ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත පිහිටි පාලම වන පෑලියගොඩ නව කැලණි පාලමේ කැලණි ගඟ හරහා ඉදිකර ඇති කොන්ක්‍රීට් පාලම් කොටසේ ඉදිකිරීම් අවසන් කොට පාලම් යා කිරීම පසුගියදා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් සිදු කෙරිණි.
මෙම පාලම නිර්මාණය කර ඇත්තේ කල් පවත්නා අධි තාක්ෂණික රැහැන් සහ ගං ඉවුරු මත දෙපසට විහිදෙන විශාල කුලුනු දෙකක් මගින් ප්‍රධාන පාලමේ බර දරා සිටින ආකාරයට සහ දෙපසට සමාන බර ලැබෙන පරිදිය.
2014 වසරේදී මෙහි මූලික සැකසුම් සකස් කොට ගිවිසුම් අත්සන් කර ඇත්තේ එවකට ජනාධිපති සහ මහාමාර්ග ඇමැති ලෙසින් සිටි වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
“මුළු ලෝකයම කොවිඩ් වසංගතයට මුහුණදීලා තියෙන කාලයක ජපන් ජාතික ඉංජිනේරුවන්, අපේ රටේ ඉංජිනේරුවන් සහ අනෙකුත් නිලධාරීන්, සේවකයන් තමන්ගේ ජීවිත ගැන පවා නොසිතා ජීවිත අවදානමක් ගෙන දැවැන්ත කැපකිරීමක් කරල හදපු පාලමක් ලෙසට මෙම පාලම ඉතිහාස ගත වෙනවා. ඊළඟ අවුරුදු සියය නෙවෙයි තව අවුරුදු එකසිය විසි පහක් විතර මේ රටේ මතු පරම්පරාවට මේ ගැන කතා කරන්න ඉඩ ලැබෙන ව්‍යාපෘතියක් හැටියට මෙම ව්‍යාපෘතිය මම දකිනවා.” යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහිදී පැවසීය.
නව කැලණි පාලම ඉදිකර ඇත්තේ ත්‍රිත්ව කුටීර ගර්ඩස් (Triple box Girders) නම් උසස්ම ඉංජිනේරු තාක්ෂණය භාවිත කරමිනි. ගඟ හරහා ඉදිකිරීම් සඳහා ෆෝම් ට්රුවලර් (Form traveler) යන්ත්‍රය භාවිත කර ඉදිකිරීම් කර ඇති අතර කල් පවත්නා අධි තාක්ෂණික රැහැන් සහ ගං ඉවුරු මත දෙපසට විහිදෙන විශාල කුලුනු දෙකක් විසින් ප්‍රධාන පාලමේ බර දරා සිටින ආකාරයට, දෙපසට සමාන බර ලැබෙන පරිදි නිර්මාණය කරන බැලන්ස් කැන්ටිලීවර් (Balance cantilever) නම් තාක්ෂණය භාවිත කර ඇත.
ප්‍රධාන කුලුනේ සිට මීටර් 4.5ක් බැගින් එකවර දෙපසම කොන්ක්‍රීට් අතුරමින් එක් පසෙකට එවැනි කොටස් 18ක් හා උපකාරක රුහැන් 12ක් වන ලෙස ඉදිකිරීම් සිදුකර ඇත.
මෙලෙස ඉදි කරන ලද කොන්ක්‍රීට් පාලම ගං ඉවුරු දෙපසට ප්‍රධාන කුලුනුවල සිට ගඟ මධ්‍යයට පැමිණ එකිනෙකට සම්බන්ධ වීම “Center closure of the Extra dosed Bridge” ලෙස හඳුන්වයි.
