2021 ජුලි 10 වන සෙනසුරාදා

පොකුරු පොකුරු එන්න හදන ඩෙල්ටා

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජූනි අවසන් සතිය පිළිබඳව නිකුත් කරන ලද COVID-19 නවතම තත්ත්ව වාර්තාවට අනුව ඩෙල්ටා ප්‍රභේදය රටවල් අනූ හයකින් අනාවරණය වී ඇත. ඔවුන් තවදුරටත් පවසා සිටින්නේ ජාන විශ්ලේෂණය (Genomic sequencing) මගින් ප්‍රභේද හඳුනා ගැනීමට යම් රටවලට ඇති පහසුකම්වල අඩුකම නිසා එහි සැබෑ පැතිරීම පිළිබඳව තොරතුරු නොලැබීමට ඉඩ ඇති බවයි. ඒ හේතුව නිසාම එය වාර්තා වන ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රදේශ ගණනක පැතිර ගොස් තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සැක කරයි. ඉදිරි මාස කිහිපය ඇතුළතදී මුළු ලොව පුරාම පැතිරී යන ප්‍රධානතම කොවිඩ්-19 වෛරස ප්‍රභේදය ලෙස ඩෙල්ටා පත්වනු ඇති බවට මෙම වාර්තාවේදී තවදුරටත් පුරෝකථනය කර තිබේ.

වඩාත්ම වේගයෙන් පැතිර යා හැකි මෙම ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය තවමත් එන්නත් නොකළ හෝ අර්ධ වශයෙන් එන්නත්කරණයට ලක්වූවන්ට විශාල තර්ජනයක් විය හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනතුරු ඇඟවූයේ මේ නොබෝදාය. ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමේ දරුණු ප්‍රතිඵල තවත් මාසයකින් පමණ දක්නට ලැබෙනු ඇතැයිද එවිට රෝගය පාලනය කර ගැනීමට හැකියාවක් නැති වනු ඇති බවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කළාය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ඩෙල්ටා ආසාදිතයන් දහස් ගණනක් මේ වනවිට සමාජයේ සිටිය හැකි බවයි.

ඩෙල්ටා ප්‍රභේදය ආසියාව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවත් කලාපයේ බොහෝ රටවල එන්නත්කරණ ප්‍රතිශතය අඩු මට්ටමක පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයද පෙන්වා දෙයි. ඇෆ්ගනිස්තානයේ වැඩිම ආසාදිතයන් පිරිස ඉකුත් ජූනි මාසයේ වාර්තා වූ අතර කාබුල් අගනුවරින් වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 60ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් බව ඇෆ්ගන් සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් ඇති සෙසු ආසියාතික රටවල් අතරට බංග්ලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මොංගෝලියාව අයත්ය. ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉරානය පස්වන කොවිඩ් රැල්ලකට මුහුණදීමේ අවදානමක් පවතින බව එරට බලධාරීන් පවසා තිබේ.

ලොව පුරා ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වුණු වෙනත් රටවල් වලදීද සති අටක් වැනි සුළු කාලයක් තුළදී පෙර පැවති සියලු වෛරස් ප්‍රභේද අභිබවා ඩෙල්ටා ප්‍රභේදය අදාළ  රටවල් තුළ ප්‍රධානතම ප්‍රභේදය බවට පත්වීමට සමත් වී ඇති බැවින් ගෝලීය තත්ත්වය  වඩාත් දරුණු විය හැකි අතර ලංකාවේද වෛරස පැතිරීම ඒ හා සමාන ස්වරෑපයක් ගනු ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවමින් පෙන්වා දෙති. කොරෝනා ඩෙල්ටා ප්‍රභේදයේ අනු පොකුරු රටපුරා බිහිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉකුත් සතියේ අවධාරණය ක‌ළේ ඒ අතරය.

