2021 ජුලි 10 වන සෙනසුරාදා

කඳුමුදුන්, සොහොන් බිම්වල සිට ශිල්ප ලබාදෙන ඔන්ලයින් දිසාපාමොක්ලා

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 73

පාසල් සිසුන්ට පරිහරණය කිරීම පාසල් විසින් තහනම් කර තිබු ජංගම දුරකථනය සිසුන්ගේ අත්‍යවශ්‍ය ඉගෙනුම් උපකරණයක් බවට මේ වන විට පත්වී ඇත. තම පවුලේ සියලු අවශ්‍යතා පසුවට තබා පාසල් යන දුවට පුතාට ස්මාට් දුරකථනයක් මිලදීගෙන දීමට දෙමාපියන්ට සිදුව තිබේ. පවුලේ පාසල් යන දරුවන් කිහිප දෙනෙකු සිටින විට පවුලට එක දුරකථනයක් පමණක් ප්‍රමාණවත් නැත. කෙසේ හෝ දුරකථනයක් දරුවාට මිලදී ගෙන දුන්නද එම ජංගම දුරකථන අන්තර්ජාල සම්බන්ධය සඳහා සිග්නල් බොහෝ ග්‍රාමීය ප්‍රදේශ වලට නොමැති වීමෙන් පාසල් සිසුන් ගස් ගල් වලට නැග ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලට සහභාගී වන අයුරු දිගින් දිගටම මාධ්‍ය මගින් ප්‍රචාරය විය.

එවැනි තත්වයක් තුළ තම පාසලේ සිසු දරුවන්ට සොහොන් භූමි, ගල්කුළු, කඳුමුදුන්වලට නැග ඉගැන්වීම සිදුකරන පාසල් ගුරුවරුන් පිරිසක් බස්නාහිර පළාතේ දකුණු මායිමේ වලල්ලාවිට යගිරල ප්‍රදේශයෙන් වාර්තා විය.

බොහෝ අවස්ථාවල වාර්තා වී තිබුණේ ගුරුවරුන් උගන්වන පාඩම් ඉගෙන ගැනීමට සිසුන්ට සිදුවන අපහසුතා පිළිබඳව වුවත් සිසුන්ට ඉගැන්වීම සඳහා සිග්නල් නොමැතිකමින් ගුරුවරුන් විඳින අපහසුතා පිළිබඳව කිසිදු මාධ්‍යයකින් වාර්තා වී නොතිබුණු අතර එසේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිසුන්ට ඉගැන්වීමේ කටයුතු වල නිරත වන ගුරුවරුන් පිරිසක් පිළිබඳව මතුගම අධ්‍යාපන කලාපයේ වලල්ලාවිට කොට්ඨාශයේ උඩුගම, යගිරල ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරක් අනුව බප/මතු උඩුගම කණිෂ්ඨ විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.කේ.එස්. රෝහණ මහතා සමග එම ගුරුවරුන් හමුවීමට ගිය විට මෙම තත්වය දැකගන්නට ලැබුණි.

මේ පිළිබඳව බප/මතු උඩුගම කණිෂ්ඨ විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.කේ.එස්.රෝහණ මහතා මෙසේ පැවසීය.

මේ වනවිට පාසල් නොපැවැත්වෙන නිසා පාසල් වල ඉගැන්වීමේ කටයුතු සිදුකරන්නේ ඔන්ලයින් මගින්. අපේ පාසලේ දිනකට විෂයන් 3 බැගින් සතියේ දින පහේම ඔන්ලයින් මගින් ඉගැන්වීම් සිදුකරනවා. නමුත් ඔන්ලයින් මගින් ඉගැන්වීමේදී ප්‍රයෝගික ගැටලු රැසකට අපේ ගුරුවරු මුහුණ දෙනවා. අපේ වැනි දුෂ්කර ප්‍රදේශ වලට අන්තර්ජාල පහසුකම් තබා සාමාන්‍ය දුරකථන සිග්නල්වත් හරියට නැහැ. එවැනි තත්ත්වයක් තුළ අන්තර්ජාල පහසුකම් පිළිබඳව විශාල ගැටලුවලට මුහුණදෙන්න සිසුන්ට පමණක් නෙමෙයි පාසල් ගුරුවරුන්ටත් සිදුවෙනවා.

අපේ පාසලේ දරුවන්ගෙන් ඔන් ලයින් පන්තිවලට සහභාගී වෙන්නේ සියයට 50 කටත් අඩු පිරිසක්. සිග්නල් නොමැති නිසා සහ ස්මාර්ට් දුරකථන නොමැති නිසා සිසුන් බොහෝ දෙනෙක් පන්තිවලට සහභාගී වෙන්නේ නැහැ. ඒ වගේම සිසුන්ට ඉගැන්වීම් කිරීමට බොහෝ ගුරුවරුන්ගේ ගෙවල්වලට අන්තර්ජාල පහසුකම් නැහැ. බොහෝ ගුරුවරුන් තම නිවසෙන් පිටත සිග්නල් පහසුකම් තිබෙන විවිධ ස්ථානවල සිට සිසුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුකරනවා. අපේ පාසල පිහිටි ප්‍රදේශයට සාමාන්‍ය දුරකථන වලටත් සිග්නල් නැහැ. අපේ පාසලට දුරකථනයක් නැති නිසා අපේ පුද්ගලික දුරකථනයෙන් ඇමතුමක් ගැනීමට සහ ඇමතුමකට පිළිතුරු දීමටත් විවිධ ස්ථාන වලට යාමට සිදුවෙනවා.

උඩුගම කණිෂ්ඨ විදුහලේ ඉංග්‍රීසි විෂයභාර රේණුකා විතානාරච්චි මහත්මිය මෙසේ පැවසුවාය.

