2021 ජුලි 17 වන සෙනසුරාදා

ක්‍රිකට් පිටියේ ගොයම් කෑම

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 33

වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසම් ඒ අමාරුව යැයි කියමන වර්තමානයේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවට වඩාත් ගැළපෙයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ වර්තමාන අර්බුදය විසඳීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද මැදිහත්වීමට සිදුවන තත්ත්වයක් පසුගිය සතිය වනවිට උද්ගත වී තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්බන්ධ නිලධාරීන් පිරිසක් පසුගිය බදාදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබුණද කිසියම් හේතුවක් මත එම සාකච්ඡාව කල්දැමීය. මේ අතර වර්තමාන ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිටියේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් දෙපළ වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් පසුගිය සතිය වනවිට ඔවුන්ගේ ක‍්‍රිකට් අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව සිටියහ.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කළ ක‍්‍රිකට් තාක්‍ෂණික කමිටුවේ සභාපති හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා ආමන්ත‍්‍රණය කරමින් දිනේෂ් චන්දිමාල් පසුගිය බදාදා ලිපියක් යොමුකර තිබුණි. දිගින් දිගටම ඔහුව කණ්ඩායමෙන් ඉවත්කිරීම පිළිබඳව තාක්‍ෂණික කමිටු සභාපතිවරයාගෙන් විමසා තිබූ චන්දිමාල් ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් හමුවීමට තමන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසද ඉල්ලා තිබුණි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඉතිහාසයේ වඩාත් සාර්ථකම නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස් වාර්ෂික කොන්ත‍්‍රාත්තුව පිළිබඳ ප‍්‍රශ්නය හේතුවෙන් එළඹෙන ඉන්දීය සංචාරයෙන් ඉවත්කරන ලෙස ක‍්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් දෙදෙනකු ඉදිරියේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යොමුකිරීමට ලිපි සකස් කරමින් සිටින බවද දැනගන්නට තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් උපදේශන තාක්‍ෂණික කමිටු සාමාජික හිටපු සුපිරි දඟ පන්දු ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මෙරට ප‍්‍රසිද්ධ රූපවාහිනී සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ නම සඳහන් කරමින් ඔවුන් මුදල් කෑදරකමට වාර්ෂික කොන්ත‍්‍රාත්තුවට අත්සන් නොතැබුවේ යැයි ප‍්‍රකාශ කළේය. එහිදී මුත්තයියා මුරලිදරන් පැවසුවේ මේ අය තමන්ගේ පොඩි මුදලක් කැපීම නිසා සෙසු කනිටු ක‍්‍රීඩකයන්ද එකතු කරගෙන නීතිඥයකුගේ සේවයද ලබාගෙන කටයුතු කළ ආකාරය අනුමත කළ නොහැකි බවයි.

ශ්‍රී ලංකා ක‍්‍රීඩා පාලක සභාවේ සභාපති හිටපු ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායකයකු වන මහේල ජයවර්ධන සහ එහි සාමාජික හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වාර්ෂික කොන්ත‍්‍රාත් ගාස්තුව අඩුකළ අවස්ථාවකදී 2014 වසරේ විස්සයි20 ලෝක කුසලාන කිරුළද ජයගෙන කටුනායක ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදී එවකට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ඇතුළු ක‍්‍රිකට් ආයතනය පට්ට ගැසූ ආකාරය අපගේ මතකයේ තවමත් තිබේ.

එම පිරිස ක‍්‍රිකට් ක‍්‍රීඩාව ගොඩනැගනීමට යැයි පැමිණ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ දීමනාව ලක්‍ෂ 30 කට වැඩි ප‍්‍රමාණයකින් කපා දමන්නේ නම් එහි ඇති සාධාරණය කුමක්ද?

ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමට සූදානම් වනවිට ජනමාධ්‍ය මෙන්ම ඇතැම් ක‍්‍රීඩකයන්ද විරෝධය පළ කළද බලධාරීහු බීරන් සේ හැසිරුණහ. එම විවේචන සාධාරණ යැයි මේ වනවිට ප‍්‍රදර්ශනය වී හමාරය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම කඩා වැටී නායකත්වය බාරගැනීමට කිසිවකු නොමැති අවස්ථාවේදී නායකත්වය බාරගෙන සියලු දෙනා ඒකරාශී කරගෙන කටයුතු කළ දිමුත් කරුණාරත්නට ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ තේරීම් කමිටුව සැලකූ ආකාරය ඉතාමත් ශෝචනීයය.

ජ්‍යෙෂ්ඨයන් එකවර ඉවත්කර කණ්ඩායම ගොඩගත හැකි යැයි කවුරුන් හෝ හිතන්නේ නම් ඔහු ජාතික තේරීම් කමිටුවට නොව පාසල් තේරීම් කමිටුවකටද නුසුදුස්සෙකි. 

කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයන්ගේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග මහතා පැවසුවේ තමන්ට ක‍්‍රිකට් කණ්ඩායම බාර දෙන්නේ නම් ඉහළට ගෙන එන බවයි. වර්තමාන ක‍්‍රීඩා අමාත්‍යවරයා ක‍්‍රිකට්වලට සත්‍ය වශයෙන්ම ආදරය කරන්නේ නම් අර්ජුන රණතුංගටද අවස්ථාව දිය යුතුය. එහිදී අර්ජුන සතුව ප‍්‍රකාශ මෙන්ම හැකියාව තිබේද යන්න පිළිබඳව මැන බැලිය හැකිය. 

ලෝක ක‍්‍රිකට් පිටියේ ඉහළතම ස්ථානයක සිටි බටහිර ඉන්දීය කොදෙව් සතුව ක‍්‍රිස් ගේල් වැනි ප‍්‍රබල ක‍්‍රීඩකයන් සිටියදී අඩියට කඩා වැටුණේ කොන්ත‍්‍රාත් පිළිබඳ ප‍්‍රශ්නය නිසා බව අමතක නොකළ යුතුය. බොහෝ කොදෙව් ක‍්‍රීඩකයෝ ජාතික කණ්ඩායමෙන් ඉවත්ව ලීග් තරගාවලිවලට සහභාගි වූහ.  

තරග පරාජය වීම සහ ඇතැම් ක‍්‍රීඩකයන්ගේ නීති විරෝධී හැසිරීම ප‍්‍රයෝජනයට ගනිමින් හිටපු ක‍්‍රීඩකයන් කියන මේ පිරිස කරගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යවරයා කටයුතු නොකරන්නේ නම් ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා හෝ අනිවාර්යෙන් මැදිහත් විය යුතුය.

මුත්තයියා මුරලිදරන් එම රූපවාහිනී සාකච්ඡාවේදී පැවසූ තවත් කරුණක් වූයේ තාක්‍ෂණික කමිටු සමාජික අයි.සී.සී. හිටපු තරග තීරක රොෂාන් මහනාමට ජාතික කණ්ඩායමේ පුහුණු ධූරය බාරගන්නා ලෙස තමන් පෞද්ගලික මට්ටමින් ආරාධනා කළ බවත් ඒ සඳහා තමන්ට කාලය අවශ්‍ය යැයි මහානාම පැවසූ බවත්ය.

ශ්‍රී ලංකා පිලේ වර්තමාන ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් සහ පිතිකරුවන්ගේ පුහුණුකරු ග‍්‍රාන්ට් ෆ්ලවර් යන දෙදෙනාගේම පුහුණුකරු ක‍්‍රමවේදය ශ්‍රී ලංකාවට නොගැලපෙන බවත් ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා පුහුණුකරුවකු යෙදවිය යුතු බවත් මුරලිදරන් එහිදී පැවසීය.

 යොහාන් භාසුර