ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන සහ ප්‍රයෝජනයට ගෙන හෝ නොගෙන ඉවතලන ශාකවල කොටස් උපයෝගී කරගනිමින් අත් කඩදාසි නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලියක් මීට වසර ගණනාවකට පෙර ආරම්භ කෙරිණි.
මම කඩදාසි ක්ෂේත්‍රයට ඇළුම් කරන මනුස්සයෙක්. කඩදාසි නිෂ්පාදනයේදී බොහෝ විට සිදුවන්නේ ප්‍රතිචක්‍රීකරණ නිෂ්පාදනයක් ලෙසයි. අන්තර්ජාලය ඔස්සේ මම කඩදාසි නිෂ්පාදනය පිළිබඳව බොහෝ දෑ සොයා බැලුවා. ඒ අතරින් නේපාලය ස්වභාවික දෑ උපයෝගී කරගනිමින් ඉතා විශාල කඩදාසි නිෂ්පාදනයක් සිදුකරන බව මම සොයාගත්තා. ස්වභාවික කොළ සහ පොතු උපයෝගී කරගනිමින් නේපාලය කඩදාසි සාර්ථකව නිෂ්පාදනය කරනවා. මුලින්ම අත් කඩදාසි නිෂ්පාදනය කරලීමේ කටයුත්තට මම සම්බන්ධ වුණේ 2008 වසරේදීයි. අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධව මම බොහෝ දැනුම එක්කර ගත්තා. ඒ වෙද්දීත් ඉහළ ආර්ථික මට්ටමක් නොතිබුණත් මේ දැනුම උපයෝගී කරගෙන නිවසට වී කල්ගත කරන අයට තම නිවසේ සිටම මේ අත් කඩදාසි නිෂ්පාදන කරලන්නේ කෙසේදැයි මම අත්හදා බැලුවා.
ධම්මික රන්සිරිගේ මහතා එසේ පැවසුවේ දේශයට අදහස් දක්වමිනි.
ධම්මික රන්සිරිගේ මොරටු විශ්වවිද්‍යාලයේ පාඨමාලාවක් හැදෑරෑ අනුරාධපුර පදිංචිකරැවෙකි. විවිධ රුකියාවල් කළද තම දෙමව්පියන්ගේ අසනීප තත්ත්වයන් හේතුවෙන් ධම්මික ඒ රුකියාවල් සියල්ලටම සමුදී අන්තර්ජාලය ඔස්සේ හිතට තදින්ම කා වැදුණු මේ අපූරු රැකියාව මෙන්ම සමාජ සත්කාරය සිදුකිරීමට හිතා ගත්තේය. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ තාක්ෂණික මෙවලම් පිළිබඳවද යම් අධ්‍යයනයක් ලබාගත් ධම්මික ඒවාද යම් ලෙසකින් නිපදවාගෙන නිවසේ සිටම අත් කඩදාසි නිෂ්පාදනය ආරම්භ කළේය.
අත් කඩදාසි ශ්‍රී ලංකාවේ පවතින රුකියා අර්බුදයට මනා පිටුවහලක් වෙනවා. විශාල විදේශ වෙළෙඳපොළක් හිමි මෙම කර්මාන්තයේ නියැලීමෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කාන්තාවන්ට විදේශගත වීමකින් තොරවම විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාවක්ද පවතිනවා. අත් කඩදාසි සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන නේපාලයේ දළ ජාතික ආදායමෙන් සැළකිය යුතු නියෝජනයක් මෙම කර්මාන්තය සිදුකරනවා. දළ වශයෙන් එය 10%ක් පමණ වෙනවා.
ධම්මික රන්සිරිගේ මහතා වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.
ස්වභාවික අත් කඩදාසි නිපදවීම සඳහා බොහෝ විට යොදාගනු ලබන්නේ කෘෂිකර්මයෙන් ඉවතලන ශාක අමුද්‍රව්‍ය සහ තවත් ශාක වර්ග කිහිපයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වන ආක්‍රමණශීලී ශාකයක් වන අලි මානා (Guinea grass) මේ සඳහා වැඩි වශයෙන් යොදාගනී. පාරිසරික මෙන්ම සමාජීය වශයෙන් බලපෑම් කරන අලිමානා ශාකයෙන් අත් කඩදාසි නිෂ්පාදනය කොට ප්‍රයෝජනවත් ලෙස යොදාගත හැකිය.
එමෙන්ම ජල මාර්ගවල ජල ප්‍රවාහයට බාධා ඇතිකරන ආවරණයක් ලෙස ජලයේ වැඩෙන ජපන් ජබර ශාකයද කෙසෙල් වගාව පුළුල් වශයෙන් සිදුකරනු ලබන ප්‍රදේශවල කෙසෙල් කැන් කපා දැමීමෙන් පසුව ඉතිරිවන කෙසෙල් කඳන්ද උපයෝගී කරගෙන මෙම අත් කඩදාසි නිෂ්පාදනය කිරීමට හැකිවේ.
