2021 ජුලි 10 වන සෙනසුරාදා

අවුල් වියවුල් කිසිත් නැති හමුදාවේ එන්නත්කරණය

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 155

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආරම්භ කළ එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත්ව සිදුකිරීම සඳහා ත්‍රිවිධ හමුදාව තවදුරටත් සක්‍රීයව දායක කර ගැනීමට රජය තීරණය කොට එය ක්‍රියාත්මක කර තිබේ. මේ වැඩසටහන යටතේ යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදාවට අයත් වෛද්‍ය බලකායන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ එන්නත්කරණ කටයුතු සිදුකෙරේ. හමුදා රෝහල් හා විශේෂයෙන් ස්ථාපිත කළ ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන රැසකදී මෙම එන්නත්කරණ ක්‍රියාවලිය පැවැත්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව සිදුකළ දැනුම්දීමකදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් අනුව යුද හමුදාව මේ සඳහා දායකත්වය ලබාදෙයි. ඒ අනුව යුද හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම් යුද හමුදා භට පිරිස් සමඟ එක්වී එන්නත්කරණය සඳහා අවශ්‍ය ජංගම ප්‍රජා එන්නත් මධ්‍යස්ථාන සූදානම් කොට ඇත. මේ ආකාරයට රජය විසින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත තුළ සිටින වයස අවුරුදු 30ට වැඩි පුරවැසියන් සඳහා එන්නත්කරණ කටයුතු සිදුකෙරේ.

මෙම එන්නත්කරණ ක්‍රියාවලිය පසුගිය ජූලි 5 වැනිදා ආරම්භ කෙරුණු අතර දිනපතා පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ක්‍රියාත්මක කෙරේ. යුද හමුදා රෝහල - නාරාහේන්පිට, දියත උයන - බත්තරමුල්ල, ශ්‍රී බෝධිරාජාරාමය - පනාගොඩ, 1 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානය - වේරහැර යන ස්ථානවලදී වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ. මෙහිදී බස්නාහිර පළාතේ පදිංචි අවුරුදු 30ට වැඩි පිරිස් සඳහා පහසුවෙන් එන්නත ලබාගැනීමට අවස්ථාව ලැබී තිබිණ.
මේ සඳහා බස්නාහිර පළාතට අමතරව දිවයිනේ පිට පළාත්වලද එන්නත් ක්‍රියාවලිය සිදුකිරීමට යුද හමුදාව කටයුතු කර ඇත. ඒ අනුව අවුරුදු 60ට වැඩි පුරවැසියන් සඳහා එන්නත් ලබාදීම සිදුකෙරෙන අතර ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුරය, පොලොන්නරුව, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම දිස්ත්‍රික්ක කේන්ද්‍රෙකාටගෙන වැඩසටහන ක්‍රියාත්මකය. මෙහිදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එම ස්ථානවලට පැමිණ සිය පදිංචිය සනාථ කිරීමෙන් අනතුරුව එන්නත ලබාගත හැකිය. ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය. දියතලාව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය, අනුරාධපුර යුද හමුදා රෝහල, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, කිලිනොච්චි යුද හමුදා රෝහල, මුලතිව් දෙමළ විද්‍යාලය - පුදුකුඩුඉරිප්පු, මන්නාරම ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල යන ස්ථානවලදී වැඩසටහන ක්‍රියාත්මක කෙරිණ.

