රට සහලින් ස්වයංපෝෂිතය, සහල් රටින් ගෙන්වීමට අවශය නැත, පිටරටින් සහල් ගෙන්වන්නට සිදුවුවහොත් තමා ඉල්ලා අස්වන්නේය යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීවේ මීට සති කිහිපයකට ඉහතදීය. එහෙත් දැන් සහල් ආනයනය කිරීමට යන බව කියන්නේද ඒ කෘෂිකර්ම අමාත්‍යවරයාමය. මෙය සැබෑවට හතර බීරි කතාවකි. ප්රශ්නය ඇත්තේ ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ නොවේ. ඇත්තෙන්ම පිටරටින් සහල් ඇයිද යන්න පිළිබඳවයි. එම නිසාම විවිධ පාර්ශ්ව මේ හා සම්බන්ධව ලබාදී ඇති ප්‍රකාශ ඇසුරෙන් සංවාදයක් නිර්මාණය කිරීමට උත්සහා කළෙමු. වර්තමාන වෙළඳපොළ දෙස අප පළමු අවධානය යොමුකළ යුතුය. මේ වනවිට මෙරට සහල් මිල පාලනය කළ නොහැකි පරිද්දෙන් ඉහළ ගොස් තිබේ. පොදුවේ වෙළෙඳපොළ විමසා බලන විට රතු කැකුළු රුපියල් 110ක්, සුදු කැකුළු රුපියල් 115ක්, නාඩු රුපියල් 125ක්, සම්බා රුපියල් 155ක්, කීරි සම්බා රුපියල් 220ක් ලෙස සහල් කිලෝග්‍රෑමයක සිල්ලර මිල කියවේ. ඒ අනුව රජය පවසන මිල ගණන්වලට වෙළඳපොළෙහි සහල් නොමැති බව පෙනී යයි. මේ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා වරද පටවන්නේ වෙළෙඳුන්ට සහ සහල් මෝල් හිමියන්ටයි.
සමහර වෙළෙන්දෝ කීරි සම්බා රු.80ට අරන් සහල් කිලෝ 01ක් රු.225ට විකුණනවා. අධික ලාභ ලබනවා. ජනතාව හූරාගෙන කනවා. ඒ සඳහා නව නීති පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ගෙනැල්ලා තියෙන්නේ. රු.2500ක් වන දඩය රු. ලක්ෂය දක්වා වැඩි කරනවා. වාර්ෂිකව මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 08ක්, යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 05ක් අපේ රටේ වී වගා කරනවා. සමස්ත අස්වැන්න පරිභෝජනයට වඩා අතිරික්තයක් දක්වා තියෙනවා. සහල් හංගන නිසා හිඟය එන්නේ. අඩු මිලට වී අරගෙන වැඩි මිලට සහල් විකුණන මාෆියාව රටේ මිනිස්සුන්ට බත් ටිකක් කන්න දෙන්නේ නෑ. මුදලාලිට ඕන විදිහට සහල් මිල පාලනය වෙන්න රජයක් ඕන වෙන්නේ නෑ. ඒ නිසා අපි සහල් මුදලාලිට ඕන විදිහට නෙවෙයි පාරිභෝගිකයාට සාධාරණ වෙන විදිහට දඩ මුදල වැඩි කරන්න සෘජු තීරණයක් ගන්න අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා පියවර අරන් තියෙනවා.
කෙසේ වෙතත් වෙළෙඳුන් පෙන්වා දෙන්නේ සහල් වෙළෙඳාමෙන් ඉවත්වීම හැර තමන්ට විකල්පයක් නොමැති බවයි. රජය පවසන මිල ගණන් යටතේ සහල් තොග මිලදී ගැනීමට පවා නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි. දඩය වැඩිකිරීම හරහා ජනතාවට වාසියක් ලබාගත නොහැකි බව ඔවුහු පෙන්වා දෙති. ඒ අතර වෙළඳ අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා මතු කරන්නේ මෙවන් අදහසකි.
