2021 ජුලි 10 වන සෙනසුරාදා

මනස විකල් කරන කොවිඩ් ආතතිය

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 402

කොරෝනා වසංගතය නිසා අද අප සියල්ලන්ටම ඒකාකාරී ජීවිතයකට කොටුවීමට   සිදුව තිබේ. මේ වනවිට ලෝකය පුරා මිලියන 174කට වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතරම මිලියන 3.75කට වැඩි සංඛ්‍යාවක් මිය ගොසිනි. දිනෙන් දින මේ වසංගතය ගැන අසන්නට ලැබෙන්නේ ඉතාමත් නරකම ආරංචිය. කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ජනතාව තුළ මානසික ආතතිය, කාංසාව සහ විඩාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවට වූ වඩාත් නරකම ආරංචියක් මනෝවෛද්‍ය විශේෂඥ රෑමී රෑබන් ඉකුත් සතියක දේශයට ඉදිරිපත් කළේය.

මනෝවෛද්‍ය විශේෂඥ රෑමී රූබන්  පෙන්වා දුන්නේ කොවිඩ් හේතුවෙන් සමාජයේ විශේෂ වයස් කාණ්ඩ දෙකකට අයත් පිරිස අතර මානසික ආතතිය, කාංසාව සහ විඩාව     දිනෙන් දින ඉහළ යමින් පවතින බවය. දිනපතා කොවිඩ් ආතතිය, කාංසාව සහ විඩාව   සඳහා උපදෙස් ගැනීමට යොමුවන සංඛ්‍යාව මේ දිනවල සැලකිය යුතු මට්මකින් ඉහළ ගොස් ඇති බවත් වෙනත් රටවල මේ ගැන සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණ මගින් සමාජය තුළ කොවිඩ් ආතතිය සියයට 20–40 දක්වා ඉහළ යාමක් වාර්තා වී ඇති බවත් ඔහු කීවේය.

කොවිඩ් මානසික ආතතිය සහ විඩාව හේතූවෙන් මේ දිනවල සිය උපදේශන සඳහා වැඩි වශයෙන් යොමුවන පිරිස අතර විශේෂ වයස් කාණ්ඩ දෙකකට අයත් පුද්ගලයන් බහුල බව ඔහු කියයි. ඒ පිරිස අතර පාසල් දරුවන් ප්‍රමූඛ අතර පවුලේ ජීවනෝපාය සලසන උපයන්නන් අයත් තරුණ සහ මැදිවයස් කාණ්ඩයද බහුල බව ඔහු පෙන්වා දෙයි. වි‌ශේෂයෙන්ම සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු කොවිඩ් මර්දන කටයුතු සඳහා කෙළින්ම ගැටෙන මුල්පෙළ අත්‍යවශ්‍ය සේවා සපයන සේවක පිරිස අතර සිය රුකියාව සහ වගකීම  හේතුවෙන් ඇතිවන පීඩාව සහ විඩාව මේ දිනවල දැඩිව ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි. කොරෝනාවට ගොදුරු වේ යැයි ඇතිවන නිරන්තර සැකය සහ භීතියෙන් යුතුව කල්ගෙවීමට සිදුවීම නිසා මේ ආතතික තත්වයන් දැඩිව ඉහළ යමින් පවතින බවත්  එය භයානක තත්ත්වයක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවෛද්‍ය විශේෂඥ රෑමී රෑබන් පෙන්වා දෙයි.

දරුවන් හට සිය පාසල් තුළ සිදුකරන සමූහ ක්‍රියාකාරී අධ්‍යයන අවස්ථාව අහිමිව යාමත්,  ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ එක දිගට වැඩිකාලයක් අන්තර්ජාලය තුළ නිමග්නව සිටිමට බලකිරීමත්, විශේෂයෙන්ම ඉතා කෙටිකාලයකදී දැරිය නොහැකි මට්ටමේ විෂයය කරුණු ප්‍රමාණයක් ධාරණය කර ගැනීමට සිදුව තිබීමත් ඔවුන් අතර මේ ආතතියට මුල්ව තිබේ. ඒ අන්දමටම ඔවුන්ට සිය සම වයසේ කණ්ඩායම් සමග එකට එක්ව අන්තර් ක්‍රියාකරමින්, සමූහ ක්‍රියාකාරීත්වයන්හි යෙදෙමින් සමාජශිලී වීමට ලැබෙන අවස්ථාව අහිමිව යාමද ඔවුන්ගේ වැඩෙන මනසට දැඩි පීඩාවක් සහ දීර්ඝකාලීනව දැඩි හානියක්ද  ඇතිකරන බව මනෝ වෛද්‍ය විශේෂඥ රෑමී රෑබන් පෙන්වා දෙයි.