මම පදිංචිවෙලා ඉන්නේ උඩුගම, තල්ගහමුල්ල ප්‍රදේශයේ. අපේ ගෙදරට අන්තර්ජාල පහසුකම් තබා සාමාන්‍ය දුරකථන සිග්නල්වත් නැහැ. සිග්නල් නැහැ කියලා අපිට දරුවන්ට උගන්වන්නේ නැතුව ඉන්න බැහැ. ඒ නිසා අපේ ගමේ කඳුමුදුනක තිබෙන ගලක් උඩට ගිහින් දරුවන්ට ඔන්ලයින් උගන්වනවා. 

සූම් වලින් උගන්වන්න එතනටත් බොහෝ වෙලාවට සිග්නල් වේගය මදි. ඒ නිසා හඬ පණිවිඩ (වොයිස් මැසේජ්) වලින් තමයි උගන්වන්නේ. අපි යවන පාඩම් දරුවන්ට බාගත කරගන්න (ඩවුන්ලෝඩ්) බැහැ. පාඩම අතරතුරදී බොහෝවිට දරුවන්ගේ සම්බන්ධතාවය ඇණහිටිනවා. දරුවනුත් අපිත් මේ නිසා විශාල අපහසුතාවලට මුහුණ පානවා.

අඩි 350 ක පමණ උස කඳුමුදුනකට නැග ඔන්ලයින් උගන්වන බප/මතු උඩුගම කණිෂ්ඨ විදුහලේ සිංහල විෂයභාර ඕමත්තේ නන්ද හිමියන් මෙසේ පැවසීය.

උදේ 7.30 සිට දහවල් 1.00 අතර කාලපරිච්චේද දෙකක් දිනපතා සතියේ දිනවල ඉගැන්විය යුතු වෙනවා. නමුත් අපේ පන්සල පිහිටි යගිරල ප්‍රදේශයට අන්තර්ජාල පහසුකම් නැහැ. ඒ නිසා මම අපේ පන්සලට පිටුපසින් පිහිටි අඩි 350 ක් පමණ උස කඳු මුදුනකට යනවා. ඒ කඳු මුදුනට නම් හොඳට සිග්නල් තිබෙනවා. මේ කටයුත්ත හරිම අපහසුයි. වැසි දිනවල කන්ද නගින්නත් අපහසුයි. එක වැසි දිනක මාව වැටිලා ලිස්සා ගියා. පඳුරක එල්ලිලා යන්තම් බේරුනේ. වැස්ස දවසට කන්ද උඩ පොලිතින් කොළයකින් ආවරණයක් හදාගෙන දරුවන්ට ඔන්ලයින් උගන්වනවා. මට කඳු මුදුනේ සිග්නල් තිබුනට දරුවන් ඉන්න ප්‍රදේශ වලට සිග්නල් නැතිවුනාම උගන්වන්න බැරිවෙනවා. වගකිවයුත්තන් ඉක්මනින් මේ ගැටලුවට විසඳුමක් ලබාදේවි කියලා බලාපොරොත්තු වෙනවා.

සුසාන භූමියක සිට ඉගැන්වීම් කරන උතුරු ඉත්තපාන ශ්‍රී සරණංකර විදුහලේ නිල්මිණි මල්වත්ත මහත්මිය මෙසේ අදහස් දැක්වීය.

මම 2 වැනි වසරට උගන්වන්නේ. සතියට දවස් 4 ක් පැය 2 බැගින් උගන්වනවා. අපේ ගෙවල් තිබෙන පැත්තට සිග්නල් නැති නිසා සිග්නල් සොයාගෙන ගෙදර සිට කිලෝමීටර් 3 ක පමණ දුරින් පිහිටි සුසාන භූමියකට එනවා. පොඩි දරුවන්ට ක්‍රියාකාරකම් සමග ඉගැන්විය යුතු වන නිසා සිග්නල් වේගවත් තැනකටම යන්න ඕනා. 

මෙතනට සිග්නල් තිබුණත් සොහොන ළඟ ඉන්න බයයි. ඒ නිසා මම පාඩම ඉවරකරන තුරු මගේ මහත්තයා හෝ පුතා මගේ තනියට ළඟ ඉන්නවා. මේ සිග්නල් ගැටලුව අපිට ශාරීරිකවත් මානසිකවත් දැඩි ලෙස බලපානවා. ගෙදරට රවුටර් ගහලා වියදම් කරලා උත්සාහ කළත් සිග්නල් නැහැ. අපේ පන්තිවල දරුවොත් එයාලගේ දෙමාපියනුත් පුදුම දුකක් විඳිනවා. බලධාරීන්ගේ අවධානය යොමුකරලා මෙම ගැටලුවලට ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන තිලිනි කෞශල්‍යා සිසුවිය මෙසේ පැවසුවාය.

මම රුහුණු විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබනවා. මේ දවස්වල අපිට ලෙක්චර්ස් නැති නිසා තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් හදාරනවා. ඔන්ලයින් මාර්ගයෙන් උගන්වන එම පාඨමාලාව සමග සම්බන්ධ වීමට ගමේ කන්දක පිහිටි ගලක් උඩට යන්න ඕනා. නැත්නම් උඩුගම සුසාන භූමියට යන්න වෙනවා. එතැනත් සමහර වෙලාවට සිග්නල්වල අවශ්‍ය වේගය නැති නිසා අඛණ්ඩව අන්තර්ජාල සම්බන්ධතාවය පවත්වාගෙන යන්නට බැරි වෙනවා. විශ්ව විද්‍යාලයේ දේශන පැවැත්වෙන දවස්වලට දවස පුරා දේශන පැවැත්වෙන නිසා අවිත්තාවේ නෑදෑ ගෙදරකට යනවා. 

 මතුගම බන්දු තඹවිට