පසුගිය කාලයේ අප රටේ උතුරු පළාතේ පුදබිම් රාශියක් කොටි තර්ජන හමුවේ විනාශයට පත් විය. දිග කලක් එසේ නොසලකා හැර තිබූ උතුරේ පුදබිමක කැණීම් කටයුතු පසුගියදා ආරම්භ වුණේ උතුරේ දේශපාලනඥයන්ගේ විරෝධතා මැදය. එසේ කැණීම් අවසන් කළ මුලතිව් කුරුඳුමලේ දාගැබේ සංරක්ෂණ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.
වවුනියාව-යාපනය මාර්ගය ඔස්සේ පුලියන්කුලමට ගොස් එතැනින් මුලතිව් මාර්ගයේ නෙඩුන්කේණියට ගමන් කර තන්නිමුරිප්පුව හරහා කුරුඳුමලේ විහාරයට ගමන් කළ හැකිය. එමෙන්ම මුලතිව් නගරයේ සිට බී-297 කෝකිලායි මාර්ගයේ අලම්පිල් දක්වා කිලෝමීටර් 12ක් ගමන් කොට එතැනින් තුමුලමුනේ දෙසට තවත් කිලෝමීටර් 13ක් ගමන් කිරීමෙන් ද කුරුඳුමලේ විහාරයට ළඟා විය හැකි වේ. මෙය වනගත පුරාවිද්‍යා නටබුන් භූමියකි. එය මුලින්ම පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇත්තේ 1933 මැයි 12දාය.
පුරාණයේ කුරුන්දම්මලේ හෙවත් “කුරුන්දවාශෝක විහාර” ලෙස හඳුන්වා ඇත්තේ මේ ස්ථානය බව සැලකේ. ක්‍රි.ව. දෙවැනි සියවසේ මුල් භාගයේ ඉදිකළ බව සැලකෙන මේ විහාරයේ අඩි 20ක් උසැති දාගැබේ සංරක්ෂණ කටයුතු 12දා ආරම්භ වුණේ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් උපාලි රාජපක්ෂ සහ 27 වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රුවන් රුද්‍රිගුගේ ප්‍රධානත්වයෙනි. එහි කැණීම් කටයුතු ඇරඹුණේ පසුගිය ජනවාරි මාසයේදීය. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සංරක්ෂණ කටයුතු කෙරේ. මෙහි 1933 දී සවි කළ පැරණි මායිම් කණුද තවමත් දැකගත හැකි බව පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
අට්ඨ කතාවල ‘’කුරුන්දක’’ නම් වූ ගම්මානයක් ගැන සඳහන්ය. කුරුඳුගමුරට යනුවෙන් කඩඉම් පොත්වල ද සඳහන්ය. පදීරට, කුරුඳු රටට ඉතා සමීපව පිහිටි ගම් ප්‍රදේශයක් බව පූජාවලියේ හා නිකාය සංග්‍රහයේ සඳහන්ව තිබේ. මේ නිසා කුරුඳුගමු රට කුරුඳු රට හා කුරුන්දක යන නාමයන්ගෙන් හඳුන්වන්නේ එකම ප්‍රදේශයක් බව පැහැදිලි වේ. මෙම සියලු මූලාශ්‍ර විමසන විට පෙනෙන්නේ අද වනගතව පැවතිය ද මෙම විහාරය එකල බොදු ජනතාවගේ අතිශය වන්දනීයත්වයට පත් පුදබිමක් වශයෙන් පැවති බවයි. මෙම ප්‍රදේශය ආශ්‍රිත අනුරාධපුර යුගයේ දී දියුණු ගොවි ජනපදයක් පැවති බවත්, සිංහල බෞද්ධයන් විසූ බවටත් සාධක හමුවෙනවා. ඒ වගේම බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිය ගණනක් වැඩ සිටි බවට ද සාධක හමුව පවතිනවා.
මුලින්ම මේ විහාරය ගැන සඳහන් වන්නේ ඛල්ලාටනාග (ක්‍රි.ව. 100-103) කාලයේය. ඒ රජු කුරුන්දවාශෝක විහාරය තනවා ඇත. මේ විහාරය කුරුන්දපාසාණ විහාරය නමින්ද මහාවංශයේ සඳහන් වෙයි. පළමුවැනි අග්බෝ රජු (571-604) විසින් කුරුන්ද නම් විහාරයක් කළ බව ඉතිහාසයේ සඳහන් වේ. පළමුවැනි විජයබාහු රජු විසින් (ක්‍රි.ව. 1055 හා 1110) කුරුන්ද විහාරය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තිබෙන බව මහාවංශය සඳහන් කරයි. අග්බෝ රජු විසින් කරවන ලද කුරුන්ද විහාරයට ආසන්නයේම කුරුන්දවාපී නමින් මහා වැවක්ද පොල් වගාවකින් යුත් මනරම් උයනක්ද කරවා තිබේ.
කුරුන්දක රටට සමීපව පිහිටි පදී රට යනුවෙන් සලකන ලද්දේ වර්තමානයේ පදවිය ප්‍රදේශය බවටද සාධක පවතී. දඹදෙණියේ දෙවැනි පැරකුම්බා රජු (1236-1270) විසින් කාලිංග මාඝගේ බලකොටුවක් විනාශ කළ අතර එම බලකොටුව කුරුන්දි නම් වූ ප්‍රදේශයේ වූ බව මහාවංශයේ සඳහන්ය. ඒ කාලයේදීම ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ චන්ද්‍රභානුගේ කඳවුරක් කුරුන්දියෙහිම ස්ථාපිත කොට එහි විසූ සිංහල ජනතාව ඔහුගේ යටතට ගත් බවත් පසුකාලීනව එම සිංහල ජනතාව චන්ද්‍රභානු සමඟ එක්ව කටයුතු කළ බවත් වංශ කථාවල දැක්වෙන කරුණකි. ඒ අනුව පෙනෙන්නේ මේ ප්‍රදේශය ඉතිහාසයේ නිතර සඳහන් වන වැදගත් තැනක් බවයි.
කුරුඳුමලේ විහාරය පිහිටා ඇති ප්‍රදේශය වනය පැතිරුණු කඳුගැටයකි. එම ස්ථානයට ගමන් කළ පසුව ඉතා රමණීය ලෙස තන්නිමුරුප්පු වැව ඈතින් දිස්වේ. මුලතිව් නෙල්ලාරෑෑ ඔය හරස් කොට එම වැව කරවා ඇත්තේද අතීතයේ පුරාණ රජවරු වෙති. කුරුන්දම්කුලම් වැව පිහිටා ඇත්තේ කුරුඳුමලේට දකුණු දෙසිනි. අතීතයේදී මේ වැව් දෙකම එකට සම්බන්ධ කළ විශාල ඇළ මාර්ගයක් පැවතුණ ද පසුව එය නටබුන් වී ගොස් තිබේ.
පුරාණ සංඝවාස, ප්‍රතිමාඝර, ගල් උළුවහු, සඳකඩ පහණ, ප්‍රාකාර ආදී නටබුන් ද වන මැද දැකගත හැකිය. ඒවාත් කැණීම් කර සංරක්ෂණය කළහොත් පුරාණ ස්වරෑපය මතු පරපුරට මවා ගැනීමට ඉඩ හසර විවෘත වනු නිසැකය.
කුසුම්සිරි