උපයන වයස් කාණ්ඩයේ පුද්ගලයන්හට සිය ඉපැයීමේ ජීවෝනෝපාය මාර්ග අවහිර වීම මෙන්ම සමහර අයට රුකියා අහිමිව යාමත් හේතුවෙන් ඇතිවන ආර්ථික පීඩාව මානසික ආතතියට සහ විඩාවට ප්‍රබලව හේතුවී තිබේ. රුකියාවේ ස්වභාවය සහ වගකීම අනුව කොවිඩ් අනතුරුදායක තත්ත්වයට මුහුණ දීමට සිදුවීම අනිවාර්යය වීම නිසා ඇති වන නිරන්තර තැතිගැනීමත්, අනාරක්ෂිත බව පිළිබඳ පීඩාකාරී හැඟීමත්, දීර්ඝ ඒකාකාරී  සහ අඛණ්ඩ සේවා මුර හේතුවෙන් ඇතිවන විඩාවත් තරුණ සහ මැදිවයස් කාණ්ඩය තුළ ආතතියට තවත් ප්‍රබල හේතුවක් වී ඇති බවද මනෝවෛද්‍ය විශේෂඥ රෑමී රෑබන් පැහැදිලි කරයි. එසේම මේ වනවිටත් මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට මෙවැනි කාලයක් තුළ සිය රෝගී තත්ත්වය උත්සන්න වීමේ ඉඩකඩ තිබෙන බවද ඔහු පෙන්වා දෙයි. කොවිඩ් පැතිරීම දිනපතා ඉහළ යන බවට සහ මරණ වැඩියෙන් සිදුවන  බවට පැතිරයන ශෝකජනක පුවත් බහුලව අසන්නට දකින්නට ලැබීම හේතුවෙන් නිරන්තරවම දැඩි අනාරක්ෂිත සහ භීතිය පිරි නොසන්සුන් මානසික තැති ගැනීමකින්   පෙළීමට සිදුවන නිසාම සමාජයේ බහුතරයකගේ මානසික දැරීමේ හැකියාවද දැන් පහළ වැටී ඇති බව මනෝ වෛද්‍ය විශේෂඥ රෑමී රෑබන් පෙන්වා දෙයි.

මානසික ආතතිය යනු රෝගී තත්ත්වයකි. කිසියම් පුද්ගලයකු විසින් දිගටම එදිනෙදා සිදුකරගෙන පැමිණි හුරුපුරුදු ක්‍රියාකාරකම් හදිසියේ ඇණ හිටියහොත් එමෙන්ම සුපුරුදු වටාපිටාව  සුපුරුදු කණ්ඩායම හදිසියේ වෙනස්ව ගොස් සමාජශිලි ක්‍රියාකාරකම්වලින් වඩාත්ම සිරගතවීමක් වැනි කොටුවූ තත්ත්වයකට එකදිගට දිගුකාලයක් මුහුණ පෑමට සිදුවීමෙන් මෙබඳු මානසික ආතතික තත්ත්වයන් ඇතිවන බව වෛද්‍ය මතයයි.‍
මෙම ආතතික තත්ත්වයට සම්බන්ධ රෝග ලක්‍ෂණ ගණනාවක්ම තිබේ.

සෑම දිනකම දුක් සහගත හැඟීම් ඇතිවීම, සියලුම ක්‍රියාකාරකම්වලට ඇති උනන්දුව දිනෙන් දින පහව යෑම, දිනෙන් දින දේහ ශක්තිය පිරිහි යාම හෝ විඩාවට පත්වීම, ආත්ම විශ්වාසය නැතිව යෑම, සිතීමට ඇති හැකියාව නැතිව යෑම, දේහය අක්‍රීය වීම හෙවත් ඇඟ පණ නැති ගතිය, සාමාන්‍යය නින්දට බාධා ඇතිවීම, අධික නින්ද හෝ නිරන්තර කෙටි නින්ද, අනාගතය පිළිබඳ ඇති අප්‍රසන්නතාව සහ අවිනිශ්චිතතාව, අධික ආහාර රුචිය නිසා අධික තරබාරුකම ඇතිවීම හා දේහ බර වැඩිවීම, අනෙක් අතට  ආහාර අරුචිය නිසා දේහය කෘශ වීම හෝ දේහ බර අඩු වීම යනාදිය මානසික ආතතිය නිසා හඳුනාගත හැකි රෝග ලක්‍ෂණ අතර ප්‍රමුඛතාවයක් ගනී.

