2021 ජුලි 17 වන සෙනසුරාදා

කොටස් වෙළෙඳපොළේ ඩිජිටල් බිස්නස්

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 195
කොළඹ කොටස් වෙළෙඳපොළ ඩිජිටල් තාක්ෂණයට හරවා තිබේ. එය විශේෂ අවස්ථාවකි. කඩදාසි පුරවා අනුමැතිය සහිතව ගනුදෙනු ඇරඹිය යුතුව තිබුණ කොටස් හුවමාරුව ලෝකයේ ඕනෑම තැනකට විවෘත කර තිබේ. කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක ආර්ථිකය අනපේක්ෂිත තැනකය. අලුත් වටයකින් නැඟෙන බව වාර්තා දක්වයි. තාක්ෂණය බෙහෙවින් උපයෝගීවෙයි. ශ‍්‍රී ලංකාවටද අවස්ථාවක් උදාකර තිබේ.
 
මෑත කාලය තුළ කොටස් වෙළෙඳාමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වී තිබේ. වෙළඳ පොළ දර්ශක උච්ඡාවචනය වෙන බව නිරීක්ෂණය කළ හැකිය. දෙස් විදෙස් ආයෝජකයෝ යම් ප‍්‍රමාණයකට යුහුසුළු වී සිටිති. මෙම සක‍්‍රීය භාවය තවත් පියවරකින් ඉදිරියට කැඳවාගෙන යන්නට ඩිජිටල්කරණය පිටිවහලක් වනු ඇත. 
 
• පියවරෙන් පියවර ඩිජිටල්කරණය වෙත
 
1997 වසරේදී කොළඹ කොටස් වෙළඳ පොළ තාක්ෂණයට හරවන පළමු පියවර තැබීය. කඩදාසිවල සටහන් කරමින් ගනුදෙනුකරුවන් ගතකළ පැරණි ව්‍යුහය වෙනස් කරන්නට එය පදනමක් විය. ආයතනික හා පුද්ගල ගනුදෙනුකරුවන් පරිගණක ගතකරන ලද අතර එය පහසුවක් සැලසීය. ආයතනික ගනුදෙනුකරුවන්ට විශේෂ අංක නිකුත් කරන ලදී. සුළු ගනුදෙනුකරුවෝ හඳුනාගැනීමට ජාතික හැඳුනුම්පත උපයෝගී කර ගැනිණ. අතරමැදියන් රහිතව කෙලින්ම කොටස් මිලදී ගැනීමට හෝ විකිණීමට සීමිත අවස්ථාවක් උදාවිය. මුල් දිනවල අත්දැකීම් රසවත් නැත. අන්තර්ජාල වේගය ප‍්‍රමාණවත් නොවීය. හදිසියේ පද්ධති බිඳවැටීම් සිදුවීම පාලනය කරගැනීමට සෑහෙන වෙහෙසක් දරන්නට සිදුවිය. පද්ධති අවහිර වී ගනුදෙනු කරගත නොහැකි වූ අවස්ථාවල අතෘප්තියට පත් පිරිස් නොසන්සුන් වූ වාර ගණනකි. තමන්ගේ ධනය එහා මෙහා වන මොහොතක තාක්ෂණයෙන් සිදුකරන බාධා ප‍්‍රශ්න ඇති කිරීම පුදුමයක් නොවේ. එහෙත් පියවරෙන් පියවර සංවිධානාත්මක තැනකට කැඳවීය.
 
ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම් යොදවා පද්ධති යාවත්කාලීන කළේය. අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීමෙන් පසු ලෝකයේ නොයෙක් රටවල ගනුදෙනුකරුවෝද කොළඹ සමග ගනුදෙනු අරඹන පහසුව උදාකර ගත්හ.
 
දැන් එහි සම්පූර්ණ වාසිය නිරාකරණය වී තිබේ. ගනුදෙනුකරුවන්ට පුළුල් පරාසයක් විවෘත වී ඇත. තාක්ෂණය තිබුණත් පැවැති ක‍්‍රමයට අලුතින් ගිණුමක් විවෘත කිරීමට තැරුව්කාර සමාගමක් වෙත යා යුතු විය. ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම සාමාන්‍ය පිළිවෙළ විය. දැන් එම බාධා අහෝසි වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ගොස් තමන්ට කැමැති ආකාරයකට ගනුදෙනු ඇරඹිය හැකිය. තෝරාගත් තැරුව්කාර සමාගමක උපදේශකත්වයටද බාධාවක් නැත. ගිණුම ඇරඹීමෙන් පසු කෙළින්ම කොටස් මිල දී ගැනීමට හැකිවීම වාසියකි. සිය රහස් අංකය වෙනස් කිරීම, හදිසියේ ලිපිනය වෙනස්වීමකදී තමන්ටම එහි යාවත්කාලීන කිරීම යනාදී වශයෙන් ප‍්‍රවේශ අවස්ථා පුළුල් වී ඇත. 
 
