2021 ජුලි 17 වන සෙනසුරාදා

ජනතාවට විවෘත වන වරාය නගරය

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 247

ශ්‍රී ලංකා සිතියමේ හැඩය වෙනස් කරමින් කොළඹ ගාලු මුවදොර පිටියට යාබදව අක්කර 664ක් හෙවත් හෙක්ටයාර 269ක් අලුතින් ශ්‍රී ලංකා භූමියට එක්කරමින් මුහුද ගොඩකර තැනූ වරාය නගරය නුදුරේදීම මෙරට ජනතාවට විවෘත වීමට නියමිතය. වරාය නගරයේ වෙරළ තීරය සහ මහජන උද්‍යාන ලබන අගෝස්තු මාසය වන විට මහජනයාට විවෘත කිරීමට නියමිත බව ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සහ වරාය නගර කොමිසම් සභාවේ සාමාජික ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම  මහතා ප්‍රකාශ කළේය.

චයිනා හාබර් සමාගම මගින් ඉදිකිරීම් කටයුතු සිදු කළ  වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2014 වසරේ සැප්තැම්බරයේය. 2017 දෙසැම්බරය වන විට ගොඩකිරීම් අවසන් කිරීමට නියමිත වුවද 2015 එවක පැවැති ආණ්ඩුව වෙනස්වීම හේතුවෙන් එහි ඉදිකිරීම් කටයුතු ඇන හිටි අතර වසර එකහමාරකට පමණ පසු යළි එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.

ප්‍රයිවෙට් පබ්ලික් පාට්නර්ෂිප් හෙවත් රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා රජයත් චයිනා හාබර් ඉංජිනියරිං නමැති චීන සමාගමත් එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. වරාය නගරය ගොඩ කිරීමට සහ එහි මූලික භෞතික සම්පත් සපුරාලීම සඳහා වැය කරන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1400ක් පමණ වේ. 

සමස්ත භූමියේ හිමිකාරිත්වය පවතින්නේ ශ්‍රී ලංකා රජය සතුවය. මූලික ආයෝජනයට ප්‍රතිලාභ ලෙස සමස්ත භූමි ප්‍රමාණය වන හෙක්ටයාර 269න් හෙක්ටයාර 116ක් හෙවත් 43%ක් චීන සමාගමට 99 අවුරුදු බදු ක්‍රමයට ලබාදී තිබේ. එහෙත් එහි සින්නක්කර අයිතියක් එම සමාගමට නොමැත. එම ඉඩම් ප්‍රති බදු දීමේ බලය පමණක් එම සමාගම සතුය. එම ඉඩම් වෙනත් අයෙකුට බදු දෙන්නේ නම් එම බදු ගිවිසුම අත්සන් කළ යුත්තේ කොළඹ වරාය නගර කොමිසම් සභාව සමඟය. භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 91 වෙන් වන්නේ මහාමාර්ග, වෙරළ තීරය, උද්‍යාන, පදික මංතීරු, ඇළ මාර්ග වැනි පොදු යටිතල පහසුකම් සඳහාය.  ඉතිරි හෙක්ටයාර 62 හෙවත් 18%ක් රජයට සෘජු පරිහරණයට හෝ වෙනත් ඕනෑම පාර්ශවයකට බදුදීමේ හැකියාව පවතී. චීන සමාගම වරාය නගරය ඉදිකිරීම සඳහා ආයෝජනය කළ මුදල යළි ලබාගන්නේ තමන්ට 99 අවුරුදු බදු ක්‍රමය යටතේ හිමිවූ හෙක්ටයාර 116 භූමිය වෙනත් ආයෝජකයන්ට බදුදීමෙනි.  එම බිම් කොටස සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක පමණ ආයෝජන කැඳවීමට සැලසුම් කර තිබේ. ඇස්තමේන්තුවලට අනුව වරාය නගරයේ එක් පර්චසයක අගය රුපියල් මිලියන 20ක් පමණ වේ.

