2021 ජුලි 10 වන සෙනසුරාදා

ඩොලර් කෝටි ගණනින් ණයවෙන රට

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 2144

ශ්‍රී ලංකාව මේ වනවිට දැඩි ණය බරක් සහිත රටකි. ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15කි. විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 32කි. එම ණය බර 2021 වසර අවසන් වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 115%ක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර තිබේ. ඔවුන් මේ බව පෙන්වා දී ඇත්තේ දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය පිළිබඳ නවතම ලෝක බැංකු වාර්තාවෙනි. 2021 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා රජය බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 63% කින් ඉහළ ගොස් ඇති අතර රජයට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබාදෙන ණය ප්‍රමාණය 176%කින් ඉහළ ගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන්ය. 2021 ජනවාරි 1 සිට අප්‍රේල් 30 දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 981 ක් ණය ගෙවීමට වැයකර තිබේ. ඉන් ඩොලර් මිලියන 520.6ක් ණය වාරිකය සඳහා වූ අතර ඉතිරි ඩොලර් මිලියන 460.4 ණය සඳහා වූ පොලිය ගෙවීම සඳහා විය.

මේ වනවිට ශ්‍රී ලංකාව දැඩි විදේශ විනිමය අර්බුදයකටද මුහුණ පා සිටී. කොවිඩ් වසංගතයේ අඛණ්ඩ පැවැත්ම හේතුවෙන් 2020 වසරේ ශ්‍රී ලංකාවේ විදේශ අංශය යම් පමණකට බිඳවැටුණු අතර 2021 වසංගතයේ තෙවැනි රුල්ල මතුවීමෙන් එයට දැඩි බලපෑමක් ඇති විය. 2020 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළමනාකරණය කරන විදේශ විනිමය සංචිත උපයෝගි කර ගනිමින් රජයේ විදේශ විනිමය ණය ගෙවීමට පියවර ගත් අතර පීඩාවට පත් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙහි සුමට ක්‍රියාකාරීත්වයට අවශ්‍ය පහසුකම් සැපයීම හේතුවෙන් මහ බැංකුවේ විදේශ විනිමය සංචිතය පහළ බැස්සේය. විදේශ විනිමය සංචිත සඳහා විදේශ විනිමය ගලා ඒමක් පිළිබඳ කිසිදු සහතිකයක්ද නොමැත. විදේශ විනිමය ණය ආපසු ගෙවීමට සිදුව ඇති හෙයින් ඉතිරිව ඇති විදේශ විනිමය සංචිතයද තවදුරටත් පහළ වැටෙනු ඇත. එබැවින් විදේශ විනිමය සංචිතවල ස්ථායිථාව පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට තවත් ණය ගැනීමට සිදුව තිබේ. එම විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සඳහා රජය විදෙස් බැංකු හා මූල්‍ය ආයතන කිහිපයකින් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 2000කට අධික ණය මුදලක් ලබා ගැනීමට සූදානම් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6.5 සිට 2.3 දක්වා පහත වැටිණි. රුපියලේ අගය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 3089ක් පසුගිය කාලයේ වැයකර තිබේ. 2020 වසරේ කොව්ඩ් වසංගතය හේතුවෙන් දින 66ක් රටට අහිමි වූ අතර එම කාලය තුළ ආර්ථික වර්ධන වේගය සෘණ 16.7ක් දක්වා පහත වැටිණි. සංචාරක ව්‍යාපාරයෙන් වසරකට ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5ක් උපයා ගත්තේය. එය සම්පූර්ණයෙන්ම ඇණහිටි අතර එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව සතු විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 7.6 සිට 5.7 දක්වා (බිලියන 1.9කින් පමණ) අවම වීමය. 2021 රට වරින් වර වසා දැමීම හේතුවෙන් රජයේ ආදායමද විශාල වශයෙන් අඩු විය. කොවිඩ් මර්දනය සඳහා පමණක් රුපියල් බිලියන 260ක් වැය කරන්නට රජයට සිදුව තිබේ.

පසුගිය කාලයේ විශාල ලෙස මුදල් අච්චු ගැසීමටද ආණ්ඩුව ක්‍රියා කර තිබේ. පසුගිය ජුනි මාසයේ එක් දිනකදී පමණක් මහ බැංකුව රුපියල් බිලියන 208.45 ක් වටිනා මුදල් මුද්‍රණය කර ඇති අතර එය මෙරට ඉතිහාසයේ එක් දිනකදී මුද්‍රණය කළ වැඩිම මුදල් ප්‍රමාණය ලෙස සැලකේ රජයට අහිමි වී ඇති බදු ආදායම හේතුවෙන්, අයවැය හිඟය පියවා ගැනීම සඳහා මෙසේ මුදල් මුද්‍රණය කරන අතර මුදල් රාජ්‍ය ඇමැතිවරයා පවසන්නේ ජනතාව මත ඇතිවන පීඩනය අවම කිරීම සඳහා මෙලෙස මුදල් අච්චු ගැසීමට සිදුව ඇති බවයි. ඒ හරහා දෛනිකව උද්ධමනය ඉහළ යන බව පවසමින් විපක්ෂ දේශපාලකයන් හා ආර්ථික විශේෂඥයන් ආණ්ඩුවට චෝදනා කරමින් සිටී. වාර්තා වන අන්දමට නව ආණ්ඩුව යටතේ මේ වනවිට රුපියල්  ට්‍රිලියනයකට අධික මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කර තිබේ.