“ජීවිත අරගලය කරන දුප්පත් මිනිස්සුන්ට සහල් අත්‍යවශ්‍ය දෙයක්. ඉතිහාසය පුරාම ඒ සාධාරණය ඉටුවුණේ නෑ. කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ලැබුණු සහල් ගිය සතිය වනතුරු සාධාරණ මිලට මෙවර අපි ලබා දුන්නා. මාස 03ක් අපි ලබාදුන්නා. සමුපකාරය සතු වී තොග සහල් කොට හෙට සිට සතොස හා සමුපකාර වෙළඳසැල් හරහා සාධාරණ මිලට ලබා දෙනවා. අපි සාධාරණ මිලට අලෙවි කළාට සමහර වෙළඳසැල් සහල් රු.130ට විකුණන්නේ. වැඩි මිලට බඩු විකිණීමට එරෙහිව නඩු දහස් ගණනක් දාලා තියෙනවා. රු.2500ක දඩය සහල් ව්යාපාරිකයෝම ගෙවලා දාලා වැඩි මිලට සහල් විකුණනවා. මේ නිසා පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධන 75ක් එකතු කරන්න කැබිනට් මණ්ඩලය අනුමත කළා. රජය මිල නියම කළ භාණ්ඩයක් වැඩි මිලට විකුණලා අහු වුණොත් දඩය රු.ලක්ෂයක් කිරීමත් ඒ සංශෝධනවලට ඇතුළත්. ඒ සංශෝධන ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයින්ගේ සහායෙන් සම්මත කරනවා.
මේ අනුව හැඟී යන්නේ සහල් අර්බුදය මෙරට ගොවියා හෝ සිල්ලර වෙළෙන්දා පිට පැටවිය නොහැකි වරදක් බවයි. සැබැවින්ම මෙය සහල් මොල් හිමියන් ඇතුළු මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් මෙහෙයනු ලබන්නකි. මීට විසඳුම් ලබාදීමට නොහැකි වීම මත මෙතෙක් ආණ්ඩු සිදුකරමින් සිටින්නේ ගැටලුවට පැලැස්තර විසඳුම් ලබාදීය. සහල් ආනයන කතාව මතුවන්නේ මෙතැනදීය. සෑම කලකම සහල් ආනයනය මෙවන් අවස්ථාවල විකල්ප ලෙස ආණ්ඩු තෝරා ගනියි. මෙවරද සිදුවන්නේ එවැන්නකි.
වෙළෙඳ හා පාරිභෝගික කටයුතු, මුදල්, කෘෂිකර්ම, තාක්ෂණ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුවක් සහල් ආනයනය පිළිබඳ සොයා බලනවා. සහල් ගෙන්වීමේදී ඉතිහාසය පුරා විවිධ අක්‍රමිකතා සිදුව තියෙනවා. නඩු බර ගාණක් තියෙනවා. ඒ නිසා මගේ ආත්මය ඒ කුණු ගොඩට වට්ටගන්න මම සූදානම් නැහැ. ඒකයි රජයේ ඉහළම නිලධාරීන්ගෙන් සැදුම්ලත් ප්‍රසම්පාදන කමිටුවක් පත්කළේ. ඉතාම විනිවිද භාවයෙන් මේ ආනයන කටයුතු අපි කරන්නේ. ජාත්‍යන්තර තරඟකාරී මිලට අපි ටෙන්ඩර් කැඳවලා තියෙනවා. ඒ සඳහා ඉල්ලුම්පත් ලබාගන්න ඩොලර් 500ක් ගෙවන්න ඕනේ. කැකුළු, නාඩු, සම්බා, කීරි සම්බා සියල්ලටම පාලන මිල නියම කරනවා. හිඟයකින් තොරව සාධාරණව සහල් ජනතාවට දෙන්න පාරිභෝගික කටයුතු හා කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගන්නවා.”
