2021 ජුලි 17 වන සෙනසුරාදා

පොලිස් පොල්ලක් වූ නිරෝධායන නීතිය

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 50

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයන්, ගුරු සංගම් නියෝජිතයන් සහ විවිධ වෘත්තීය ක්‍රියාකාරිකයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පසුගියදා කටයුතු කළේය. මෙවැනි ක්‍රියා ජනතා ගැටලු සම්බන්ධ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග බවට චෝදනා එල්ල විය. 

පසුගිය කාලය පුරාවටම විවිධ ගැටලු සම්බන්ධයෙන් උද්ඝෝෂණ රට පුරා දැකිය හැකි විය. මහජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උද්ඝෝෂණ හා රැස්වීම පැවැත්වීම තහනම් බවට පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කළේ ඒ අතරය. මෙවැනි ඒකරාශිවීම් හේතුවෙන් කොරෝනා වෛරසය පැතිරයාමේ ප්‍රවණතාවක් ඇති හෙයින් මෙවැනි පියවරක් ගන්නා ලද බව එහි සඳහන් විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති නිරෝධායන රෙගුලාසි යටතේ කටයුතු කරන බවත් බවත්, එම නියෝග කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා බවත්  පොලිසිය සඳහන් කර තිබේ. මෙය රජය විසින් ගන්නා ලද තීන්දුවක් නොව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගන්නා ලද තීරණයක්යැයි පොලිසිය බාර ඇමැති සරත් වීරසේකර පසුගියදා  පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

 “තරාතිරම කුමක් වුවත් නීතිය කඩනවා නම් පොලිසිය ඒකට ඉඩ දෙන්නේ නෑ. මේ වැඩ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරලා තිබෙන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්. ඔහු තමයි පොලිස්පතිවරයාට පැහැදිලි නියෝගයක් කරලා තිබෙන්නේ. මේ කොවිඩ් ව්‍යාප්තිය නිසා විරෝධතා, උද්ඝෝෂණ වහාම නැවැත්විය යුතුයි කියලා. ඒ නියෝගය තමයි පොලිසිය කළේ. ඉදිරියටත් ඒ නියෝගය ක‍්‍රියාත්මක කරමින් අත්අඩංගුවට ගනු ලැබීම් සිදුකරනවා.”  ඔහු කියා සිටියේය.

එහෙත් පසුගියදා බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ විවිධ ස්ථානවල ජනතා ඒකරාශීවීම් දැකිය හැකි වුවද ඔවුනට එරෙහිව පොලිසිය මෙවැනි ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ජනතාව විවිධ අදහස් පළ කළහ.. ජනතා ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා  නිරෝධායන නීති රීති උපයෝගී කරගනිමින් සිටින බවට රජයට එල්ල කෙරෙන චෝදනාව සත්‍යයක් බව ජනතාවගේ මතය වී තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පවතී. භාෂණයේ නිදහස, ඒකරාශි වීමේ නිදහස හා වෘත්තීය සමිති ක්‍රියාත්මක කිරීමේ නිදහස අපේ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 14.1 වගන්තිය මගින් සනාථ කර තිබේ. එම අයිතිය නිරෝධායන නීති මගින් ඇහිරිය නොහැකිය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින උද්ඝෝෂකයන් මර්දනය සඳහා පොලිසිය නිරෝධායන පනත අවභාවිත කරන බව පෙනී යන බැවින් වහාම මෙය නිවැරදි කිරීමට කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ. පනතේ බලතල වෙනත් පාර්ශ්ව වෙත පැවරීම මගින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා බලාපොරොත්තු වූයේ අපක්‍ෂපාතී ජනතා විශ්වාසය රුකෙන පරිදි කටයුතු කිරීම වුවද මේ වනවිට පොලිසිය එය ක්‍රියාත්මක කරන ආකාරය දෙස බලන විට ජනතා විශ්වාසය පළුදුවෙමින් තිබෙන බවද එබැවින් වහාම මේ සම්බන්ධව මැදිහත්වී පවතින තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෙනාල් ප‍්‍රනාන්දු ලිපියක් මගින් දන්වා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ “මේ වනවිට වැඩි වශයෙන් නිවාස ආශ්‍රිතව නිරෝධායනය කරනවා. එවැනි ක්‍රියාවලියක් තිබියදී නිරෝධායන පනතේ බලතල භාවිත කරමින් ජනතාව බියවැද්දීමට කටයුතු කරන්නේ නම් එමගින් නිරෝධායන පනත අවභාවිත කිරීමක් සිදුවෙනවා. නිරෝධායන පනත අවභාවිත කිරීම, එක් එක් පුද්ගලයන්ට විවිධාකාරයෙන් කටයුතු කිරීම වැළැක්වීමට නිරෝධායන පනතේ බලධාරියා ලෙසට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන ලෙසට අපි ඔහුගෙන් ලිඛිතව ඉල්ලා සිටියා.”යි පැවසිය.

