2021 ජුලි 10 වන සෙනසුරාදා

වළපල්ලට ඇදෙන ශ්‍රී ලංකා ක්‍රිකට්

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 157

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ක්‍රිකට් තරග හා තරගාවලි පරාජය වෙමින් සිටී. පසුගියදා අවසන් වූ එංගලන්ත සංචාරයේදී ඔවුන් ලද කටුක පරාජයත් සමඟ ලොව වැඩිම එක්දින තරග පරාජය ලද රට ලෙස ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබේ. පසුගිය ජූලි 1 දා අවසන් වූ එක්දින ක්‍රිකට් තරගයද සමඟ ශ්‍රී ලංකාව එක්දින තරග 860ක් ක්‍රීඩා කර ඇති අතර තරග 428ක් පරාජයට පත්ව තිබේ. ජයගෙන ඇත්තේ තරග 390ක් පමණි. තරග 5ක් ලකුණු සමවීමෙන් හා 37ක් විසඳුමකින් තොරව අවසන් වී තිබේ. මින් ඉහත වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්ව සිටියේ ඉන්දියාවය. ඔවුන් තරග 247ක් පරාජය වී තිබේ. අද වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම් ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දක්වා පසුබැස තිබේ. ශ්‍රී ලංකාවට පසුව සිටින්නේ ඇෆ්ඝනිස්තානයයි.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන ලොව ප්‍රමුඛ රටවල් අතර ශ්‍රී ලංකාව පසුවන්නේ අවසන් ස්ථානයේය. ටෙස්ට් හා විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වැනි ස්ථානයේය. කලකට ඉහත එක්දින ලෝක කුසලානය සහ විස්සයි 20 ලෝක කුසලානය දිනාගත් රටක් වූ ශ්‍රී ලංකාවට අද අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් ක්‍රිකට්වලට ආදරය කරන සැමට ඇත්තේ දැඩි කනස්සල්ලකි.

1996 ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට දිනා දුන් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් පසුවන්නේ දැඩි කලකිරීමකිනි. අර්ජුනගේ මතය වන්නේ අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයේ අඩුවක් නිසා නොව විනය සම්බන්ධ ගැටලු  නිසා මෙවැනි තත්ත්වයක් අත්වී ඇති බවයි. ලෝක කුසලානය දිනාගැනීමෙන් පසු තමන්ගේ වැඩි අවධානය යොමු වූයේ ඊළඟට එන කණ්ඩායම නිර්මාණය කිරීමේ සැලසුමක් කෙරෙහි බවත් එය ක්‍රිකට් පරිපාලනයේ තිබූ සැලසුමක් නොව එවක ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ ක්‍රීඩකයන්ගේ සැලසුමක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ. 

2015 පසු ක්‍රිකට් ක්‍රීඩාවේ විශාල කඩාවැටීමක් සිදුව තිබේ. අර්ජුන, අරවින්ද ක්‍රීඩා කරන කාලයේ 50% පමණ තරග ජයග්‍රහණය කළ අතර සනත් ජයසූරිය හා මාවන් අතපත්තුලාගේ කාලයේ 60%ක් පමණද සංගත්කාර සහ මහේලගේ කාලයේ 55%ත් 60% අතර ප්‍රමාණයක් තරග ජයග්‍රහණය කර තිබේ. 2015න් පසු එය 25.%ක් පමණ දක්වා පහත වැටිණි. ඊට හේතු වූයේ මහේල සහ සංගක්කාර වැනි ක්‍රීඩකයන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනිද්දී එම අඩුව පිරවීම සඳහා සුදුසු කණ්ඩායමක් නිර්මාණය නොවීමය. එමෙන්ම දුර්වලම ක්‍රිකට් පරිපාලනය පැවැතියේ මේ කාලයේය. වැටී ඇති ක්‍රිකට් ගොඩ ගැනීමට නම් සෘජු තීරණ ගතහැකි නායකත්වයක් සහ පරිපාලනයක් නිර්මාණය විය යුතුය යන්න අර්ජුන රණතුංගගේ අදහස වී තිබේ.

