ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ හෙවත් කොටස් වෙළෙඳපොළ මේ වන විට දැඩි අර්බුදයකට ලක් වී තිබේ. සාමාන්‍ය ආයෝජකයන්ට කොටස් වෙළෙඳපොළ පිළිබඳව තිබූ විශ්වාසය පළුදු වෙමින් පවතී. ඔවුන් විශ්වාස කරන්නේ කොටස් වෙළෙඳපොළ තමන් අමාරුවේ දමන ස්ථානයක් වී ඇති බවය. කොටස් වෙළෙඳපොළ තුළට රිංගාගෙන සිටින කුප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් මේ වන විට එය තමන්ගේ බූදලයක් බවට පත් කරගෙන සිටිති. මෙම වෙළෙඳපොළටද මිල න්‍යාය බලපවත්වන අතර එහි මිල තීරණය වන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය මතය. එහෙත් මේ වන විට කොටස් වෙළෙඳපොළට එලෙස ස්වාධීන ලෙස ක්‍රියා කරන්නට නොහැකි වී ඇත්තේ ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් එය පාලනය කරන්නට පෙළඹී සිටින බැවිනි. ඒ අය තමන් හිතූ මතයට කොටස් මිල ඉහළ පහළ යැවීමට කටයුතු කරන නිසා ආයෝජනයට උනන්දුවක් දක්වන අයට එයට සම්බන්ධ වීමට දෙවරක් සිතන්නට සිදුව තිබේ.
අද කොවිඩ් වසංගතය නිසා ව්‍යාපාරිකයන්ගේ මුදල් උපයන අවස්ථා අඩුව ඇති බැවින් ඔවුහු ප්‍රාග්ධන වෙළෙඳපොළට නැඹුරු වෙමින් සිටිති. එසේම රටේ ආනයන තහනම් කර ඇති බැවින් ව්‍යාපාරිකයෝ තමන් අත ඇති මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වති. තවද වරාය නගරය කරා යොමුවන ආයෝජකයන්ට කොටස් වෙළෙඳපොළට ආයෝජනය කිරීමටද මහඟු අවස්ථාවක් ලැබී ඇත. මේ හැරුණුවිට වර්තමානයේ වාණිජ බැංකු තැන්පතුවලට ගෙවන පොලිය පහත දමා ඇති නිසා තැන්පත්කරුවන් ස්වකීය මුදල් බැංකුවල නොදමා ප්‍රාග්ධන වෙළෙඳපොළේ කොටස් මිලදී ගැනීමට යෙදීමේ ප්‍රවණතාවක් පවතී. රටේ කොටස් වෙළෙඳපොළ රජය මගින් පාලනය කරන්නක් වන නිසා ආයෝජකයන් කිසිදු පැකිලීමක් නැතිව එහි මුදල් ආයෝජනයට පෙළඹෙනවා ඇත.
එහෙත් අවාසනාවකට මෙන් අපේ ප්‍රාග්ධන වෙළෙඳපොළ පත්වී ඇති කනගාටුදායක ඉරණම නිසා මේ ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රායෝජන ගැනීමට නොහැකිව තිබේ. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූවක් නොව මෙයට පෙර පැවැති ආණ්ඩු කිහිපයක කාලවල සිදු වූ දෙයකි. ඒ ඒ කාලවල එම ආණ්ඩුවලට සම්බන්ධ දූෂිත ව්‍යාපාරිකයන් කොටස් වෙළෙඳපොළේ පහරන්නට පටන් ගැනීම පුරුද්දක් ලෙස කෙරේ. අද උද්ගතව ඇත්තේද ඒ පළිකුල් දනවන ජාවාරමේ එක් අවස්ථාවක් පමණි.
කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකවල වටිනාකම ඉහළ පහළ යන්නේ එහි ඉල්ලුම සැපයුම අනුවය. මෙයට පෙර ඉහළ පැලැන්තියේ ව්‍යාපාරිකයන්ට පමණක් සීමා වූ වෙළෙඳපොළ අද වන විට සාමාන්‍ය ජනතාව වෙත සමීප වී සිටී. අපේ රටට අද උද්ගතව ඇති විදේශ විනිමය අර්බුදයටද කොටස් වෙළෙඳපොළ හොඳම ප්‍රතිකර්මයකි. ඒ තුළින් විදේශ ආයෝජකයන් අද්දාගත හැකි නම් අපේ රටට ඩොලර් ලබාගැනීමේ මාවතක් විවෘත වෙනවා ඇත. විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වය රඳා පවත්වා ගැනීමටද හැකියාව ලැබේ. ඒ හැරුණුවිට රටක කොටස් වෙළෙඳපොළ තුළින් රටේ ආයෝජන දිශානතිය පිළිබඳ අදහසක් ඇතිකර ගැනීමට පුළුවන. එය අනාගත අර්ථික තීරණ ගැනීමේදී වැදගත් වෙයි.
බොහෝ ආයෝජකයන් කොටස් වෙළෙඳපොළට යොමුවන්නේ කිසිදු වෙහෙසක් නැතිව මුදල් හම්බ කිරීමට මාර්ගයක් වන නිසාය. කොටස් වෙළෙඳපොළ දර්ශකවල හැසිරීම පිළිබඳ අවබෝධයක් ලබාගෙන ලන්සු තැබීමට හැකි අතර එය එක්තරා අන්දමේ සූදුවක් බවටද කිව හැකිය. රටක ආර්ථික තත්ත්වයද කොටස් වෙළෙඳපොළ කෙරෙහි බලපාන බව රහසක් නොවේ. බදු ප්‍රතිපත්තිය, ආර්ථික තත්ත්වය හා දේශපාලන හා සමාජමය පරිසරයද කොටස් වෙළෙඳපොළ කෙරෙහි හිතකර හෝ අහිතකර ලෙස බලපායි. අද අපේ රටේ පසුගිය සමයට වඩා දේශපාලන ස්ථාවරභාවයක් තිබුණද ස්ථිර බදු ප්‍රතිපත්තියක් නොමැතිවීම ආයෝජකයන් පසුබැස්සවීමට හේතු වී තිබේ.
අද අපේ රුපියල අවප්‍රමාණ වීම නිසා රටට ගෙනෙන ඩොලරයට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබීමද කොටස් වෙළෙඳපොළට ආයෝජකයන් ඇදගැනීමට සමත් වී ඇත. ප්‍රාග්ධන වෙළෙඳපොළේ ගනුදෙනු සිදුවන්නේ ශ්‍රී ලංකා රුපියල්වලිනි. එසේ වුවද මේ වන විට විදේශ ආයෝජකයන් පැමිණීම අඩුව ඇති අතර කොටස් වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම පාහේ දේශීය ආයෝජකයන් අතට පත්වී ඇත. එහෙත් එයට නිදහසේ ක්‍රියා කරන්නට ඉඩ ලැබී නැති අතර කිහිප දෙනෙක් පමණක් එය අත්පත් කරගෙන සිටිති. ප්‍රාග්ධන වෙළෙඳපොළේ ආයෝජනය කරන්නන්ට රජය පිරිනමන බදු සහන ආදියෙන් ප්‍රායෝජන ගැනීමට අපේ ඊනියා ආයෝජකයන් මෙය උපක්‍රමයක් ලෙස භාවිත කරන බව පෙනේ.
කොටස් වෙළෙඳපොළ තුළ කොටස් මිල කෘත්‍රිමව ඉහළ නංවා තම කොටස් අලෙවි කර ගැනීමෙන් පසු එය පහළට ගිල්වා දැමීමට මෙම ව්‍යාපාරිකයන් අතළොස්ස කටයුතු කරති. එහි ප්‍රතිඵලයක් වන්නේ වෙළෙඳපොළට පැමිණෙන සාමාන්‍ය ව්‍යාපාරිකයන් නොමග ගොස් අමාරුවේ වැටීමය. ඉහළ ගිය කොටස් වැඩි මිලට ගත් අය ඒ මිල පහළ ගිය විට තම අතේ ඇති මුදලද නැතිකර ගනිති. මේ නිසා ඔවුහු යළි යළිත් කොටස් වෙළෙඳපොළට එනවා තබා ඒ දෙස බැලීමටවත් රුචි නොකරති. කොටස් වෙළෙඳපොළ පාලනය කිරීම ප්‍රාග්ධන සහ විනිමය කොමිෂන් සභාව මගින් සිදු කරන නිසා මෙහි ඇති අයහපත් තත්ත්වය පාලනය කිරීමට රජයට අපහසු නොවේ. එහෙත් එය සිදු නොවී කොමිසමේ සමහරුන් අනිසි අන්දමින් කුප්‍රකට ව්‍යාපාරිකයන්ට පහසුකම් සැලසීම නිසා තත්ත්වය දිගින් දිගටම අයහපත් ලෙස වර්ධනය වෙමින් පවතී.