කොතලාවල ආරක්ෂක පීඨය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමේ පනතට එරෙහිව දියත උයන අසලදී විරෝධතාවේදී පුද්ගලයන් 33 දෙනකු අත්අඩංගුවට ගන්නා ලද අතර පිරිස උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු මුලතිව් ප්‍රදේශයේ නිරෝධානයනට යැවීමට පොලිසිය කටයුතු කළේය .ඔවුන් නිරෝධායනය කිරීම සඳහා අධිකරණයෙන් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියද අධිකරණය කියා සිටියේ තමන්ට එවැනි නියෝගයක් කළ නොහැකි බවටය. අධිකරණයෙන් ඇප ලබා දීමෙන් පසු පොලිසිය ඔවුන් නිරෝධායනය පිණිස රැගෙන ගියේ පොලිසියේ අවශ්‍යතාව මතය. අවම වශයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ සේවය ලබා ගැනීමකින් පවා තොරව පොලීසිය ඔවුන් නිරෝධායනයට රැගෙන යාම අනුචිත ක්‍රියාවක් බව බොහෝ දෙනෙකුගේ මතය විය. ලංකා ගුරු සංගමය එක්සත් ජාතීන්ගේ  සංවිධානයේ කොළඹ කාර්යාලයට ගොස් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මේ වන විට පොලිසිය මගින් නිරෝධායනයට ලක් කර සිටින ලංකා ගුරු සංගමයේ ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින කිසිවකුට කොරෝනා වැළඳී නොමැති බවත් මිනිසුන් බලහත්කාරයෙන් කුලදලාගෙන විත් හමුදා කඳවුරුවල රඳවා තැබීමට පොලිසියට ඇති බලය කුමක්දැයි තමන් විමසන බවත්ය.

