2021 ජුලි 10 වන සෙනසුරාදා

ඉතිහාසය අලුතින් ලියන්න සැලසුම් හැදූ ගැමුණු ඉංජිනේරු මහත්තවා

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 134

“මම ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා හඳුනාගත්තේ 1980 දශකයේ මහනුවර සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ කළමනාකරු වශයෙන් සේවය කළ කාලයේ. ආර්. ප්‍රේමදාස ජනාධිපති කාලේ දළදා මැදුරට ඉහළින් රන් වියනක් තැනීමේ කටයුතු ආරම්භ වුණා. එහි සැලසුම් සකස් කර පුරාවිද්‍යා මූලධර්මවලට හානි නොවන සේ පියස්ස සැලසුම් කළේ එතුමයි. අපිත් එයට සමගාමීව දළදා මැදුරේ පියස්ස සංරක්ෂණය කළා. ඔහුගේ ඉංජිනේරු දැනුම තුළ දේශීයත්වයට ගලපා ගැනීමේ හැකියාව වගේම අපට ගැලපෙන සරලකමත් තිබුණා. අනෙක් ඉංජිනේරුවන්ට වඩා ගැමුණු සිල්වා විශේෂ වන්නේ ඒ නිසයි.” අප සමඟ එලෙස අදහස් දැක්වූයේ හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රශාන්ත මණ්ඩාවලයි. 

මෙරට විශිෂ්ට වාස්තු විද්‍යාඥයෙක් මෙන්ම වරලත් ඉංජිනේරුවරයෙක්ද ශ්‍රී ලංකා පුරාවිද්‍යා සභාවේ සාමාජිකයකු ද වූ විද්‍යාජෝති ගැමුණු සිල්වා හෘදයාබාධයක් නිසා පසුගිය 2දා මිය ගියේය. යාන්ත්‍රික ඉංජිනේරුවකු ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ආරම්භ කළ ආචාර්ය ගැමුණු සිල්වා මෙරට පුරාවිද්‍යා ක්ෂේත්‍රයට කළ මෙහෙවර අපමණය.

කඩාවැටුණු මිරිසවැටිය දාගැබ, බිම වැටී තිබූ මාලිගාවිල බුදු පිළිමය, ගර්භය පුපුරා ගිය තිස්සමහාරාම දාගැබ ඔහුගේ ඉංජිනේරු දැනුමින් ප්‍රකෘතිමත් කළ පුරාණ ස්මාරක කිහිපයක් පමණි.

කළුතර උපන් ගැමුණු සිල්වා මූලික අධ්‍යාපනය ලබන්නේ කළුතර ඥානෝදය විදුහලෙනි. පසුව කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඔහු 1962 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය 1969 දී ලබාගත්තේය.
පසුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට බැඳී එහි සභාපති ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ යටතේ වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ඒ අතර ගුවන් හමුදාවට බැඳී යාන්ත්‍රික ඉංජිනේරුවෙක් ලෙස සේවය ඇරඹීය. 1979 දී ගුවන් හමුදාවෙන් ඉවත් වී යළිත් ඉංජිනේරු සංස්ථාවේ සේවයට එක්විය.

“1998 ත්‍රස්තවාදී බෝම්බය නිසා දළදා මාලිගාවේ ඉදිරිපස කොටස්වල බොහෝ හානි සිදුවුණා. මේ හානිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සම්බන්ධීකරණය පැවරුණේ ඒ කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය කළ මටයි. එම ප්‍රතිසංස්කරණ කටයුතුවලට සහාය වීමට පත් කළ කණ්ඩායමේ ඉංජිනේරු ගැමුණු සිල්වා මහතාත් සිටියා. දළදා මාලිගයේ ඉදිරිපස වාහල්කඩ සහ පත්තිරිප්පුවේ සංරක්ෂණ කටයුතු වඩාත් සරලව සාර්ථකව කිරීමට ඔහුගේ ඉංජිනේරු දැනුම ලබාදුන්නා.” මහාචාර්ය මණ්ඩාවල පැවසුවේය.

ආර්. ප්‍රේමදාස ජනාධිපති සමයේ පුරාවිද්‍යා සියවස වෙනුවෙන් මාලිගාවිල බුදු පිළිමය ඔසවා සංරක්ෂණය කිරීමටද ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දායකත්වය ලබා දුන්නේය. එම පිළිමය පිහිටි වනාන්තරයට ක්‍රේන් ගෙන යාමට නොහැකි නිසා ඔවුන්ටම ඊට ගැලපෙන දොඹකර යන්ත්‍රයක් තනාගැනීමට සිදුවිය. මිරිසවැටිය දාගැබ සංරක්ෂණය ආරම්භ කෙරුණේ ඒ අතරය. පුරාවිද්‍යා මූලධර්මවලට පටහැනිව කඩිනමින් ප්‍රතිසංස්කරණය කර තිබූ මිරිසවැටිය දාගැබ විවෘත කිරීමට පෙර දින රාත්‍රියේ කොටස් 18කට කඩා වැටුණේය. ඊට පසු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ එය ප්‍රතිසංස්කරණය කිරීමට ඉංජිනේරු උපදෙස් ලබාදුන්නේ ගැමුණු සිල්වාය.