මෙබඳු ආතතික තත්ත්ව ඇතිවීම මානව දේහයේ රසායනික ක්‍රියාකාරකම් ශ්‍රේණියක්  හදිසි වෙනසකට ලක්වීම නිසා සිදුවන්නකි. ප්‍රධානම ආතතික හෝර්මෝන ලෙස අධිවෘක්ක ග්‍රන්ථිවලින් ස්‍රාවය කරනු ලබන කෝර්ටිසෝල් හා ඇඩ්‍රිනලීන් දැක්විය හැක. මෙම හෝර්මෝන ස්‍රාවය උත්තේජනයෙන් විවිධ ක්‍රියාකාරකම් දේහය තුළ සිදු වේ. කෝර්ටිසෝල් ස්‍රාවය මඟින් මානව දේහයේ ගබඩා කර ඇති ග්ලයිකෝජන්, ග්ලුකෝස් බවට පත්කරවා දේහයේ ශක්තිය නිපදවීම වැඩිකරවයි.

එසේම ඇඩ්‍රිනලීන් මඟින් ප්‍රධාන කොටම හෘද ස්පන්දන වේගය වැඩිකරවන අතර පේෂීන් හා දේහයේ විවිධ ඉන්ද්‍රිය පද්ධතීන් වෙතට පැමිණෙන රුධිර පරිමාව වැඩි කරවයි. එමඟින් දේහය සටන් කිරීමකට හෝ පලා යෑමකට සූදානම් කරනු ලබයි. ඇඩ්‍රිනලීන් ස්‍රාවය ප්‍රධාන කොටම අධිවෘක්ක මජ්ජාව මඟින් සිදුවන අතර එමඟින් ප්‍රකෝපකාරී හැඟීම් ඇතිවේ. නොරිස්සීම් ඇතිවේ. එහි ප්‍රතිඵලය ගහ - බැණ ගැනීමක් දක්වා වැඩි දියුණු විය හැක.

කොරෝනා නිසා අපට මුහුණ දීමට ජීවත්වීමට  සිදුව ඇති කෘත්‍රිම වටාපිටාව හේතුවෙන් මෙම දේහ හොර්මෝන ස්‍රාවයන්ගේ අක්‍රමවත් වෙනසක් නිරතුරවම ඇතිවන අවස්ථා බහුල කර තිබේ. ඉහත සඳහන් හෝර්මෝනවලට අමතරව මානව දේහයේ පවතින සෙරටොනීන්, ඩොපැමින් හා එන්ඩොපින් යන රසායනික ද්‍රව්‍යයන් හෙවත් හොර්මෝනයන් මඟින් සතුට ඇති කිරීමට දායකත්වයක් දක්වයි. එන්ඩොපින් ස්‍රාවය මානව පිටියුටරි ග්‍රන්ථිය ආශ්‍රිතව සිදුවන අතර එය මධ්‍ය ස්නායු පද්ධතිය හා පර්යන්ත ස්නායු පද්ධතිය මත ක්‍රියාත්මක වන හෝර්මෝනයක් වේ. මෙම හෝර්මෝනයේ සාන්ද්‍රණ වෙනස්වීම මානසික ආතතිය ඇති කරවීම හා හිසරදය ඇති කරවීමට දායක වේ.

අඩු පෝෂණ ආහාර වේල් මඟින් සෙරොටොනීන් ස්‍රාවය අඩාල වන අතර එය ස්‍රාවය ප්‍රධාන කොටම ආහාර මාර්ග බැක්ටීරියා හා මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයේ සමහර පෙදෙස් මඟින් සිදුවේ. ඩොපැමින් ස්‍රාවයද මොළයේ විවිධ කොටස්වලින් සිදුවන අතර මෙම රසායනික සංයෝගයන්ගේ අඩු ස්‍රාවය නිසා සතුට ඇති විම අඩාල වේ. එසේම මෙම තත්ත්වයේ පසුවන්නන් විටින් විට වෙනස්වන චර්යාවන් දක්වයි. ඔවුන් සෑමවිටම දුකින් පෙලෙන්නන් ලෙස හඳුනාගත හැක.