අත් කඩදාසි සෑදීමේදී යන්ත්‍ර සූත්‍ර විශාල වශයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි තෝරාගත් ජබන් ජබර, කෙසෙල් කඳන්, අලි මානා ආදී ශාකයන්වල ඇති අපද්‍රව්‍යයන් හැකි පමණ ඉවත්කරලීම පළමුව කළයුතු වෙනවා. පසුව ඒවා කුඩා කැබැලිවලට කපා යකඩ බැරල් එකකට දමා පැය තුන හතරක් පමණ තම්බනවා. එලෙස තම්බාගත් අමුද්‍රව්‍යවල අපද්‍රව්‍ය තවදුරටත් ඉවත් වනතුරැ හොඳින් සෝදා කෙඳි කොටස වෙන්කර ගැනීමෙන් පසුව එම කෙඳි කොටස බ්ලෙන්ඩරයකට දමා අඹරා පල්පයක් සාදා ගැනීම සිදුකරනවා. මේ සඳහා යොදාගනු ලබන විශාල බ්ලෙන්ඩරයක් මිලෙන් අධිකයි. ඒ නිසා ඒ සඳහා මමම නිෂ්පාදනය කරගත් බ්ලෙන්ඩරයකින් මේ කටයුත්ත සාර්ථකව කර ගැනිමට හැකියාව තියෙනවා. බැරල් එකක සවිකරගත් කුඩා බ්ලේඩ් තලයකින් මෙම කටයුත්ත සිදුවෙනවා. පසුව මෙයට වර්ණක ඇතුළු ගම් වර්ගයක් එකතු කරගන්නවා. එම ගම් විශේෂය විදෙස් රටකින් ගෙන්වා ගත හැකි වුවත් මේ සඳහා බණ්ඩක්කා යුෂද ඉතා සාර්ථක ක්‍රමයක් වෙනවා. අවසානයේදී එම පල්පය දැල් යොදා සාදාගත් ලී රාමුවලට දමා අව්වේ හොඳින් වියළා ගැනීමෙන් අත් කඩදාසි ඉතා සාර්ථක ලෙස සාදාගන්නට පුළුවනි.
අත් කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ධම්මික රන්සිරිගේ එසේ විස්තර කළේය.
අත් කඩදාසි නිෂ්පාදනයේ වර්ණ ගැන්වීමේදී ස්වභාවික වර්ණ ගැන්වීම සහ කෘත්‍රිම වර්ණ ගැන්වීම ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. ස්වභාවික වර්ණ ගැන්වීම සිදුවන්නේ, අරළු, කුඹුක් වැනි ගම්වල කහට මගිනි. වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි වර්ණත් කෘත්‍රිම වර්ණයන්ට අදාළ වේ. පල්පය සාදද්දී මෙම අවශ්‍ය කරන වර්ගය කලවම් කළ යුතුවේ.
කෙසේ වෙතත් මේ වනවිට මේ අත් කඩදාසි, කඩදාසි බෑග්, විදුලි ලන්තෑරැම්, මල් බඳුන්, සුබපැතුම් පත්, වෙඩින් කේක් පෙට්ටි ආදී බොහෝ විසිතුරැ දෑ නිපැයුමට යොදාගනී. අත් කඩදාසි සඳහා බොහෝ ඉල්ලුමක් පවතින්නේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජපානය, ස්විට්සර්ලන්තය වැනි යුරෝපා රටවලය.
මම මේ ව්‍යාපෘතිය මුලින්ම පටන් ගත්තේ අනුරාධපුර රාජාංගනයේයි. මේ වනවිට මම තඹුත්තේගම, පදවිය, කෑගල්ල ප්‍රදේශවල මෙය කරගෙන යනවා. විදේශ ඉල්ලුම ඉතා ඉහළයි. නමුත් අපිට මේ ගමන යන්න තනියම අමාරැයි. අපේ රටේ ඇති ඉවතලන සම්පත් වලින්ම බොහෝ දෙනෙකුට රැකියාවල් ලබාදෙමින් ඉහළ ආර්ථිකයක් ලබාදෙන්නට මෙයින් හැකිවන බව මම විශ්වාස කරනවා. අත් කඩදාසියට ඇති ඉල්ලුමෙන් තවමත් ලෝකයට සපයන්නේ 40෴ක් පමණයි. ඒ නිසා අපේ දේ ලෝක වෙළෙඳපොළට ගෙනයන්න මේ හොඳම අවස්ථාවයි. ධම්මික රන්සිරිගේ අවසාන වශයෙන් දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න