• ආයෝජනය සඳහා සුදුසු පසුබිමක් ඇති කිරීම
 
කොටස් වෙළෙඳාම සරල කිරීම හොඳ ආකර්ශණීය තත්ත්වයකි. තමන්ගේ ස්මාට් දුරකථනයට බා ගත හැකි ඇප් එකක් නිර්මාණය කර තිබේ. එම මෘදුකාංගය අනුව කොතැනක සිටියත් ක්ෂණයකින් දිනයේ කොටස් හුවමාරුවට ඇතුළු විය හැකිය. නවීන වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. එය සමාගම් ගැන ඉතාම විශ්ලේෂණාත්මක තොරතුරු සපයයි. පසුගිය කාලයේ සමාගමක හැසිරීම, ලාභ අලාභ සහ අධ්‍යක්ෂ මණ්ඩල තීරණ දැනගැනීමෙන් මිල දී ගන්නා කොටස ගැන අධ්‍යනයක නිරත විය හැකිය. යූ ටියුබ් චැනලයක්ද අතිරේකව සම්බන්ධ කිරීමෙන් එදිනෙදා දැනගත යුතු දේ සම්බන්ධව නිර්මාණාත්මක වටපිටාවක් සකසා ඇත. රටක ආර්ථික ප‍්‍රතිපත්ති කෙරෙහි ඇති විශ්වාසය කොටස් වෙළෙඳපොළ හැසිරීමට බලවත් පදනමකි. විවෘත ආර්ථික ක‍්‍රමය තුළ ආයෝජනය සඳහා බලවත් තරගයක් තිබේ. රට තුළ පමණක් නොව රටින් බැහැර පවා ආයෝජන අවස්ථා පවතී. තමන් ආයෝජනය කරන මුදල ගැන පවතින සුරක්ෂිත භාවය හා අවදානමක් දැනෙන පළමු අවස්ථාවේදීම ආපසු ගැනීමට ඇති හැකියාව අද විශේෂයෙන් සලකා බලන බව පෙනේ. 
 
වාර්තා අනුව දැනට කොටස් වෙළෙඳ පොළ ලැයිස්තු ගත සමාගම් ගණන 285 කි. මෑත කාලය තුළ අලුත් සමාගම් ඇතුළු වූයේ නැත. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික සමාගම් ගණනාවක් ප‍්‍රාග්ධන අවශ්‍යතා අරමුණු කරගෙන මූලික කොටස් නිකුත් කිරීමට සූදානමක් පවතී. කොවිඩ් ප‍්‍රශ්න හෙයින් එය සීමා වී ඇත. නැවතත් සුපුරුදු තත්ත්වය ඇති වුවහොත් ඒවායේ ආයෝජන අවස්ථා ඇතිවන අතර ඩිජිටල් ව්‍යුහයක් තැනීම හොඳ අත්තිවාරමකි.
• අහිමි වූ ධනය ගැන හිතන්නට අවස්ථාවක්
 
මෑත ඉතිහාසය තුළ කොටස් වෙළෙඳාමේදී මුහුණ දුන් අභාග්‍යසම්පන්න අවස්ථාද සලකා බැලීම වටී. ගනුදෙනුකරුවන් මහත් බලාපොරොත්තු තබා මිල දී ගත් කොටස් හිමි සමාගම් අතරින් කොටසක් බංකොලොත් වී ඇත. ඒවායේ ආයෝජනය කරන ලද පිරිස ධනය අහිමි කරගෙන සිටිති. වණික් ඉන් කෝපරේෂන්, ටච්වුඩ්, පැල්වත්ත සීනි, කපිල හෙවි, පී.සී. හවුස් යනා දී සමාගම් දැන් ගනුදෙනු නොවේ. ඒවායේ කොටස් මිල දී ගත් ගනුදෙනුකරුවන්ට කිසිම පිළිසරණක් නැත. වණික්, ටච්වුඩ් වැනි සමාගම් අධිකරණයට ගොස් බංකොලොත් තත්ත්වය ප‍්‍රකාශයට පත්කර ඇති හෙයින් ඒවායේ අය කරගත හැකි වත්කමක් නැත. වත්කම් විකුණා කෙටස් හිමියන්ට ආරක්ෂාව සලසන පියවරකට හෝ මගක් නැත. මෙම සමාගම් ඇතැම් කාලවල ඉතාම ඉහළ මිලකට කොටස් හුවමාරු වූ බව මතක් කළ යුතුය. ලක්ෂ ගණන් කොටස් ගත් ගනුදෙනුකරුවන්ට බිලියන ගණනින් ධනය අහිමි වී ඇත. එවැනි පැති ගැනද සලකා බැලීම වැදගත්ය. 
 