වෛද්‍යවරුන් පෙන්වා දෙන්නනේ විවිධ හේතු නිසා  නිසා ඇතිවන ආතතිය අපගේ චර්යාමය වෙනස්කම් මගින් මෙන්ම ආහාරයේ ඇති ගුණ අගුණතාවය අනුවද පාලනයට ලක්කර ගත හැකි බවය. සමහර ආහාර මඟින් ආතතික හෝර්මෝන ස්‍රාවය උත්තේජනය කරනු ලබයි. උදාහරණ ලෙස සුදු සීනි, තිරිඟු පිටි හා සෝයා මීට් යනාදිය මඟින් ආතතික තත්ත්වවලට අත වනනු ඇත. වෛද්‍යවරුන් ලෝකයේ සිදුකළ පර් යේෂණ මගින් පෙන්වාදී ඇත්තේ අප එවැනි කෑම අනුභවයෙන් ඈත් වුවහොත් ආතතිය පාලනයට ලක්වනු ඇති බවයි.‍

එසේම විටමින් C බහුල පැඟිරි ආහාර ගැනීම මඟින්ද ආතති තත්ත්වයන්ගෙන් මිදිය හැකි අතර එමඟින් සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිකරණයද වැඩිකරනු ඇත. එසේම ආතතික තත්ත්වය නිසා ඇතිවන කාංසාවෙන් (Anxiety) මිදීම සඳහා මේදය බහුල මසුන් (සැමන්, මැකරල්, සාර්ඩින්, පියාමැස්සන්) බිත්තර, වට්ටක්කා ඇට, කහ, යෝගට්, දුඹුරු චොකලට් (Brown Chocolate) යනාදිය ඔබගේ දෛනික ආහාර වේලට එක් කරගත හැකි නම් ඉතා වැදගත් වේ.

එසේම විටමින් B6 බහුල ආහාර වන කජු, බිත්තර, ධාන්‍යය වර්ග, මත්ස්‍යය අක්මාව යනාදිය අපගේ ආහාරයට එකතු කරගැනීමෙන් දේහය තුළ සෙරටොනීන් නිපදවා ගැනීම උත්තේජනය කර අපගේ සතුට ඇතිකරවා ගත හැක. අපව ආතතියෙන් ගැලවෙනු ඇත. එසේම මෙම සතුට උපදවන හෝර්මෝනය වන සෙරටොනීන් ස්‍රාවය විටමින් D මඟින්ද උත්තේජනය වනු ඇත. පෙ.ව. 10ට ප්‍රථම හිරු එළියට නිරාවරණය වීම මඟින් දේහය තුළ ස්වභාවිකවම විටමින් D නිපදවනු ඇත.  

ශාරීරික ව්‍යායාම මඟින් සෙරටොනින් ඩොපැනින් හා එන්ඩොපින් නිපදවීම උත්තේජනය කෙරේ. මේවා සතුට උපදවනු ලබන හෝර්මෝන වේ. එසේ නම් මෙම හෝර්මෝන ස්‍රාවය වැඩිකර අපගේ ආතතියෙන් මිදීමට කුමන වර්ගයක හෝ කය වෙහෙසා සිදුකරනු ලබන ක්‍රියාවලියක නිරතවීම සෑහේ

මෙම කාලය තුළ යම් පුද්ගලයෙකු ආතතියෙන් තොරව මානසික සුවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් ගැන ලේකයේ මනෝ වෛද්‍යවරු උපදෙස් දී තිබේ. මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයද අනුමත කර ඇති ඒ උපදෙස් මෙසේය.

හිත කළඹන වැරදි සහ අසුබ පුවත් නොබලා, ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.

අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනා වෛරසය ගැන කියවීම සීමා කරන්න. දරුවන් සිටී නම් ඔවුන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න. සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න. ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න. තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න. පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.

එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි. සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න. බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න. හැකි සෑමවිටම සමබර ආහාර වේලක් ලබා ගන්න. ක්‍රමානුකූලව දිනපතා ව්‍යායාමවල යෙදෙන්න.

 සුගත් පී කුලතුංගආරච්චි