පෙර කී ගෝලීය තත්ත්ව වාර්තාවට අනුව මෙහි ඇති දැඩි ගැටලුකාරී ස්වභාවය වනුයේ එය කලින් පැවති ප්‍රභේදවලට වඩා 55ක වැඩි වේගයකින් පැතිරීම සහ පූර්ණ ලෙස එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් සඳහා මෙම තත්ත්වය වඩාත් ගැටලුකාරී ලෙස බලපෑමට හැකි වීමයි. මෙවැනි තත්ත්වයක් යටතේදී දැනට ශ්‍රී ලංකාව තුළද නිරීක්ෂණය කරනුයේ මේ වෛරස ප්‍රභේදය පැතිරීම ඉහළ සීග්‍රතාවයකින් ආරම්භ වී ඇති බවයි. එම නිසා මේ මොහොතේදී ශ්‍රී ලාංකිකයන් ලෙස අපට කළ හැකි ප්‍රධානම කාර්යය වන්නේ වන්නේ මෙම ප්‍රභේදය රට පුරා පැතිරී යෑම හැකිතාක් අවම කිරීම සඳහා රෝග නිවාරණ උපදෙස් අකුරටම පිළිපැදීම බව වෛද්‍ය විශේඥයෝ පුන පුනා කියති‍. 

රාගම රෝහලේ විශේෂඥ වෛද්‍ය අර්ජුණ ද සිල්වා මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට නොහැකි වූවොත් සති දහයක් ඇතුළත ඉතා දරුණු තත්ත්වයක් රට තුළ ඇති විය හැකි බවයි. මීට ඇති එකම විසඳුම වන්නේ හැකිතාක් එන්නත්කරණය බවද පැවසූ ඔහු එතෙක් ජනතාව හැකිතාක් නිවෙස්වලට වී සිටිය යුතු බවද පැවසීය.

එමෙන්ම කොවිඩ් එන්නතක් සඳහා තමන් සුදුසුකම් ලබා ඇති නම්, ලැබෙන මුල් අවස්ථාවේම එය ලබා ගැනීමෙන්ද මෙම ජාතික කර්තව්‍යයට සහයෝගය ලබා දෙන්නට හැකි බවත් සෞඛ්‍ය උපදෙස්වලට අනුගත නොවී නිවසෙන් බැහැර ගොස් යළි නිවස වෙත පැමිණෙන සෑම අවස්ථාවකදීම නව වෛරස් ප්‍රභේද අපත් සමඟම නිවසට ඇතුළුවිය හැකි බව අප විශේෂයෙන් මතක තබා ගතයුතු කාරණය බවත් ඔහු පෙන්වා දෙයි.

මේ අතර මෙරට කොරෝනා ප්‍රභේද ව්‍යාප්තිය පිළිබඳව කළ ජාන විශ්ලේෂණ වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදුන් බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේය. මෙම ‘ඩෙල්ටා’ කොවිඩ් ආසාදිතයන් කොළඹ, ගාල්ල, මාතර ත්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්ක වලින්ද හඳුනාගෙන ඇතැයි ඔහු සඳහන් කළේය. ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හල් සේවිකාවක ඇතුළු 14 දෙනකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ විසින් ඉකුත් 04දා වනවිට හෙළිකරගෙන තිබුණි. 

‘ඩෙල්ටා’ කොවිඩ් ප‍්‍රභේදය ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ දිවයින පුරා කොවිඩ් රෝගීන්ගෙන් අහඹු ලෙස ලබාගත් ජෛව පටල සාම්පල 140ක් පරීක්‍ෂා කිරීමෙන් පසුවය. කොළඹ නගර සභා සීමාව, කොලොන්නාව, අංගොඩ යන ප‍්‍රදේශවලින්ද ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයන් හමුවී තිබේ. ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිතයෝ 5 දෙනෙක් මීට පෙර දෙමටගොඩ ආරාමය පෙදෙසින් හා පිළියන්දලින් හඳුනාගනු ලැබූහ.

මහජනතාව දිගටම කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය කරුණක්ව ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය විශේෂඥයෝ මේ අනුව අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට නිවසින් බැහැර යාම සීමා කිරීම, නිවසින් බැහැරව යාමේදී නාසය හා මුඛය හොඳින් ආවරණය වන සේ මුහුණ ආවරණයක් (මාස්ක්) පැළඳීම, එකිනෙකා අතර මීටර් 2ක දුරස්ථභාවයක් පවත්වා ගැනීම හා සෙනඟ වැඩිපුර ගැවසෙන තැන් මගහැරීම මෙන්ම නිරතුරුව සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදාගෙන දෑත් හොඳින් සෝදා ගැනීම යන පිළිවෙත් මහජනතාව විසින් දිගටම අනුගමනය කළ යුතුව ඇතැයි නැවත නැවතත් අවධාරණය කර සිටිති.


- සුගත් පී. කුලතුංගආරච්චි