වෙළෙඳ අමාත්‍යවරයා මේ කියා සිටින්නේ ඉදිරියේ සහල් ආනයන කරන බවයි. ආරක්ෂිත තොග අවසන් වීම මත මෙම අනයනය සිදුකරන බව ඔහු කියා සිටියි. ඔහුට අනුව වේයන්ගොඩ ගබඩාවල ආරක්ෂිත සහල් ඇටයක්වත් නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරියේ මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයන කෙරෙනු ඇත. මේ වනවිටත් නාඩුවලට සමාන සහල් මෙක්ට්‍රික් ටොන් 50,000ක් හා සම්බාවලට ආදේශ සහල් මෙක්ට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමට තරඟකාරී ජාත්‍යන්තර ටෙන්ඩරයක් කැඳවා තිබේ.
කෙසේ වෙතත් මාසයකට එකහමාරකට අවශ්‍ය සහල් තොග ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා මීට ඉහතදී කියා සිටියේය. ඒ අනුව බැලූ බැල්මට අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ අතර ඇත්තේ පරස්පර බවකි. 2020/2021 මාස් කන්නයේ ලද සම්පූර්ණ වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.12ක් වන අතර ඉන් ඉකුත් අප්‍රේල් මාසයේ සිට ඉදිරි මාස 10ක කාලය සඳහා මෙරට සහල් අවශ්‍යතාව සපුරාලිය හැකි බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබූ පසුගියදා හෙළිදරව් විය. එය තවත් අපබ්‍රංස කතාවකි.
අපට අමතක ඇති පරිදි පසුගිය සමයේ ජනාධිපතිවරයා පවා සහල් ප්රශ්නය විසඳීමට මැදිහත් වූයේය. ජනාධිපති වෙළෙඳපොළට පවා ගියේය. සහල් මෝල් හිමියන් ආදී පිරිස් සමඟ සාකච්ඡා කළේය. ඒ අතර මහා පරිමාණ සහල් ගබඩා සහ මෝල් ඉදිකර පවත්වාගෙන යාම පිළිබඳවද සාකච්ඡා තිබුණි. තවත් පසෙකින් රුල්ලට පුරන් කුඹුරු අස්වැද්දීමද සිදුවිය. මෙවන් තත්ත්වයක් තුළ සහල් ආනයන කරන තත්ත්වයට ආණ්ඩුව පත්වූයේ ඇයිද යන්න අප සැමට ඇති ප්රශ්නයයි.
සහල් ආනයනය කරන මහා පරිමාණ ජාවාරම්කාරයන් කිහිපදෙනකු සමඟ වෙළෙඳ අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් කිහිපදෙනකු එක්වී සිටින බවත්, විශාල කොමිස් මුදලක් මෙම දෙපිරිස අතර හුවමාරු වන බවත් මේ වනවිට අනාවරණය වී ඇතැයි ඇතැම් ගොවි සංවිධාන චෝදනා කර ඇති බවත් සිහිපත් කළ යුතුය. ඒ පිළිබඳ පැහැදිලි අනාවරණයක් නැතැත් දශක කිහිපයක් පුරාවට වසරකට වරක් දෙවරක් මතුවන මෙම සහල් අර්බුදය පිළිබඳ සිතා බලන විට එවන් මතද බැහැර කළ නොහැකිය. එම සැකය තවත් තීව්ර වන්නේ මෙරට සහල් සම්බන්ධ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සතු ආර්ථික දේශපාලන බලය දෙස බලන විටය.
අවසානයේ කිව යුත්තේ සහල් ආනයනය මෙරට සහල් අර්බුදයට ස්ථීරසාර විසඳුමක් නොවන බවයි. මෙය හුදු පැලැස්තරයක් පමණි. දීර්ඝකාලීන ගැටලුවක් කෙටිකාලීන විසඳුම් ලබාදීම අප රටක් ලෙස දිගින් දිගටම සිදුකරමින් සිටිමු. මෙම ගැටලු සැලකීමේදී රටක් ලෙස අප දිර්ඝකාලීන විසඳුමක් සොයාගත යුතුය. මන්ද මෙරට මිනිස්සුගේ ප්‍රධාන ආහාරය බත්ය. මෙරට බහුතර ජනයාගේ ජීවන උපාය කෘෂිකර්මාන්තයය. බඩගින්න තරම් දරුණු ගින්නක් මේ මිහිමත නැත. ඉතින් පාලකයන් එය අමතක නොකළ යුතුය.
චමිඳු නිසල්