ගුරු සංගම් නියෝජිතයන් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවෙන් පාසල් අධ්‍යාපනය යළි බිඳ වැටිණි. මෙම පිරිස නිදහස් කරන තෙක්  සූම් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාමාර්ගයෙන් ගුරුවරු ඉවත් වූහ. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් තහවුරු කර ඇති මානව අයිතීන් උල්ලංඝණය කරන බවට පවසමින් විරුද්ධ පක්ෂ සෞඛ්‍ය නීතී රීතිවලට යටත්ව උද්ඝෝෂණය කරන්නට වූහ. එක රටක් එක නීතියක් නිර්මාණය කරන බවට පොරොන්දු වූ ආණ්ඩුවක් දෙවිදියකට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා මතු විය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජේ.සී. අලවතුවල මහතා කියා තිබුණේ කිසිම අධිකරණයකින් උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර නොමැති බවයි. “පසුගියදා මාතරදී සමගි ජනබලවේගය උද්ඝෝෂණයක නිරත වූ අවස්ථාවේ පොලිසිය උසාවියෙන් වාරණ නියේගයක් ඉල්ලා සිටියා. එම අවස්ථාවේ අධිකරණ කියා සිටියේ උද්ඝෝෂණ කිරීම රටේ ජනතාවගේ අයිතියක් බැවින් නිරෝධායන නීතිරීතිවලට අනුකූලව එය කිරීමට ඉඩ ලබාදෙන ලෙසට පැවසුවා. උද්ඝෝෂණ නවත්වලා අද මේ රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගහන්න බැහැ. රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට රජයක් හැටියට උත්තර දියයුතුයි.” යනුවෙන් ඔහු කියා තිබිණි.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වූ අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ. භාෂණයේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන නමුදු  අපේ රටේ මේ වනවිට උද්ගතව ඇති කොවිඩ් උවදුර හා ආර්ථික අර්බුදය වැනි තත්ත්වයන් වටහා ගෙන කටයුතු කිරීමේ වගකීම ජනතාවට ඇති බවයි. “රටේ ආරක්ෂාව, සෞඛ්‍ය නීති වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශන නිදහසටත් යම් සීමා කිරීම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෛත් තිබෙනවා. ඒ නිසා එවැනි සීමාකිරීම්වලට ජනතාව යටත් විය යුතුයි. මෙවැනි උද්ඝෝෂණ රටේ නිරෝධායන කාර්යයට බාධාවක් බවත්, එමගින් රෝගය පැතිරීමට ඇති ඉඩකඩ වැඩි බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ පොලිසියේ අදහසයි. ඔවුන් උද්ඝෝෂණ කරන පුද්ගලයන් නිරෝධායනයට යොමු කරන්නේ සද්භාවයෙන් එම නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින්. මෙහිදී භාෂණයේ නිදහසට බාධාවක් වන බවට නැගෙන චෝදනාව හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හා පොලිසියේ මතය අතර යම් ගැටලුවක් තිබෙනවා. එය අධිකරණය මගින් නිරාකරණය කළ යුතුයි. නිරෝධායන පනත යටතේ පාර්ලිමේන්තුව මගින් නිරෝධායන නීති රීති සකස් කර තිබෙනවා. එම රෙගුලාසි අනුව කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම සඳහා වරින් වර නියෝග නිකුත් කිරීමේ බලය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට පවරා තිබෙනවා. උද්ඝෝෂණවලදී ජනතාව ඒකරාශි වන බැවින් ඔවුන් රෝගයට නිරාවරණය වන බවත්, එහෙයින් ඔවුන් සමාජගත කරනවාට වඩා දින 14ක් නිරෝධායනයේ තබා රෝගය වැළඳී නොමැති බවට තහවුරු වීමෙන් පසු සමාජගත කිරීම වැදගත් බවත් ඔහු තීරණය කරනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී එකිනෙකට වෙනස් වූ මතවාද තිබෙනවා. ඒ නිසා මේ අතර යම් ගැටීමක් තිබෙනවා. නිරෝධායනය යනු වරදකට දඬුවම් පැමිණවීමක් නොවෙයි. පොලිසිය කරන්නේ රෝගය සමාජගතවීම වැළැක්වීම සඳහා ඔවුන් සමාජයෙන් ඈත් කර තැබීමක් පමණයි.” යනුවෙන් කියා සිටියේය.

භාෂණයේ නිදහස අවම කිරීමට හෝ නැති කිරීමට රජයට ලෙස කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිර්දේශ සහිතව උද්ඝෝෂණ වලට සහභාගී වූ පිරිස් නිරෝධායනයට යොමු කිරීම සඳහා කටයුතු කළ බවත්, එම පිරිස නිරෝධායනයට යොමුකිරීම රජයේ අවශ්‍යතාවයට සිදු කෙරුණක් නොව, රෝගය පැතිරී යාමේ අවදානම සැළකිල්ලට ගෙන සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අදාළ මාර්ගෝපදේශ හා නිර්දේශවලට අනුව මෙන්ම මහජන පරීක්ෂකවරුන්ගේ නියමයන් වලට අනුව සිදු කොට ඇති බවත් ප්‍රකාශ කළ ඔහු ඒ සම්බන්ධව රජය කිසිදු මැදිහත් වීමක් හෝ උපදෙස් දීමක් සිදු කොට නොමැති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම හේතුවෙන් ඉදිරිකාලයේ නිරෝධායනය සම්බන්ධයෙන් පොලිසියට නිර්දේශ ලබා නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය. “දැනට පවත්නා නිරෝධායන ආඥාපනත යටතේ සඳහන් ප්‍රධාන කණ්ඩායම් තුන හැර වෙනත් කිසිදු පුද්ගලයෙක් නිරෝධායනය කිරීම සඳහා හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා හෝ කිසිදු නිර්දේශයක් පොලිස් දෙපාර්තමේන්තුවට හෝ වෙනත් කිසිදු නිලධාරියකුට ලබා නොදෙන ලෙසට දිවයින පුරා සිටින සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දන්වා තිබෙනවා. කිසියම් උල්ලංඝණයක් සිදු වනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය තිබෙනවා යැයි” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රජයට එරෙහිව කරන උද්ඝෝෂණ  විරෝධතා නිරෝධායන පනත යටතේ තහනම් කිරීමත් ඒවාට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත් එරෙහිව නීතිමය පියවර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03