2021 ජුලි 17 වන සෙනසුරාදා

අම්බලම් ඉතිහාසය එකමිටට ගත් පනාවිටිය

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 2380
පසුගිය දිනවල 131 වැනි ජාතික පුරාවිද්‍යා දිනය සමරමින් පුරා දෙසතිය නමින් වැඩසටහන් මාලාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කර තිබුණි. එහි පළමු වැඩසටහන වූයේ ජූලි 2දා අම්බලම් පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානයක් විවෘත කිරීමයි. එය සිදුවුණේ පනාවිටිය අම්බලම ආශ්‍රිත පරිශ්‍රයේය. ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුණි. මේ නිසාම එතෙක් පනාවිටිය ගැන අසාවත් නැති බොහෝ පිරිසක් අම්බලම් ගැන කතා කරන්න සොයා බලන්න උනන්දු වුණු බව පෙනේ.
 
පනාවිටිය අම්බලම පිහිටා තිබෙන්නේ කුරුණෑගල මීගමුව මාර්ගයේ මැටියගනේ පාසල් මාර්ගයේ කිලෝමීටර් හතරක් දුර ගිය පසු සුන්දර කුඹුරු යායක් අසබඩයි. ශ්‍රී ලංකාතිලකාරාම විහාරස්ථානය එයට  ආසන්නයේ දැකගත හැකිය. පුරාණ බෙදීම් අනුව එම ස්ථානය අයත් වන්නේ දේවමැදි හත්පත්තුවේ මයුරාවතී කෝරළේටයි. ගෘහ නිර්මාණාත්මක ලක්ෂණ අනුව මේ ගොඩනැගිල්ල ක්‍රි.ව. 18 වැනි සියවසේ මුල් අවධියේ හෙවත් මහනුවර රාජධානි සමයේ ඉදිකෙරුණු බව පෙනෙන කරුණකි. අප රටේ ඉතිරිව ඇති පුරාණ අම්බලම් අතරින් විශිෂ්ටම දැව කැටයම් දැකගත හැක්කේ මෙම අම්බලමේය.
 
අම්බලම් ගැන තොරතුරු මධ්‍යස්ථානය ගැන විමසන්නට අපි කතා කළේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංගටයි. 
 
අපේ පුරාණ අම්බලම්වලට අගනා උදාහරණ සපයන පනාවිටිය අම්බලම සුරක්ෂිතව පවතින පුරාවිද්‍යා ස්මාරකයක්. 1960 දශකයේ දී ඒ අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කළා නැවතත් 1980 දශකයේ දී සංරක්ෂණය කළා. ලංකාවේ පවතින සියලුම පුරාණ අම්බලම් ගැන දැනුවත් වීමට තොරතුරු මධ්‍යස්ථානය ඉදිකිරීමට පනාවිටිය තෝරාගත්තේ එහි ඇති වැදගත්කම නිසයි. මෙහි ඉදිරියේ දී ලංකාවේ සියලුම පුරාණ අම්බලම් ගැන විස්තර ලබාගෙන අවබෝධයක් ලැබිය හැකි තැනක් බවට පත්කිරීම අපේ බලාපොරොත්තුවයි. 
 
පුරාණයේ විවිධ කටයුතු සඳහා ජනතාව ගමන් බිමන් ගියේ පාගමනිනි. එසේ යන මගීන්ගේ පහසුව උදෙසා අම්බලමක් ඉදිකිරීම, උතුම් ප්‍ුණ්‍යකර්මයක් ලෙස පැරණි ජනයා සැළකූහ. ඒ අනුව ප්‍රධාන මාර්ග අද්දර විවේක ගැනීමට අම්බලම් ඉදි කෙරුණි.  ඒවායේ විශාලත්වය, අලංකාරය හා වටිනාකම එය නිර්මාණය කළ සැදැහැවතුන්ගේ වත්පොහොසත්කම් අනුව සිදුවිය. පුද්ගල තරාතිරම් අනුව මෙරට ඉදිකරන ලද අම්බලම් වර්ග 2 ක් හඳුනාගත හැකිවේ. ඒ සිටු අම්බලම් සහ මැටි අම්බලම් වශයෙනි. සිටු අම්බලම් ප්‍රභූ පිරිස්වලට නවාතැන් ගැනීමට වෙන්වූ අතර මැටි අම්බලම් සාමාන්‍ය ජනතාව සඳහා විය.
 