බැංකුවක මුදල් තැන්පත් කරන විට ආරක්ෂාව ගැන කිසියම් සහතිකයක් තිබේ. ස්ථිර තැන්පත් සඳහා රුපියල් ලක්ෂ හයක් දක්වා රැකවරණයක් ඇත. එය තවත් ඉහළ නංවන්නට මහ බැංකුව අවධානය යොමුකර ඇති බව අනාවරණය වන කරුණකි. සුරුකුම් හා විනිමය කොමිසම එවැනි පැති ගැන කල්පනා කිරීම සුදුසුය. සමාගමක් බිඳ වැටෙනවිට කොටස් හිමියන් ආරක්ෂා කරන්නේ කෙසේද? අඩුම තරමින් ප‍්‍රාථමික කොටස් වටිනාකම හෝ ලැබෙන පිළිවෙළක් සකස් කිරීම  සුදුසුය. දැනට ලැයිස්තුගත සමාගම්වල දායකත්වයෙන් හෝ ගනුදෙනුවලදී වෙන් කරගන්නා ප‍්‍රතිශතයකින් එයට ගැලපෙන අරමුදලක් හදන්නට බැරිකමක් නැත. සෙස් බද්ද හා සමානව කොටස් ගැනීමේදී හා විකිණීමේදී දායකත්වයක් දක්වන වැඩ පිළිවෙළක් ඇරඹුවහොත් ටච්වුඩ් වැනි සමාගමකින් සුළු විශේෂයෙන් ගනුදෙනුකරුවන්ට සිදුවන හානි පූර්ණය කළ හැකිය. 
 
• මෑත කාලය තුළ විදෙස් ආයෝජන විකුණන ප‍්‍රවණතාවක්
 
මෑත කාලය තුළ කොටස් වෙළඳපොළ ගනුදෙනුවල නිරතව සිටි විදේශ ආයෝජකයන් කොටස් විකුණන ප‍්‍රවණතාවයක බව නිරීක්ෂණය කළ හැකිය. විටින්විට මෙවැනි අවපාත ඇතිවෙයි. එයට හේතු ගණනාවකි. එකක් විනිමය අනුපාතිකය සම්බන්ධ කාරණාවකි. වෙළෙඳපොළ ලාභ සීමිත වී තිබේ. කොවිඩ් තර්ජන තිබියදී ආයතනික ලාබ ඉහළ යා නොහැකිය. ආනයන අඩුකළ අතර විදේශ වෙළෙඳාමේ හිඟය පටු තැනකට ගෙන ආවේය. එහි වාසිය රටට දැනෙන නමුත් කොටස් වෙළෙඳාමට සම්බන්ධ අනෙක් රටවල ආයෝජකයන් එය අවාසියක් සේ සලකන බව නිරීක්ෂණය වෙයි. මැයි මාසය තුළ පමණක් රුපියල් බිලියන 6.4 ශුද්ධ විනිමය ප‍්‍රමාණයක් විදේශිකයන් කොටස් විකුණා  දැමීම නිසා රටින් ඉවත් කරගෙන තිබේ. ජූනි මාසයේදී ද එය රුපියල් බිලියන 3.76ක් බව විනිමය හා සුරුකුම් කොමිසම වාර්තා දක්වයි. පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳාම තරමක් වර්ධනය වන ආකාරයට දේශීය ආයෝජකයන්ගේ ආකර්ෂණය වී තිබුණ බවද දැක්විය යුතුය. පර් යේෂකයන් දක්වන ආකාරයට මෙරට වාණිජ බැංකු පොලී අනුපාත අඩු වෙමින් පැවැති අතර එයට සාපේක්ෂව කොටස් වෙළෙඳාමේ දී ලැබෙන ප‍්‍රතිලාභ ඉහළ යමින් තිබුණි. යම් අවදානමක් ඇතත් එය නොසලකා යළි යළිත් කොටස් මිලදී ගැනීමට දේශීය ආයතනික සහ සුළු ගනුදෙනුකරුවෝ යුහුසුළු වෙමින් සිටියහ.
 
කොළඹ කොටස් වෙළෙඳාම ප‍්‍රාග්ධණීකරණය වසර 2025 වනවිට අඩුම තරමින් රුපියල් බිලියන හැටක් දක්වා කැඳවන සැලැස්මක් තිබේ. එය පහසු නැත. ඉතාම අභියෝගාත්මකය. 2014 වසරේදී කොළඹ කොටස් වෙළෙඳපොළ හැසිරීම ඉතාම සරු බවක් පෙන්නුම් කළේය. යුද ගැටුම් තිබුණ පරිසරය තුරන් වී ආර්ථික වර්ධනයක ලක්ෂණ තිබුණ එකල සමාජ ස්ථාවර භාවයද එයට ඉවහල් වූ බව සඳහන් කළ යුතුය.  දැන් කොටස් වෙළෙඳ පොළ ප‍්‍රාග්ධනීකරණය රු. බිලියන 12.5 දක්වා සීමා වී තිබේ. එය එතරම් යහපත් ප‍්‍රවණතාවයක් නොවේ. ධනය වැඩිවන තරමටට ඉල්ලුම ඉහළට නැගේ. ආකර්ෂණීය තත්ත්ව නිර්මාණය කරයි. ඩිජිටල්කරණයෙන් ගනුදෙනුකරුවන්ට අවස්ථා ඇති කරන අතර විශ්වාසනීයත්වය සඳහා පසුබිම සකස් කිරීම වැඩදායකය. 
 
• පවතින ආර්ථික ස්වභාවයෙන් අස්වැසිල්ලක්?
 
කොවිඩ් -19 වයිරසය පැතිරෙන විට ජනජීවිතය පාලනය කළ යුතු බව රජය තීරණය කළේය. සමාජ දුරස්ථභාවය ඉතාම වැදගත් සාධකයක් විය. වේගයෙන් එන්නත්කරණය සිදුවන විට නැවතත් පුරුදු සමාජ වාතාවරණය ඇති වෙන්නට ඉඩ තිබේ. ආර්ථිකය නිසි මඟට ගැනීමේ පියවරක් වශයෙන් පොලී අනුපාත අඩුකරන තීරණය කොටස් වෙළෙඳාමට හිතකර සේ බලපා ඇත. පොලී ආදායම අඩුවන විට වෙනත් ආයෝජන ගැන නැඹුරු වී තිබේ. කොටස් මිලදී ගන්නට වැය කරන්නේ තමන්ගේ ධනයයි. ධනය ආයෝජනය කරන්නට අවස්ථා ඇති තරම් තිබේ. තැන්පත් මුදලකට සුළු පොලියක් අපේක්ෂා නොකරන ආයෝජකයෝ ඉඩම් වෙළඳ පොළ වෙත නතු වෙමින් සිටිති. එහෙත් ඉඩම සීමිතය. පසුගිය කාලයේ නගර ආශි‍්‍රත ඉඩම් හා නිවාස මිල විශාල වශයෙන් ඉහළ ගියේය. ඉඩම් මිල වැඩිවන විට ඉඩම් මිල දී ගැනීමට දුර්මුඛ වන අතර එම ධනය කොටස් වෙළෙඳපොළට හැරෙන්නට ඇති බව අනුමාන කළ හැකිය. 
 
ඩිජිටල්කරණය සමඟ කොළඹ කොටස් වෙළඳපොළ ව්‍යුහය ගැන අලුතින් හිතන්නට අවශ්‍යය. සමාගම්වල තරගකාරීත්වය නැවීම අවශ්‍යය. කොටස් වෙළෙඳාම යනු එදිනෙදා රුපියලක් දෙකක් මිල වැඩිවූ පමණින් කොටස විකුණා යමක් උපයා ගැනීම නොවේ. ආයෝජකයකු සතු අරමුණ ලැයිස්තුගත සමාගමක කොටස් හිමියකු වීම විය යුතුය. සමාගමක කොටස්කරුවකු සමාගම වැඩෙන, එහි ලාභයෙන් තමන්ට සහ සමාජයට අර්ථයක් සිදුවන ආකාරය ගැන තෘප්තිමත්වීම අවශ්‍යය. ආයෝජකයන් යුහුසුළු වන තරමට වාසි දායකය. සක‍්‍රීය වෙළෙඳාම තුළ යුතු අඩු මිලට ඇති කොටස් මිලදී ගැනීමට හැකිවෙයි. කොටස් හිමි සමාජයක් බිහිවෙයි.
 
 ගාමිණී සරත් ගොඩකන්ද
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03