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් කරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය දායකත්වය සපයයි. ඒ යටතේ බස්නාහිර පළාත තුළ ජීවත්වන වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා එන්නත් ලබාගැනීම කළ හැකිය. පසුගිය ජූලි 5 වැනිදා ආරම්භ කෙරුණු වැඩසටහනට සමගාමීව නාවික හමුදා වෛද්‍ය අංශය මගින් කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රය, රාගම ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලය හා උස්වැටකෙයියාව ශාන්ත මරියා මහ විද්‍යාලය යන ස්ථානවල පිහිටවූ තාවකාලික මධ්‍යස්ථාන තුළදී එන්නත්කරණය සිදුකරනු ලැබීය. ජූලි 5 සහ 6 දිනවලදී මෙකී මධ්‍යස්ථානවල සිදුකළ එන්නත් ලබාදීම ජූලි 7 වැනිදා චෛත්‍ය පාර පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී පමණක් සිදුකරන බවට නාවික හමුදා මාධ්‍ය ඒකකය වාර්තා කොට තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් බොරුල්ල තනිනායගම් දෙමළ විද්‍යාලයේදී කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා වන එන්නත්කරණ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබිණ. මෙසේ ත්‍රිවිධ හමුදාව මැදිහත්ව සිදුකරන එන්නත් ලබාදීම සඳහා යොදාගෙන ඇත්තේ සයිනොෆාම් එන්නතයි. විශේෂයෙන් බස්නාහිර පළාත තුළ පදිංචිව සිට රාජ්‍ය හෝ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු මහජනතාව වෙනුවෙන් එන්නත් ක්‍රියාවලිය සිදුකෙරිණ.
කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වෙන  මෙම එන්නත්කරණ වැඩසටහන වෙත මහජනතාව වඩාත් උනන්දුවෙන් සහභාගි වූ බව දකින්නට ලැබිණ. බොහෝ ජනතාව එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සතුට ප්‍රකාශ කරනු දක්නට ලැබුණු අතර ඊට පෙර පැවති එන්නත් වැඩසටහන්වලට සාපේක්ෂව තදබදය හෝ පිටපාරෙන් එන්නත් කිරීම වැනි ගැටලු ඇතිව තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවේ බලධාරීන් ප්‍රකාශ කරන්නේ එන්නත්කරණ වැඩසටහන සඳහා ඉදිරියටත් අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවය.

මෙරට තුළ එන්නත් ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි 29 වැනිදා සිටය. එදා පටන් එන්නත් ක්‍රියාවලිය සැලැස්මකට අනුව සිදු නොවන බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා නැගිණ. ඒ අතර රජයේ එන්නත් ක්‍රියාවලිය පිළිබඳව රජයේ නිවේදන පවා විටින් විට වෙනස් ලෙස වාර්තා කෙරිණ. මේ අතර සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් කළ විරෝධතාද විය. මේ අතර එන්නත් ලබාදෙන (VIP) මධ්‍යස්ථාන සම්බන්ධයෙන්ද වාර්තා කෙරිණ. මේ ආකාරයට ක්‍රියාත්මක කෙරුණු එන්නත් ක්‍රියාවලිය මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනි බව කියා තිබුණේ ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය විසිනි.

ප්‍රථම එන්නත් තොගය ලංකාවට ලැබීමත් සමග ඒවා කොවිඩ් මර්දන ක්‍රියාවලියේ පළමු පෙළ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත ලබාදෙන බව කීවද එය නිසි ලෙස සිදුකෙරුණේ නැත. එම වාතාවරණය යටතේ කෙසේ හෝ ත්‍රිවිධ හමුදාව එන්නත්කරණ වැඩසටහනට දායක වීම සම්බන්ධයෙන් මහජනතාව ප්‍රසාදය පළකරති. එම මධ්‍යස්ථානවලදී සයිනොෆාම් එන්නත දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ හැකියාවද ජනතාවට උදා වී තිබිණ.
එන්නත ලබාගැනීමේදී ලබාදෙන කාඩ්පත සුරුකිව තබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී. දෙවැනි එන්නත ලබාදෙන දිනය හා වෙනත් උපදෙස් මාලාවක් එහි අන්තර්ගතය. ඉදිරි කාලයකදී යම් අයකුට විදෙස් ගතවීමකට අවශ්‍ය වේ නම් එහිදී මෙම එන්නත ලබාගත් බවට සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමට කාඩ්පත ළඟ තබාගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් නිවේදනය කරයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ අනුග්‍රහය -
යුද හමුදාව, ගුවන් හමුදාව හා නාවික හමුදා මාධ්‍ය ඒකක වෙතිනි.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03