එංගලන්ත සංචාරය සඳහා සහභාගි වූයේ අත්දැකීම් අවම ක්‍රිකට් කණ්ඩායමකි. ඔවුන් එංගලන්තයට ගියේ රුපියල් මිලියන 69 වැයකර ඔවුන් සඳහාම වෙන්කළ වරලත් ගුවන් යානයකිනි. එංගලන්තය බලා පිටත්ව යනවිට ජයග්‍රහණය සඳහා එතරම් බලාපොරොත්තුවක් මෙම කණ්ඩායමට තිබුණේ නැත. ඔවුන් අඩුම තරමින් ධනාත්මක අභිප්‍රායයෙන් හා විනයකින් ක්‍රීඩා කරනු ඇතැයි ක්‍රිකට් ලෝලීන්ගේ අභිප්‍රාය විය. ඔවුන් ඒ සියලු අපේක්ෂා සුන්කර දැමීය.

“වත්මන් තත්ත්වය ජාතියේ අභිමානයට කැළලක් වී ඇති බවත් ඔවුන් මීට පෙර කිසිදිනක ක්‍රිකට් ක්‍රීඩාකර නොමැති අයුරින් ක්‍රීඩාකර ඇති බවත්” ශ්‍රී ලංකාවේ සිටි සුපිරි පන්දු යවන්නා හා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු වන මුත්තයියා මුරලිදරන් ට්වීට්ර් පණිවිඩයක් නිකුත් කරමින් කියා තිබිණි. එක්දින තරගවල වැඩිම ලකුණුලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන සනත් ජයසූරියද ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් කනගාටුදායක කාලයක් උදාවී ඇති අතර. තීරණාත්මක තත්ත්වයක් මතුවී හෙයින්. ක්‍රිකට් ක්‍රීඩාව බේරා ගැනීම සඳහා ක්ෂණික පියවරක් අවශ්‍ය බවයි.”

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ මෙන්ම අරවින්ද ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස වැදගත් කාර්යභාරයක් ඉටු කරන කුමාර් සංගක්කාර, ක්‍රිකට් ක්‍රීඩකයන්ට දොස් නොකියන නමුත් ක්‍රිකට් පරිපාලන ව්‍යුහයේ පවතින දෝෂ සම්බන්ධයෙන් අදහස් පළකර තිබේ.

“පසුගිය දශකය තුළ, දිනෙන් දින පුළුල් වන පරතරය පියවා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් හා තරගකාරී පළමු පන්තියේ තරගාවලියක් හඳුන්වා දීමට බොහෝ උත්සාහයන් දැරූ නමුත් පවතින සමාජ 26ක තරගාවලිය වෙනස් කිරීමට එතරම් දෙයක් සිදුකර නොමැත. ක්‍රිකට් කමිටුව මේ වනවිට නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් කණ්ඩායම් පහක ජාතික ක්‍රිකට් ලීගයක් කෙරෙහි අවධානය යොමු කරමින් සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා කොළ එළියක් ලබා දෙන්නේ නම්, යෝජිත තරගාවලිය ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර තලයට පිවිසීමට හැකි මාවතක් වනු ඇතැයි ඔහු කියා තිබේ.

ශ්‍රී ලංකාව බොහෝ දේශීය සම්පත්වලට වඩා විදෙස් පුහුණුකරුවන් කෙරෙහි විශ්වාසය තබා ඇති බවක් පෙනෙන්නට තිබේ. විදේශීය පුහුණුකරුවන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ඉස්මතු කිරීමට කෙතරම් දුරට දායක වී තිබේද යන්න සිතා බැලිය යුතුය. පසුගිය මාසයේ මෙරට සිටි, දක්ෂතම වමත් දඟපන්දු යවන්නා වූ රංගන හේරත්, බංග්ලාදේශයේ පන්දු යැවීමේ පුහුණුකරැවා ලෙස තෝරා ගනිද්දී එවැනි දක්ෂ ක්‍රීඩකයන් ලවා අපේ ක්‍රීඩකයන් පුහුණු කිරීමට ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු නොකරන්නේ මන්ද යන්න බොහෝ අයගේ විමතියට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අවධානය යොමුකළ යුතු තවත් කරුණක් වන්නේ ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන්ගේ කාර්යභාරයයි. පසුගිය කාලයේ ක්‍රීඩක කළමණාකරුවන් හතු පිපෙන්නාක් සේ බිහිවූ අතර ඔවුන්ගේ එකම අපේක්ෂාව ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම නොව මුදල් ඉපයීම බව පෙනෙන්ට ඇති කරුණකි. කළමනාකරැවන් සඳහා නියාමනයක් සහ චර්යා ධර්ම පද්ධතියක් සම්බන්ධයෙන් මීට කලකට පෙර සාකච්ඡා කළ නමුදු එය මෙතෙක් ක්‍රියාවට නංවා නොමැත. 

ලබන සතියේ පැවැත්වෙන ඉන්දීය සංචාරය සඳහා නායකත්වයේ වෙනසක් සිදු කර තිබේ. ඒ අනුව එක්දින හා  20 විස්ස කණ්ඩායමේ නායකත්වය දසුන් ෂානකට පවරා තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට ප්‍රධාන හේතුව දිගුකාලීන සැලැස්මක් නොමැතිවීම යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ. පසුගිය වසර හතරක කාලය තුළ ප්‍රධාන පුහුණුකරුවන් පස් දෙනෙක්ද, ඔවුන්ගේ සහය කාර්ය මණ්ඩලය ලෙස තවත් 30ක පමණ පිරිසක් පත් කර තිබේ.  මේ කාලයේ කණ්ඩායමේ නායකත්වයට දස දෙනකු අත්හදා බලා ඇති අතර ක්‍රීඩකයන් 105 දෙනෙක්.20 විස්ස, එක්දින හා ටෙස්ට් තරග සඳහා වරින්වර අත්හදා බලා තිබේ. ඇතැම් ක්‍රීඩකයන් ක්‍රීඩා කර ඇත්තේ එකම එක් තරගයක් පමණි. ක්‍රිකට් ක්‍රිඩාව නංවාලීම සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩමේ සහ 19 පහළ කණ්ඩායම්වල සංචාර ආරම්භ කිරීමටද දේශීය පුහුණුකරුවන් පත් කිරීමටද තීරණය කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අර්ජුන රණතුංග සඳහන් කළා සේම වර්තමානයේ ක්‍රීඩකයන්ගේ විනය විශාල ලෙස පිරිහීමට ලක්ව තිබේ. බොහෝ ක්‍රීඩකයන්ට කණ්ඩායම් හැඟිමක් හෝ රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතුය යන හැඟීමක් නොමැති බව පෙනෙන්නට තිබේ. පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියා රැසක් අසන්නට ලැබුණු අතර ඒ වෙනුවෙන් ඔවුනට දඬුවම් පැනවීමක් සිදු වූ බවක්. අසන්නට ලැබුණේ නැත. පසුගියදා එංගලන්තයේදී ක්‍රීඩකයන් තිදෙනෙක් විනය විරෝධී ලෙස කටයුතු කොට යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිදු වූයේ එවැනි ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය. කොරෝනා ආසාදනය වීමෙන් තරග අවලංගු වීම වළක්වා ගැනීම සඳහා මෙන්ම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සඳහා ක්‍රීඩා තරගවලදී දැඩි ජෛව ආරක්ෂිත බුබුලක් පවත්වා ගෙන යනු ලබන අතර ලොව පුරා ක්‍රිකට් මණ්ඩල විසින් සාමාන්‍ය වියදම්වලට අමතරව ඩොලර් මිලියන ගණනක් වැය කරනුයේ මෙම ආරක්ෂක ක්‍රියාමාර්ග සඳහාය.

එවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා ජෛව බුබුලෙන් පිටපැන නිදැල්ලේ හැසිරුණේ අනිකුත් ක්‍රීඩකයන්ගේද ජීවිත අවදානමක හෙලමිනි. ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිය ඇතැම්  ක්‍රීඩකයන් විනාශ කරමින් සිටින බව පෙනෙන්ට තිබේ. ඔවුන්ගේ ක්‍රියාකලාපය. පුද්ගලයෙකුගේ මරණයට පවා හේතුවක් වුවද ඒ පිළිබඳ පසුතැවිල්ලක් ඔවුන්ට නොමැති බව පෙනේ. ක්‍රිකට් ක්‍රීඩාව තමන්ට කැමති ඕනෑම දෙයක් කිරීමට සහ තම වැරදි වලින් ගැලවීමට බලපත්‍රයක් යැයි ඔවුහු සිතා සිටිති. කලකට ඉහත කුසල් මෙන්ඩිස් රිය අනතුරක් සිදුකොට පාපැදිකරුවකුට ජීවිතය අහිමි කළේය. ඔහු ඉන් ගැලවුණේ එක්දින තරගයක් සඳහා ඔහුගේ දිනක වැටුප වන රුපියල් මිලියනයක් ගෙවා දැමීමෙනි. ක්‍රිකට් පාලක මණ්ඩලයද ඔහු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත් බවත් දැකිය නොහැකි විය. මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වේගපන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මඩුශංකට ක්‍රිකට් තහනමක් පැනවූ පාලක මණ්ඩලය කුසල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන්ද විෂමාචාර සිදුවීම් කිහිපයක් පිළිබඳව වාර්තා විය. ඔහු සම්බන්ධයෙන්ද කිසිවක් සිදු නොවීය. දශක කිහිපයකට ඉහත වර්ණභේදවාදය පැවැති දකුණු අප්‍රිකාවේ සංචාරයක් සඳහා ගිය දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තහනම් කළ හැකි වූවා නම් වර්තමානයේ විවිධ විනය විරෝධී ක්‍රියා සඳහා යොමුවන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට  පාලක මණ්ඩලය කටයුතු නොකරන්නේ මන්ද යන්න විමතියට කරුණකි.

එංගලන්තයේදී විනය විරෝධි ලෙස හැසිරුණු ක්‍රීඩකයන් තිදෙනා යළි කැඳවුවද ඔවුන් සම්බන්ධයෙන් කෙබඳු ක්‍රියාමාර්ගයක් ගනු ඇතිදැයි පැවසිය නොහැකිය. මොවුන් විනාශ කරන්නේ දසක ගණනක් පුරා මෙරට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් මහක් කැපවීමෙන් ගොඩනැගූ ශ්‍රී ලංකා ක්‍රිකට්ය. පසුගිය කාලයේ ඇතැම් ක්‍රීඩකයන් තම කණ්ඩායමේ සාමාජිකයන් විවේචනය කිරීම සඳහා සමාජ මාධ්‍ය යොදාගත් අයුරු දැකිය හැකි විය. ක්‍රීඩකයන් පමණක් නොව ඔවුන්ගේ බිරින්දෑවරුන්ද ඒවාට එක්ව තිබිණි.

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෙටිකාලීන විසඳුම් මෙන්ම දිගුකාලීන සැලසුම්ද අත්‍යවශ්‍යය. ඒ සඳහා මුදල් කෙරෙහි පමණක් ප්‍රමුඛත්වය දෙන පිරිසක් නොව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පිරිසක් ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකටම පත් කළ යුතුය. එසේ නොමැතිව දූෂිතයන් සිටිනතාක් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවීම සිහිනයක් පමණක් වනු ඇත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03