“ලංකාවේ පළමු වතාවට ඉදිවන කේබල් මතින් එල්ලෙන මෙම පාලම ඉදිකිරීමෙන් පසු දීර්ඝ කාලයක් තිස්සේ පැවැති රථවාහන තදබදය අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ස්ථානය කොළඹ වරාය නගරය, බත්තරමුල්ල ප්‍රදේශයේ පරිපාලන නගරය, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙන්ම අනෙකුත් අධිවේගී මාර්ග ජාල සම්බන්ධ වන ස්ථානයක්. මෙය ජනතා අයිතියට පත් කිරීමෙන් පසු කොළඹ නගරයට ඇතුළු වන හා පිටවන ජනතාවට විශාල කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වෙනවා. එමෙන්ම පරිසර දූෂණයද විශාල ලෙස අඩුවීමක් සිදුවෙනවා.” යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාද මේ සම්බන්ධව අදහස් දක්වමින් පැවසීය.
මෙම නව කැලණි පාලම විවෘත වීමත් සමඟ අගනගරයේ සිට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හරහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත කඩිනමින් ප්‍රවේශ වීමට හැකිවන අතර මෙම නව කැලණි පාලමේ සිට වරාය නගරය දක්වා සහ කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා අධිවේගී මාර්ග දෙක එකිනෙක යා කරමින් අධිවේගී මාර්ග ජාලය එකිනෙකට සම්බන්ධ වේ.
මෙම නව පාලම හේතුවෙන් රථවාහන තදබදය අවම වන අතර ගඟ අභ්‍යන්තරයේ කුලුනු ඉදිකර නොමැති නිසා කැලණි ගඟේ ජල බැස්මටද එයින් අවහිරයක් ඇති නොවේ. මේ නිසා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමද පහව යනු ඇත. ඉදි කරන මාර්ගය අන්තර් හුවමාරුද ඇතුළත්ව මෙය මංතීරු හයකින් යුක්ත වේ.
ප්‍රධාන ඉදිකිරීම් කටයුතුවලට පෙර මෙහිදී ප්‍රතිස්ථාපන කටයුතු කිහිපයක් සිදු කර ඇත. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ කැලණිතිස්ස විදුලි බලස්ථානයේ සිට දිවෙන කිලෝවොට් 220 හා කිලෝවොට් 132 අධිබල විදුලි රැහැන් භූගත කර ඉදිකිරීම් සඳහා පහසුකම් සලසා ඇත. එමෙන්ම මෙම නව පාලම ඉදිකිරීම හේතුවෙන් අවතැන් වූ පවුල් 340කට අයත් පිරිස සාලමුල්ල, ලක්සඳසෙවණ නිවාස ව්‍යාපෘතියේ ස්ථිර හිමිකම් සහිත නිවාසවල නැවත පදිංචි කරලීමටද, පරමාණුක බලශක්ති මණ්ඩලයට අයත් පරිපාලන ගොඩනැගිල්ල, භාවිත ද්‍රව්‍ය ගබඩාව සහ පර්යේෂණාගාරය අයත් ගොඩනැගිලි ඔරුගොඩවත්ත ප්‍රදේශයේ නැවත ඉදි කිරීමට කටයුතු කෙරිණි.
මෙම පාලම ඉදිකිරීම සඳහා විශේෂ හවුල්කාරී ගිවිසුම් කොන්දේසි යටතේ ජපන් අන්තර්ජාතික සහයෝගීතා ආයතනය විසින් ණය පහසුකම් සපයා ඇත. ජාත්‍යන්තර තරගකාරීත්ව ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ සුදුසුකම් ලත් කොන්ත්‍රාත්කරුවන් වෙත ඉදිකිරීම් බාරදීම මාර්ග සංවර්ධන අධිකාරියේ නව කැලණි පාලම ඉදිකිරීම් ව්‍යාපෘතිය විසින් සිදුකර ඇත.
අදියර දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. ඒ අනුව පළමු අදියර වන වානේ නිමැවුම් පාලම් කොටස සඳහා රුපියල් මිලියන 31,539ක් වැයවන අතර දෙවැනි අදියර වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සඳහා රුපියල් මිලියන 9,896ක් වැය වේ.
දිශානි ජයමාලි කරුණාරත්න