ.  

කොවිඩ් එන්නත ලබාගැනීම සුදුසුද යන මතය ජනතාව අතර පවතින බව පෙනේ. වසර මුල එන්නත්කරණය ආරම්භ කරන විට ජනතා සහයෝගය ඉතාම හොඳ මට්ටමක නොතිබුණි. තෙවැනි රුල්ල අනුව රෝග ව්‍යාප්තියේ බරපතළකම වටහා ගත් සාමාන්‍ය ජනතාව එන්නත ලබාගැනීමට පරිශ‍්‍රමයක නිරත වූ බව සඳහන් කළ යුතුය. නමුත් සමහර කොටස් එන්නත ගැනීමට සූදානම් නැත. අතුරු ප‍්‍රතිඵල ගැන බියක් ඇති කරගෙන තිබේ. ආගන්තුක එන්නත ගැනීමට වඩා තමන් පරෙස්සම් වීම ගැන අවධානය යොමු කරන පිරිසකි. සම්ප‍්‍රදායික ක‍්‍රමවලින් එන්නතට වඩා ආරක්ෂාවක් ලබාගත හැකි යැයි විශ්වාසයක එල්බ සිටින කොටසක් ද හඳුනාගත හැකිය. ලෝක ඉතිහාසයේ නොතිබුණු තත්ත්වයකට මුහුණ දෙමින් සිටින කාල වකවානුවක තීරණ ගැනීමේ දී සමාජය වඩා කල්පනාකාරී වීම සුදුසුය.

ලෝකයේ එන්නතට දිරිගැන්වීම්

දීර්ඝ පර්යේෂණ අවසානයේ දී සොයා ගත් එන්නත් ක‍්‍රමවලට වඩා අනෙක් පිළිවෙළක් ගැන අවධානය යොමු කරන අවස්ථා ලෝකයේ නොයෙක් තැන්වලින් වාර්තා වෙයි. ගොම සහ ගව මුත‍්‍ර මිශ‍්‍ර කරන ලද අලේපයක් තවරා ගත් ජන කොටසක් එයින් ආරක්ෂා පතන ලද අවස්ථාවක් ඉන්දියාවේ ප‍්‍රාන්තයකින් හෙළිවිය. තවත් තොරතුරු අනුව අමෙරිකාවේ සමහර දෙනකු එන්නත ප‍්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකාවේ සමහර සමාගම් බෝනස් මුදල් යෝජනා කරන ලද අතර එන්නත ලබාගත් සේවකයන්ට ඩොලර් විසි පහ බැගින් අතට ලබාදෙන ක‍්‍රමයක් ද යෝජනා කර තිබේ. තවත් ප‍්‍රාන්තයක් කංසා දුම්වැටියක් එන්නත සමඟ නොමිලේ දෙන බව නිවේදනය කර තිබුණු බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. හොංකොං හි දේපොළ වෙළෙඳ සමාගමක් එන්නත් ලබාගැනීම දිරිමත් කිරීම සඳහා ලොතරැයියක් ප‍්‍රකාශයට පත් කළේය. ජයග‍්‍රාහකයාට අමෙරිකානු ඩොලර් මිලියන 1.4 ක් වටිනා නිවෙසක් තෑගි වශයෙන් ලැබේ. අමෙරිකානු ඩොලර් 2,890 ක් බැගින් සැනසිලි තෑගි විස්සක් ද ඇතුළත්ය. 

ඊශ‍්‍රායලය මුල් භාගයේ දී සාර්ථකව එන්නත්කරණය කරගෙන ගියේය. පසුව එක ජන කොටසක් මගහැරෙන බව හඳුනාගෙන තිබුණි. ටෙල්අවිව් නගරාධිපතිවරයා වයස අවුරුදු දහසයට අඩු සියලුම දෙනා එන්නත් ලබාගෙන ඇති නිවාසවල පදිංචිකරුවන්ට විශේෂ බදු සහනයක් ප‍්‍රකාශයට පත් කළේය. ජර්මනියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් සිය කාර්ය මණ්ඩලය දිරිගැන්වීම සඳහා අමෙරිකානු ඩොලර් දෙසීයක දීමනාවක් යෝජනා කර තිබේ. නිසි පරිදි නියමිත එන්නත් වාර ගණන ලැබුණු පසු මෙම දීමනාවට අයිතිවාසිකම් කියන්නට අවස්ථාවක් ඇත. 

සමාජ ප‍්‍රබෝධය වෙනුවෙන් ගත යුතු පියවරක්

එක්තරා සීමාවක් දක්වා ජනතාවගේ උවමනාව පවත්වාගෙන යා හැකිය. එයින් පසු එන්නත ලබාදීමට ප‍්‍රචාරණය අවශ්‍ය වෙයි. දැනට පිළිවෙළක් නැතිකම ගැන පවතින විවේචනය තේරුම්ගත හැකිය. එන්නත ලබාගැනීමට අපේක්ෂා කරන පිරිස එහි සිටිති. මිත්‍යාව සමඟ බැඳුණු කොටසක් ද සිටින බව අමතක කළ යුතු නැත. මැලේරියාව මර්දනය කිරීම සඳහා මෙරට ගෙන ගිය ව්‍යාපාරය එයට හොඳ අත්දැකීමක් විය යුතුය. වරින් වර ඇතිවන අධික උණ සහ මරණය පෙනි පෙනී සිටි ඇතැම් පිරිසක් ක්වීනීන් පෙති ප‍්‍රතික්ෂේප කළහ. නිවෙස්වලට ඩී.ඩී.ටී සහ මැලතියන් වැනි රසායනික බෙහෙත් ස්පේ‍්‍ර කිරීමට කැමැති නොවූ බව දැක්වෙයි. පෝලියෝ, ගලපටලය සහ ක්ෂය රෝගය වැනි භයානක අවස්ථාවලින් ආවරණයට ද ජනතාව දැනුම්වත් කරන්නට සිදුවිය. ඒවාට එන්නත්කරණය හෝ නිසි ප‍්‍රතිකාර වෙනුවෙන් රජය සෑහෙන මුදලක් වැය කර ප‍්‍රචාරක කටයුතු කරගෙන ගියේය. ඒවා ඇසුරෙන් කොවිඩ් වසංගත තත්ත්වය ගැන ද අවධානය යොමු කිරීම කාලෝචිතය. ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්ව ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන් කල් තබා සූදානමකට යා යුතුව තිබේ.

කොව්ඩ් වෛරසය විවිධ ප‍්‍රභේදවලට වෙනස් වෙමින් තිබේ. එය ඉතා භයානක තත්ත්වයකි. වසංගත තත්ත්වය පාලනය කරන ලද බව දක්වා රටවල් විවෘත කරන ලද සමාජ අවදානමකට මුහුණ පා සිටී. අනෙක් පැත්තෙන් අනාවරණය වන වැදගත් කරුණක් ද තිබේ. සිංගප්පූරුව සියලු බාධක පැත්තකට කර ඇත. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සීරුවෙන් සිටීම අත්හැර තිබේ. සාමාන්‍ය උණක් සේ සලකා ක්‍රියා කරන බව නිවේදනය කර ඇත. සංචරණ සීමා නැති අතර ඒකරාශී වීම පාලනය නොකෙරේ. සිංගප්පූරුව සතියකට පමණ කලින් වකවානුවක සිට කොවිඩ් ආසාදිතයන් සම්බන්ධ දත්ත එකතු කිරීම පවා නතර කරන ලද බව සී.එන්.එන්. ප‍්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත. රට සම්පූර්ණයෙන් විවෘතය. නැවත ලොක්ඩවුන් නොකරන බව දක්වයි. කොවිඩ් වසංගතයේ අවසානයක් නැති බව භයානක පැත්තකි. එහෙත් එයට යටත් නොවී සාමාන්‍ය ජීවිතයකට හුරැවීම අවශ්‍යතාව බව එරට බලධාරීහු පෙන්වා දෙති. එන්නත් සොයාගන්නා පළමු අවස්ථාවේදීම සියලු පුරවැසියන්ට නොමිලේ එන්නත් ලබා දුන් සිංගප්පූරුව අනුගමනය කරන පිළිවෙළ සම්බන්ධව ජාත්‍යන්තර ප‍්‍රජාව පුළුල් අවධානයක් යොමු කර තිබේ. 

 ගාමිණී සරත් ගොඩකන්ද