මෙම විශිෂ්ට ඉංජිනේරුවාගේ දැනුම ගැන වැඩිදුරටත් විස්තර කළ මහාචාර්ය මණ්ඩාවල මෙසේද පැවසුවේය. “2015 දී අලුත් රජය පිහිටවූ පසුව අම්පාර ප්‍රදේශයේ දේශපාලනඥයකුට අවශ්‍ය වුණා දීඝවාපි දාගැබට ඉහළින් තායිලන්තයේ වගේ රන් ආවරණයක් සහිත දාගැබක් තැනීමට. එම ව්‍යාපෘතියේ මූලික සාකච්ඡාවලදී ගැමුණු සිල්වා මහතා අවධාරණය කළා එය නොගැලපෙන අවදානම් සහිත වෑයමක් බවත් ඉන් පුරාවස්තුවලට හානි විය හැකි බවත්. ඊට පසු ඒ අදහස නැවතුණා.”

1992 දී මම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහකාර අධ්‍යක්ෂ වශයෙන් පත්වුණු පසුව ආචාර්ය රෝලන්ඩ් සිල්වා පැවසුවා අභයගිරි - ජේතවන ව්‍යාපෘති නතර වී තිබීම ගැන කරුණු සොයා බලන්න කියලා. මේ දාගැබ් ප්‍රතිසංස්කරණය අත්හිටුවා තිබීම ගැන යුනෙස්කෝ සංවිධානයෙන්ද ප්‍රශ්න කළා. මහා දාගැබ් දෙකේ නැවත ප්‍රතිසංස්කරණ කිරීම් ගැන අනුරාධපුරයේ දින හතක සාකච්ඡා මාලාවක් පැවැත්වුණා. ආචාර්ය ශිරාන් දැරණියගල, ආචාර්ය රෝලන්ඩ් සිල්වා, ඉංජිනේරු ගැමුණු සිල්වා, මහාචාර්ය සේනක බණ්ඩාරනායක එයට සහභාගි වුණා. එවකටත් මුලින්ම ප්‍රතිසංස්කරණය කර තිබූ ජේතවන හතරුස් කොටුවේ කොටස් පුපුරා කඩා වැටී තිබුණා. අපගේ සාකච්ඡාවලින් පසුව එතුමා කිව්වේ ජේතවන චෛත්‍ය සංරක්ෂණය පුරාවිද්‍යා නියමවලට ගැලපෙන සේ කළ හැකි බවයි. ඔහු ව්‍යුහාත්මක ඉංජිනේරු ක්‍රම ගැන දැන සිටියා. පසුව අභයගිරි දාගැබේ සංරක්ෂණ කටයුතුවලටත් උපදෙස් ලබාදුන්නේ එතුමයි.

දීඝවාපී දාගැබ සංරක්ෂණ කටයුතු පිළිබඳව පත් කළ කමිටුවට මා සමඟ එතුමත් සිටියා. එහිදී අපි සාකච්ඡා කර අවසානයට තීරණය කළේ මේ දාගැබ සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කර වන්දනාවට සුදුසු තත්ත්වයට පත් කළ යුතු බවයි. පසුව මම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සිටි කාලයේ ගඩලාදෙණිය විහාරයේ පියස්ස සංරක්ෂණය සඳහාත් ඔහුගේ උපදෙස් ලබාගත්තා. ඒ වගේම රුවන්වැලි සෑය කොත් වහන්සේ රන් ආලේප කිරීම සහ අලුතින් චූඩා මාණික්‍යයක් පැළඳවීමේ කටයුතු 2019 දී සිදුවුණා. එහිදී දාගැබට යකඩ අටල්ලක් නිර්මාණය කර එයට පිවිසීමට කටයුතු සැලසුම් කළෙත් ඔහුමයි. ඒ අවස්ථාවේ එතුමා යකඩ පලංචිය දිගේ කොත් වහන්සේ ළඟටම ගියා.

බොහෝ ඉංජිනේරුවන් සැලසුම් සකස් කරන්නේ පාලම්, මහාමාර්ග, මහා ගොඩනැගිලි ඉදිකිරීමටය. ඒත් ගැමුණු සිල්වාගේ සිතේ හොල්මං කළේ අපේ පැරණි සංස්කෘතික උරුම මතු පරපුරට උරුම කිරීමේ නොනිත් ආසාවයි. පොළොන්නරුව ගල් විහාරයට ඉහළින් සකස් කළ යකඩ අටල්ලද ඔහුගේ නිර්මාණයකි. ප්‍රදේශයේ සුළංවලට ඔරොත්තු දෙමින් අවකාශයට බාධාවක් නොවන පරිදි එය ඉදිකර තිබේ.

ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ විදුලි බුබුලු සවි කළ යකඩ කණු, නෙළුම් පොකුණ රංග ශාලාව ආදිය ද ඔහුගේ ඉංජිනේරු උපදෙස් සහිත තැන් දෙකකි.

වර්තමානයේ දේශීයත්වය අමතක කර පිටරට උපදෙස්ම කරට ගන්නා ඉංජිනේරුවන්ට ගැමුණු සිල්වාගේ චරිතයෙන් ගත හැකි ආදර්ශ බොහෝය.

 කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03