15 වැනි සියවසේ රචනා කරන ලද සැළලිහිණි සංදේශයේ, කෝට්ටේ සිට කැලණිය දක්වා වූ ගමන් මාර්ගය තුළ හමුවන අම්බලමක් පිළිබඳ තොරතුරු සඳහන් වේ. ගිරා සංදේශයේ සඳහන් වන පරිදි වලිතොට නම් අම්බලම වෙත සේන්දු වන ජනයා විවිධ කතාන්දර, හිටිවන කවි සහ තේරවිලි ආදිය විසඳමින් කල්ගත කර තිබේ. 18 වැනි සියවසේ රචනා කරන ලද නීලකොබෝ සංදේශය තුළ දකුණු පළාතේ ‌ෙපාළොන්නරුව ග්‍රාමයෙහි පිහිටි අම්බලමක් පිළිබඳව විස්තර වේ. එම අම්බලමේ බිත්ති මත සිංහ සහ දිවියන්ගේ රූප ඇඳ තිබූ බව සඳහන් වේ.
 
අම්බලමක් ඉදිකිරීමේදී, අම්බලම භාවිත කරන්නන්ගේ උපරිම පහසුව ඇතිවන පරිදි සුදුසු ස්ථානයක එය තැනීම සිදුවිය. අදත් කොළඹ මහනුවර මාර්ගයේ යන අපට මාවනැල්ල මංගලගම අම්බලම මෙන්ම කඩුගන්නාව කන්දේ අම්බලමත් දැකගැනීමට ලැබේ. බොහෝවිට ගමන් මාර්ගයේ වූ ළිඳක්‌ අසල, දොළක්‌ අසල, කුඹුරක්‌ අසල ආදී වශයෙන් අම්බලම් ඉදිකර තිබුණි.‍
 
පනාවිටිය අම්බලම ඉතාම කුඩා වර්ගයේ සිටු අම්බලම් විශේෂයට අයත්ය. එය ගොඩනගා ඇත්තේ කැට ගල් සහ කුඩුගල්වලින් පුරවා අඩි එකක් පමණ උසට තැනූ වේදිකාවක් මතය. ඒ මත අඩියක් පමණ උසැති ගල්පිට දැමූ දැව කඳන් මත ‘ටැම්පිට’ ක්‍රමයට බාල්ක දමා ඒ මත ගොඩනැගිල්ල තනා තිබේ. මෙම ස්ථානයේ පිහිටවූ තොරතුරු මධ්‍යස්ථානය සැලසුම් කිරීමේ විශාල වැඩ කොටසක් කළ වයඹ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ගුණතිලක බණ්ඩා ඒ ගැන මෙසේ පැවසුවේය.
 
&සංරක්ෂණය කරන ලද අම්බලම පිහිටි භූමියේ තොරතුරු පවුරක් විදිහට තමයි තොරතුරු මධ්‍යස්ථානය පිහිටුවා තිබෙන්නේ. එය වැරුන්ඩාවක් ලෙස ඉදිකර තිබෙනවා. ලංකාවේ අම්බලම්වල පිහිටීම, අම්බලම්වල ඉතිහාසය, ඒවායේ වාස්තු විද්‍යාත්මක විශේෂත්වය ආදී තොරතුරු විස්තර හා ඡායාරෑප මගින් විස්තර කෙරෙනවා. පනාවිටිය අම්බලමේ සංරක්ෂණ අංග ගැනත් තොරතුරු ඇතුළත් කර තිබෙනවා. එයට අමතරව පනාවිටිට අම්බලමේ සංරක්ෂණයේ දී ලැබුණු පැරණි දැව කැටයම් කොටස් ද මෙහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. පනාවිටිය ගැන ලියැවුණු තොරතුරු පත්‍රිකාවක් ද නරඹන්නන්ට මෙහිදී නොමිලේ ලබාගැනීමට ඉඩ ලැබෙනවා. 
 
අම්බලම් පුරාණ ජන සමාජයට කෙතරම් සමීපව පැවතියාද යත් ඒ ගැන ජනකවි රචනා කිරීමටත් ගැමියෝ පෙළඹුණහ. 
 
අල්ලාගෙන නෙරිය අතකින් කිමද නගෝ
වසාගෙන දෙතන අතකින් කිමද නගෝ
හිමි නැති මහපාරෙ තනියෙන් කිමද නගෝ
අම්බලමේ අපි නැවතී යමුද නගෝ
 
එම කවියට තරුණිය දුන් පිළිතුරු කවියක්ද ජනවහරේ එයි.
 
අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසාගෙන දෙතන බිළිඳුගෙ කිරි හන්දා
බාල මස්සිනා පස්නෙන් එන හන්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා
 
පසුගිය සියවසේ මැද භාගය වන විට ගරාවැටී පොල්අතු සෙවිල්ලා තිබූ අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කිරීමට මුල් වුණේ එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරය. ඔහු පනාවිටිය අම්බලමේ කැටයම් නමින් පොතක් ද ලිව්වේය. 
 