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ කොටස් වෙළෙඳපොළ මාර්ගයෙන් රටේ ආර්ථිකයට යම් ගැම්මක් දීමට ලැබුණු අවස්ථාව කුප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ සටකපට ක්‍රියා නිසා අහිමි වී ඇති බවය. එය ජාතියේ අවාසනාවක්ය යන්න ඔහුගේ අදහසයි.
කොවිඩ් අර්බුදය නිසා පසුගිය දිනවල කොටස් වෙළෙඳපොළ තුළ යම් වර්ධනයක් සිදු වුණා. විදේශ ආයෝජකයන් නොපැමිණියද දේශීය ආයෝජකයන් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පෙළඹුණා. එසේම රජය ආනයන සීමා කිරීම හේතුවෙන් ව්‍යාපාරිකයන් තමන් අත තිබූ අතිරික්ත මුදල් කොටස් වෙළෙඳපොළට යෙදුවා. එසේම වරාය නගර ව්‍යාපෘතිය නිසාද ප්‍රධාන ව්‍යාපාරිකයන් කොටස් වෙළෙඳපොළට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් ඇතිවන්න පටන් ගත්තා. ඇතැම් සමාගම් වරාය නගරයේ ඉඩම් පවා මිලදී ගෙන ආයෝජනයට පැමිණීම නිසා ඔවුන් කොටස් වෙළෙඳපොළේ ආයොජනය කෙරෙහි විශ්වාසයය තබා කටයුතු කිරීමට පෙළඹුණා.
අපේ කොටස් වෙළෙඳපොළ කඩා වැටුණු අවස්ථා මෙන්ම ප්‍රසාරණය වූ අවස්ථාද දිගින් දිගටම පැවතුණා. නුදුරු අතීතයේදී කොටස් මිල දර්ශක අවමය වන සියයට 5ට වඩා පහළ ගිය විට එය විවෘත කර පැය ½ක් පමණ වසා තැබූ අවස්ථාද තිබුණු බව අපට මතකයි. මෙලෙස කඩා වැටී තිබුණු වෙළෙඳපොළ තමා ඓශ්චර්යකින් වගේ ඉහළ නගින්න පටන් ගත්තේ. රටේ ආර්ථිකය ශක්තිමත් වීමට, ආයතන අධික ලෙස ලාභ ලැබීම හා ආයෝජකයන්ගේ මානසික තත්ත්වය වර්ධනය වීම වැනි හේතු දමා ආයෝජනය ඉහළ යාමට සාධක වන්නේ.
කොටස් වෙළෙඳපොළද ක්‍රියාත්මක වන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුවයි. මිල බහින විට තමා මිලට ගැනීම වැඩි වන්නේ. එහෙත් විවෘත වෙළෙඳපොළේ වගේම කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වයද මේ න්‍යාය මත නිදහසේ සිදුවන්නේ නැහැ. සිදුවන්නේ නැහැ කියනවාට වඩා සිදුවන්න දෙන්නේ නැහැය කිව්වොත් නිවැරදියි. කොටස් වෙළෙඳපොළ මෙහෙයවන සුරුකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරුන් කිහිප දෙනෙක් පසුගිය රජයවල් සමයේ ඉල්ලා අස්වූවා. තිලක් කරණාරත්න එවකට සිටි ජනාධිපති ලේකම්වරයාගේ බිරිය වන ඉන්ද්‍රාණි සුගතදාස හා නාලක ගොඩහේවා එවැනි අයයි. මෙවැනි ප්‍රකට පුද්ගලයන් එයින් ඉවත් වූවේ ඒ අයට නිවැරදිව රාජකාරි කරන්න බැරි විදියට විවිධ පෙළඹවීම් ඇතිවීම නිසයි. ඒ කාලයේත් අදෘශ්‍යමාන හස්තයන් මගින් කොටස් වෙළෙඳපොළ පාලනය කළා. ඒ අය හසුරුවන්නට සභාපතිවරුන්ට නොහැකි වූයේ ඉහළින් ආ විවිධ බලපෑම් නිසයි.
අද වන විටද ඒ තත්ත්වය උච්ඡ වීම මිස මර්දනය වීමක් සිදුව නැහැ. කොටස් වෙළෙඳපොළට රිංගාගෙන ඇති ඊනියා ජාවාරම්කරුවන් එහි මිල කෘත්‍රිම ලෙස හසුරුවනවා. ඉහළට නංවන කොටස් මිල කෙටි කාලයකදී පහළට කඩා වට්ටනවා. මෙය උස්සලා අතහැරීමක්. *pump and dump*. මෙයින් අමාරුවේ වැටෙන්නේ සාධාරණව කටයුතු කරන කුඩා ව්‍යාපාරිකයන්. ඇතැම් වෙලාවට රුපියල් 700කට මිල වූ කොටසක ශුද්ධ වත්කම රුපියල් 50ට අඩුයි. මෙම මිල නැංවීමට රුවටුණු කුඩා ව්‍යාපාරිකයන් එම කොටස් මිලදී ගෙන ඒවා එකවරම පහළ වැටුණු විට අමාරුවේ වැටෙනවා. මෙවැනි කුප්‍රකට ව්‍යාපාරිකයන් කරන සෙල්ලමක් වන්නේ හේතුවක් නැතිව වැඩි මිලට ඉල්ලා මිල ඉහළ නැංවීමයි. ඔවුන් කරනුයේ මෙලෙස මිල වැඩිකර එක් අවස්ථාවකදී තම කොටස් සියල්ල එකවර අලෙවි කරගෙන වෙළෙඳපොළෙන් ඉවත් වීමයි. එයට රුවටිලා රුල්ලට අසුව කොටස් මිලට ගත් අය අමාරුවේ වැටෙනවා. මෙය බැඳුම්කර වංචාවට, සීනි බදු වංචාවටත් වඩා විශාල මහා පරිමාණ වංචාවක්. මේ නිසා කොටස වෙළෙඳපොළ ගැන තිබූ ව්‍යාපාරික විශ්වාසය පළුදු වෙනවා.
අද වන විට කොටස් වෙළෙඳපොළ දූෂිතයන්ගේ කළු සල්ලි සුදු කරන තැනක් බවට පත්ව තිබෙනවා. ආයෝජනය කරන ප්‍රබල සමාගමක් වන LOLC අනුබද්ධ සමාගමක් මේ වසරේ මාර්තු මස වන විට රුපියල 76ට අලෙවි වූ කොටසක් ජූනි මස අවසන් වන විට රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙය කෙටි කාලයකදී වාර්තාගත මිල ඉහළ යාමක්. එතරම් මිල ඉහළ ගියේ කෙසේද යන්න ගැන මේ වන විට විනිමය කොමිසම විමර්ශනය කරන්න පටන්ගෙන තියෙනවා. එහෙත් ප්‍රමාදයි. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමෙන් ප්‍රතිඵලයක් නැහැ.
අපේ විනිමය කොමිසමට හොරු අල්ලන්න බැහැ. හොරු කොමිසම අල්ලන් සිටිනවා යැයි කිවහොත් නිවැරදියි. මෙවරද බොරු වාර්තාවක් එළියට එයි. විනිමය හා සුරුකුම්පත් කොමිසම ස්වකීය වගකීම නිසි පරිදි ඉටු කළාද යන්න සැකයි. පසුගිය කාලයේ පැය බාගයෙන් කොමිසම වසන්නට කටයුතු කළ අය අද එලෙස නොකරන්නේ ඇයිද යන්න ගැටලුවක්. දිනපතා දර්ශක නිකුත් වන නිසා එය සොයාගන්න අපහසු නැහැ.
සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළට අවතීර්ණ වන සමාගම් වත්කමෙන් සියයට 20ක් ජනතාවට අලෙවි කළ යුතු බවට නියමයක් තියෙනවා. එය ඇතැම් සමාගම්වලට බලපාන්නේ නැහැ. LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සමාගම කොටස්වලින් සියයට 99ක් තමන් සන්තකයේ තබාගෙන සියයට 1ක් පමණයි පිටතට අලෙවි කර තිබෙන්නේ. එලෙස කරන්නේ අදාළ පහසුකම් හා වරප්‍රසාද ලබාගැනීමේ අපේක්ෂාවෙන්. කොටස් වෙළෙඳපොළ ලියාපදිංචි වූ සමාගම්වලට ප්‍රාග්ධන බදු නිදහස ලැබෙනවා. තවත් සහන කිහිපයක්ම ලැබෙනවා. මෙහිදී සිදුවන්නේ කොටස් සියයට 1ක් පිටට අලෙවි කරලා අර පහසුකම් ලබාගැනීමයි. විශාල නියාමනයක් කළ යුතුව තිබියදී මෙම වංචා චෝදනාවලට එරෙහිව කොමිසම කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. කොමිසමේ සභාපති පත් කරන්නේ ආණ්ඩුවෙන්. එහෙම නම් නිසි ලෙස සභාපති මෙහෙයවිය යුතුයි. එලෙස සිදුවන්නේ නැහැ. මෙහිදී සිදුවන්නේ තෝරාගත් සමාගමකට හෝ දෙකකට වැදගත් ලෙසට සොරකම් කිරීමට ඉඩ ලබාදීමයි. අද සිදුවන්නේ සුදු කරපටිකාර හොර දූෂකයන් බිහි කිරීමක්.
අද කොටස් වෙළෙඳපොළ ග්‍රහණය කරගෙන සිටින එක්තරා ප්‍රබල චරිතයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේද සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. විනිමය හා සුරුකුම්පත් කොමිසම ඇත්තේ රාජ්‍ය සේවා කොමිසම යටතේයි. එහි පත්වීම් කරන්නේ රාජ්‍ය සේවා කොමිසම මගින්. මොහු ප්‍රබලයකු වී ඇත්තේ ඒ නිසයි. කොටස් වෙළෙඳපොළ පාලනය කරන්නේ ඔහුයි. තවත් ප්‍රබල අය සිටිනවා. විනිමය කොමිසමේ බ්‍රෝකර්ස්ලා මාර්ගයෙන් තමා කොටස් මිල ඉහළ පහළ යන්නේ. ඒ අය ව්‍යාජ ලෙස කොටස් මිල ඔසවා තබා තම ආයෝජකයන්ට වාසි ලබා දෙනවා. අද වාණිජ බැංකු පොලිය විශාල ලෙස අඩුව තිබෙන නිසා බොහෝ අය කොටස් වෙළෙඳපොළට ඇදී එනවා. කොළඹ වරාය නගරයට එන ආයෝජකයන්ද කොටස් වෙළෙඳපොළට නැඹුරු වෙනවා. ඒත් අපේ කොටස් වෙළෙඳපොළ මෙලෙස දූෂිත වී විශ්වාසය පළුදු වී තිබෙන විට ඔවුන් කොටස් වෙළෙඳපොළට එන්නේ නැහැ. එසේම ජාත්‍යන්තර ආයතනවල ශ්‍රේණිගත කිරීම් අනුව අපේ රට පහළට දමා තිබියදී ප්‍රාග්ධන වෙළෙඳපොළද මෙසේ කඩා වැටීම රටේ ආර්ථිකයට විශාල හානියක්.
වගකිව යුත්තන් මේ ගැන සිතා බලා පියවර ගත යුතුයි. එසේ නොවේ නම් රටේ ආර්ථිකයට විශාල හානියක් විය හැකියි.
යසවර්ධන රුද්රිගූ