රජයට හිමිවන වාර්ෂික ආදායමෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසුව වෙනත් කිසිවක් සඳහා මුදල් ඉතිරි නොවන්නේ යැයි  වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබේ. පසුගිය වසරේ සමස්ත රාජ්‍ය ආදායම වූ බිලියන 1373න් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසුව ඉතිරි වී ඇත්තේ රුපියල් බිලියන 321 ක් පමණක් යැයි ඔහු කියා තිබේ. 

පසුගිය කාලය තුළ රුපියලේ අගය 2.3%කින් අවප්‍රමාණය වී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය වන්නේ රට මුහුණ පා සිටින අභියෝගවලින් ජය ගැනීමට නම් ණය නොවන විදේශ විනිමය උපායන මාර්ග නිර්මාණය කරගත යුතු බවටය. එනම් අක්‍රිය සම්පත් සක්‍රිය කිරීම හරහා විදේශ විනිමය ලබා ගැනීමය. බලශක්ති සහ ඛණිජ තෙල් භාවිතය අවම කර ගැනීම, වරාය නගරය හරහා නව ව්‍යාපෘති ආරම්භ කිරීම හා හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත ආරම්භ කිරීම මගින් අලුතින් මෙරටට මුදල් ගලා ඒමේ මාර්ග ඇති කළ යුතු බව ඔහුගේ මතය වී තිබේ.

කෙසේ වුවද දැනට රට මුහුණ පා ඇති තත්ත්වය හමුවේ රජයට විශාල වශයෙන් ණය ලබා ගැනීමට සිදුවී තිබේ. දැනට ණය ලබා ගන්නා ආයතනවලට අධික පොලියක් ගෙවීමට සිදුව ඇති හෙයින් රාජ්‍ය මට්ටමින් ඇති කරගන්නා ගිවිසුම් ඔස්සේ අඩු පොලියට හා අවම කොන්දේසි යටතේ ණය ලබා ගැනීම රජයේ අරමුණය. රටේ ආර්ථිකය කඩා වැටීමෙන් වළක්වා ගැනීම සඳහා ඉදිරියේදී බංග්ලාදේශ බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක්ද, ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක්ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 780ක්ද, චීන සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක්ද ණය වශයෙන් ලබා ගැනීමට රජය සූදානම් වෙයි. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය ඒකාබද්ධව (සින්ඩිකේටඩ් ලෝන්) තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් සපයා ගැනීමටද අපේක්ෂා කරයි. රජයට අවශ්‍යව ඇත්තේ රුපියලේ අගය තවදුරටත් පහත වැටීමෙන් වළක්වා ගැනීමය. කොරෝනා ව්‍යාප්තිය ක්‍රමයෙන් සීමාවී ලොව රටවල් යළි යථා තත්ත්වයට පත්වන විට තෙල් සඳහා පවතින ඉල්ලුම යළි ඉහළ යනු ඇතැයි ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි. එවැනි වාතාවරණයක් තුළ ශ්‍රී ලංකාවට තෙල් සඳහාද ඉදිරි කාලයේ විශාල මුදලක් ගෙවීමට සිදුවනු ඇත. ඒ සඳහාද ප්‍රමාණවත් විදේශ සංචිත රුස්කරගත යුතුව ඇත.

බංග්ලාදේශ බැංකුව අතර යෝජිත ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම අනුව එම ණය ලැබෙන්නේ අවස්ථා තුනකදීය. ගිවිසුමේ වලංගු කාලය වසරකි. ඒ අනුව මෙම ණය මුදල වසරක් ඇතුළත ගෙවීය යුතුය. ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් ලබා ගැනීමට නියමිතය. 2020 වසරේද එම බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් 400ක ණයක් ලබාගත් අතර එය 2021 පෙබරවාරි මාසයේ ගෙවා අවසන් කරන ලද අතර යළි 2021 සඳහා අමෙරිකානු ඩොලර් 400ක මුදලක් ලබා ගැනීමට යෝජනා වී තිබේ. ඒ අනුව ලබන අගෝස්තු මාසයේ මෙම ණය මුදල ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් තිබේ.

මේ වසර තුළ රජයට කොතරම් විදේශ විනිමය ප්‍රමාණයක් හිමිවේද යන්න පැහැදිලි නැත. විශේෂයෙන් කොරෝනා අර්බුදය නිසා රජය මේ වසරේ ලැබේයැයි අපේක්ෂා කළ විදේශ විනිමය ප්‍රමාණය අපේක්ෂා කළ නොහැකිය. රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමටද එතරම් කැමැත්තක් නැත. රට සහ ජනතාව පීඩාවට පත්කරන කොන්දේසිවලට යටත්වීමට සිදුවන හෙයින් එම අරමුදලේ සහය ලබා ගැනීමට සූදානම් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කෙසේ වුවද මෙරට විදේශ නිල සංචිතය නුදුරේදීම ඩොලර් බිලියන 2කින් ඉහළ දමා ගැනීමේ සැලසුමක් ඇති බවද ඔහු කියා සිටියේය. 

සමස්ත ආනයන සීමා කිරීම මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් ඉතිරි කර ගැනීමට රජය කටයුතු කරමින් සිටී. විශේෂයෙන් දැනට පවතින ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා සුඛෝපභෝගී භාණඩ සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක් ආනයනය සීමා කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ. මේ සම්බන්ධයෙන් මහබැංකුව සාකච්ඡා පවත්වමින් සිටින අතර එලෙස සීමා කරනවාද යන්න පිළිබඳව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති යැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03