ගොඩනැගිල්ලේ ගෙපළ දිගින් අඩි දොළහයි අඟල් හතරක් හා පළල අඩි නවයයි අඟල් හයක් වේ. දැව අඩියේ පටන් අඟල් හය දක්වා ඝනකම්ය. අම්බලමේ ඇති විශේෂත්වය වන්නේ තල් අත්තක හැඩයට නිර්මාණය කළ කැණිමඬලයි. දැනට ඉතිරිව ඇති ලංකාවේ කිසිදු අම්බලමක මේ හැඩයට කැණිමඬල සාදා නැත.
 
අම්බලම හරි සතරැස්ය. ඒ සැලසුම මත සවි කරන ලද කුලුනු හතරක් මත වහළය ගොඩනගා තිබේ. අම්බලමේ මුළු කුලුනු ගණන විසි හයක් වේ. දොරටුවට සමාන්තරව පිටුපසට යෙදූ ප‍්‍රධාන කුලුනු ද්වය මැදි කොටගෙන දෙපේළියට යෙදූ කුලුනු දොළස බැගින් දෙපසට යොදා ඇත. ඇතුළු වටයේ කුලුනු නවයකි. අඩි හතක් උසැති මෙම කුලුනු මධ්‍යයෙහි පනේල බේරා ඒවා විසිතුරු රූකම්වලින් කැටයම් කර ඇත. මේ පිළිබඳව හිටපු පුරාවිද්‍යා කොමාසරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මෙසේ සඳහන් කර සිටී; 
 
“සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පයෙහි උච්චතම අවස්ථාවක් නිරෑපණය කරන බැව් පෙනේ. කැණිමඬල දක්වාම එක හා සමානව සරල ලෙස කැටයම් කොට ඇත. මුළු පරාල සංඛ්‍යාව තිස් දෙකකි. ඒ සියල්ලක්ම මඩොල් කුරුපාව මගින් විශිෂ්ට ලෙස සම්බන්ධ කර ඇත. වහළයේ හරහට දමා ඇති විශාල බාල්ක දෙකකි. එය අලංකාර කැටයමින් සරසා ඇත. මුදුන් යට ලීයේ දිග අඩි තුනයි අඟල් හයකි. වහළයේ වඩු වැඩ, බාල්ක, තලන්, යට ලී, හරස් යට ලී, කතුරු ලී, කුරුපා, පරාල, මුදුන් පරාල හා මුදුන් යට ලීයෙන් ද යුක්තය” 
 
(ගොඩකුඹුර, චාල්ස් (1962), පනාවිටිය අම්බලමේ කැටයම්)
 
පනාවිටිය අම්බලමේ කැටයම්වල දක්නට ලැබෙන කලාත්මකභාවය කලා විචාරකයන්ගේ අවධානයට යොමුව තිබේ. සමකාලීන වෙනත් ස්ථානවල දක්නට නොමැති කැටයම් ද මෙයට ගලපා තිබේ. ඇම්බැක්ක දේවාලයේ කැටයම් අතර කල්පිත රූප තිබෙන නමුත් පනාවිටිය අම්බලමේ කැටයම් සියයට සියයක්ම සමකාලීන සමාජය පිළිබිඹු කරන  සහ ස්වාභාවික පරිසරයට යෝග්‍ය ආකාරයට කළ නිර්මාණ බව පෙනේ. උදාහරණ ලෙස ආචාර සමාචාර දැක්වීම, නැට්ටුවා, පෙරහර, නළඟන, මල්ලවපොර ශිල්පීන් දෙදෙනා හා බෙරකරුවා ආදී නිර්මාණ දැක්වීමට පුළුවන. මෙහි නාග කැටයම් රාශියක් ද දැකගත හැකිය. ඇතුළත දැව කණු පේළියේ පේකඩවලට පහළින් සෑම කණුවකම නයි පෙන හතරක් බැගින් කණු නවයේ නයි පෙන 36කි. ඊට අමතරව එක් කණුවක ඉහළ කොටසේ සම්පූර්ණ නාගයා නිරෑපණය වන ලෙස නාග දඟරය කැටයමට නගා ඇත.
 
ලියවැල් මෝස්තර ආදියෙන් ද දැව කුලුණු අලංකාර කර තිබේ. කැටයම් අතරෙහි මිනිස් රෑප, සත්ත්ව රූප, මල්, කොළ ආදිය ද වේ.
 
 කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ : ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා