2021 ජුලි 10 වන සෙනසුරාදා

එකවරක් පාවිච්චි කර ඉවත දමන ප්ලාස්ටික් කෝප්ප ඉවතටම

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 91

චාම් උත්සවයක් අවසානයේ සංග‍්‍රහයට භාවිත කරන ලද භාජන අතර එකවරක් පමණක් පාවිච්චි කර ඉවත දමන කෝප්ප තොගයකි. තවත් පොලිතීන් කවරයක බහා කසළ වශයෙන් බැහැර කරන නමුත් එයින් සිදුවන පරිසර හානිය ගැන ද අවධානය යොමු කිරීම සුදුසුය. අවන්හල් සහ කෝපි ෂොප් මෙම ප්ලාස්ටික් කෝප්ප බහුලව භාවිත කරයි. ප්ලාස්ටික් හැඳි, ප්ලාස්ටික් ඇසුරුම් කරන පරිසර හානියද බලවත්ය. අනාගතයේ ඇතිවිය හැකි විපාක ගැන සිතන විද්වත් පිරිස් අලුත් අදහස් ඉදිරිපත් කරමින් සිටිති. එකවරක් පාවිච්චි කර කසළ භාජනයට බැහැර කිරීම වෙනුවට සෝදා පිරිසිදු කරන නැවතත් භාවිත කරන කෝප්ප වෙත නැඹුරුවන බව වාර්තා වෙයි.

කෝපි පානය කිරීම බටහිර රටවල ජනපි‍්‍රය සංස්කෘතියේ කොටසකි. අවන්හලකට වැදී එකක් අවසන් වනවිට තවත් එකක් වශයෙන් කෝපි මිල දී ගන්නා පිරිස් පැය ගණන් කතා කරමින් සිටීම සුලබ දසුනකි. ශීත කාලයේදී සම්පූර්ණයෙන් ශරීරය ආවරණය කරගත් උණුසුම් ඇඳුම් සහිතව අවන්හලකට එන ගනුදෙනුකරුවෝ දුම් දමන කෝපි අමතක නොකරති.

ලෝකය පුරා, එක දවසකට කෝපි කෝප්ප බිලියන 1.6ක් විකිණෙන බව දැක්වෙයි. බ්‍රිතාන්‍යයේ අධ්‍යයනයක් අනුව එරට කෝපි පානය කරන පිරිස් අවුරුද්දකට පමණක් ඉවතට විසි කරන කෝප්ප ප‍්‍රමාණය බිලියන 2.5 ඉක්මවයි. මෙම තොගය මෙට්‍රික් ටොන් තිස් දහසක් බව දැක්වේ. තිත්ත කෝපි රහට අකමැති පිරිසක් ද සිටිති. රහ පමණක් නොව මෙම ඉලක්කම අනුව කෝපි පානය කරන්නන් පරිසරයට කරන බලපෑමද ඉතාම තිත්ත බව සඳහන් කළ යුතුය. කෝපි පමණක් නොවේ ජලය, කිරි, තේ, කෝලා වර්ග යනාදී වශයෙන් කවර ආකාරයේ දියර වර්ගයක් පානය කර ඉවත දමන කෝප්පයකින් පවා ඇති කරන ප‍්‍රශ්නය අවධානයට ගත යුතුය. කොවිඩ් වසංගත තත්ත්වය මැද ලෝකයේ සමහර රටවල් වල සංචරණ සීමා තිබේ. එය අවන්හල්වල ගැවසීම අඩු කරන හේතුවකි. කෝප්ප ඉවත දැමීම අඩු වී නොමැත. කේන්ද්‍රීය ගැටලුව එයින් විසඳෙන්නේ නැත.  

කෝප්ප නිපදවන්නේ ප්ලාස්ටික්වලිනි. දිරාපත්වීමට සෑහෙන කාලයක් ගතවෙයි. අඩු වියදමකින් තනන මෙම ප්ලාස්ටික් කෝප්ප ප‍්‍රතිචක‍්‍රීකරණය පවා ආර්ථික වටිනාකමක් නැත. ඉඩම් ගොඩකරන විට පොළොවට යට කරන ප‍්‍රයෝජනය පමණකි. පරිසරය ගැන කල්පනා කළ ඇතැම් අවන්හල් ඝන කඩදාසිවලින් තැනූ කෝප්ප පාරිභෝගිකයන්ට පිරිනමන්නට වෑයම් කළේය. එහෙත් කාන්දුවීම් සහ එයින් ඇඳුම්වලට සිදුවූ හානි අවන්හලේ ජනප‍්‍රියත්වයට ප‍්‍රශ්න ඇති කළේය. අන්තර් ජාලයෙන්  ආහාර ඇනවුම් කළ විට ලැබුණ කෝපි කෝප්පය, පාර්සලය පුරා ඉහිරී නොසන්සුන් තත්ත්ව නිර්මාණය කර ඇත.

පිරිසිඳු කර නැවත නැවතත් භාවිත කළ හැකි පීරිසි කුට්ටම් වෙත නැවතත් ප‍්‍රවේශ වන බව පෙනේ. විසිතුරු නිර්මාණ සහිතව සකස් වූ කෝප්ප වලට ලැදියාවක් ද ඇත. අවන්හල්වල පිඟන් සහ කෝප්ප සෝදන මැෂින් සවිකර තිබේ. පානයෙන් පසු එහි බහාලන භාජන ස්වයංකී‍්‍රයව පිරිසිඳුවෙයි. ජලය ඉතිරි කරන අතර උපරිම විෂබීජ නාශක ක‍්‍රම හඳුන්වා දී තිබේ. 

කැනඩාව තවත් ක‍්‍රමයක් අනුගමනය කරන බව පෙනේ. ගනුදෙනුකරුවන්ට තමන්ගේ කෝප්ප රුගෙන පැමිණිය හැකිය. එවැනි පාරිභෝගිකයන් දිරිගන්වන්නට අවන්හල් විශේෂ ප‍්‍රචාරක කටයුතු අරඹා තිබේ. තමන්ගේ කෝප්පයට කෝපි මිල දී ගෙන ඒවා තමන්ගේ ගමන්මල්ලේ බහා තබා ගැනීමටද හුරු කරමින් සිටී. චීනයේ සහ තායිලන්තයේ පවා මෙම ක‍්‍රමය ප‍්‍රචලිතය. ඒවා ප‍්‍රමාණයෙන් විශාල කෝප්ප විශේෂයකි. අධික උෂ්ණත්වය සහිත කාලගුණයක් පවතින වකවානුවල දියර වර්ග වැඩිපුර පානය අවශ්‍යය. විජලනයෙන් වළක්වා ගැනේ. නිතර පානය සඳහා බෝතල් වතුර මිල දී ගැනීමට කරන වියදම පාලනය අරමුණු කරගෙන චීන වැසියෝ ලොකු බෝතලයක් රුගෙන වැඩට යති. සමහර දෙනෙකු එහි තේ පැකැට්ටුවක් බහා තබයි. බෝතලයේ වතුර අවසන් වන වාරයක් පාසා එයට එකතු කරගන්නා අතර එය තේ රසයෙන් යුතු පාලනයකින් තෘප්තිමත්වීමට අවස්ථාවක් බව දැක්වෙයි.

පර්යේෂණවලට පසු අලුත් කෝප්ප වර්ග අටක් හඳුන්වා දෙන්නට සමත්ව ඇති බව පසුගිය දා ජාත්‍යන්තර සඟරාවක් අනාවරණය කළේය. මේවා නැවත නැවතත් භාවිතයට ගත හැකිය. උණුවතුර කෝප්පයට දමා කලතන තේ පැකට්වල පවා ප්ලාස්ටික් අඩංගුය. පරිසරයට හානි නොවන ද්‍රව්‍ය වලින් සකස් කරන ලද තේ බෑග් වර්ග පහළොවක් මෑත කාලය තුළ වෙළඳපොළට පැමිණ තිබේ. ආරක්ෂිතව නැවත භාවිත කළ හැකි ආහාර ඇසුරුම් කරන පෙට්ටි වර්ග හතක් එළි දක්වා ඇත. මෙම සියලුම අත්හදා බැලීම් අනාගතය ගැන සලකා කරන ලද නව නිර්මාණ වශයෙන් සැලකේ. 

කෝපි කෝප්පය නැවතත් භාවිත කිරීමෙන් පමණක් ආහාර පාන ඇසුරුම් වෙනුවෙන් ප්ලාස්ටික් මෙවලම් භාවිත කිරීම නතර කරන ප‍්‍රයත්න අවසානයක් දැකිය නොහැක. ලෝකය පුරා සියලු පාරිභෝගිකයන් ආහාර පාන ඇසුරුම් භාවිතයෙන් ඉවත දමන ප‍්‍රමාණයෙන් සියයට අනූ එකක්ම ප‍්‍රතිචක‍්‍රීකරණයකින් තොරව මහ පොළවට එකතු වෙයි. ගංගා ඇළ දොළවලට එකතුවන මෙම ද්‍රව්‍ය අවසානයේ සාගරයෙහි තැන්පත් වන බව නිරීක්ෂණය වී තිබේ. සියයට සියයක් ප‍්‍රතිචක‍්‍රීකරණය පවා විකල්පයක් නොවන බව දැක්වෙයි. දරන්නට සිදුවන පිරිවැය එයට හේතුවකි. අනවශ්‍ය වියදම කෝපි කෝප්පයට ගෙවන මිලට නැවත එකතුවෙයි. වඩාත්ම වාසිදායක නැවත පරිහරණය කරන ඇසුරුම් පිළිවෙළකට ගමන් කිරීම බව තහවුරු වී තිබේ. පරිසරය ගැන හිතන ශ‍්‍රී ලාංකිකයන්ට ද වතුර බෝතලයක් තමන්ට වෙන් කරගෙන ළඟ තබාගැනීම සුදුසුය. අවන්හලකට යනවිට තමන්ගේ කෝප්පයකට තේ හෝ කෝපි ඇනවුම් කරන හුරුවක් ඇති කරගත හොත්, කෙසේවත් එම සාදය උපහාසයට හේතුවක් නොවේ. 
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org මගින් සංවාදයට යොමු කළ හැකිය.

මිලින්ද මොරගොඩ

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03