වරාය නගරයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් වීමට තවත් වසර දහයක් හෝ පහළොවක් පමණ ගතවේවි. මෙය කෙටි කාලීන ව්‍යාපෘතියක් නොවෙයි. මෙහි ගොඩනැගිලි ඉදිකිරීම් මේ වසර අවසන් වන විට ආරම්භ කරනවා. දැනට කිසිම ගොඩනැගිල්ලක් ඉදිකර නැහැ.. එම කටයුතු ක්‍රියාත්මක වන්නේ ආයෝජකයන් හරහායි. මේ වන විට ආයෝජකයන් හය දෙනෙක් වරාය නගරයේ ආයෝජන කිරීමට සූදානමින් සිටිනවා. කොමිෂන් සභාව මගින් සිදු කළ යුතු නීත්‍යානුකූල වැඩකටයුතු කිහිපයක් තිබෙනවා. එම කටයුතු අවසන් කිරීමෙන් පසු සති දෙක තුනකින් පමණ ඔවුන් ඔවුන් සමඟ ගිවිසුම් ගතවීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.* ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

එල්. ඕ. එල්. සී සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ්  අතර කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළව රුපියල් කෝටි 19,000ක ආයෝජනයකට එළඹීමට මේ වන විට එකඟතා ගිවිසුමකට එළඹ තිබේ. එම ගිවිසුම අත්සන් කළ යුත්තේ ශ්‍රී ලංකා රජය සමඟය. එහෙත් කොමිෂන් සභාවේ නීතිමය  වැඩකටයුතු අවසන් නොමැති බැවින් තවමත් නීත්‍යානුකූල ගිවිසුමකට එළැඹ නොමැත. රජය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කරන්නේ කොමිෂන් සභාවය. නුදුරේදීම ආයෝජන ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය.

එම කොමිෂන් සභාව රජයේ නියෝජිතයා ලෙස කටයුතු කරනවා. මේ වන විට එහි කාර්යාලයක් ස්ථාපනය කර අවසන්.. එයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්ද පත්කර තිබෙනවා.. මේ වන විට වරාය නගරය සම්බන්ධ නීතිරීති, රෙගුලාසි ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිනවා. මෙම කොමිෂන් සභාව හරහා ආයෝජකයකුට සියලු සේවාවන් එක දිනක් තුළ ලබා දිය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. යැයි ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

වරාය නගරය ප්‍රධාන කලාප 5කට බෙදා තිබේ.  සමස්ත භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 178 භූමි ප්‍රමාණයක් පුරා ගොඩනැගිලි ඉදිකිරීමට නියමිතය. වරාය නගරය තුළ මීටර් 20 සිට මීටර් 350 දක්වා උස ගොඩනැගිලි  6000ක් පමණ ඉදිකෙරෙන අතර ඒවා කාර්යාල සංකීර්ණ,  නිවාස සංකීර්ණ, හෝටල සංකීර්ණ, ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් සහිත වෙළෙඳ සංකීර්ණ, මෙන්ම අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලු මුහුදු යාත්‍රාංගණ, මෙන්ම විනෝදාශ්වාදය සඳහා විශේෂ පහසුකම්වලින්ද සමන්විතය., නව නිවාස ඒකක 40,000ක් එහි ඉදි කෙරේ.. එහි ඉදිකර ඇති  මහජන උද්‍යානය අක්කර 35 කින් පමණ සමන්විත වේ.. දේශීය ශාඛ වර්ග රුසක් මේ වන විටත්  එහි රෝපණය කර තිබේ. ඇවිදින මංතීරු හා පදිකයන්ට මෙන්ම පාපැදිකරුවන්ටද වෙන්වූ මංතීරු එහි ඇත. වරාය නගරය සඳහා වැඩි වශයෙන් භාවිත කෙරෙනුයේ  පුනර්ජනනීය බලශක්තියයි. එබැවින් වායු දූෂණය, ජල දූෂණය හා පරිසර දූෂණයද අවමය. වරාය නගරයේ අපද්‍රව්‍ය බැහැර කිරීම කොළඹ නගර සභාව සමඟ සම්බන්ධව ක්‍රියාත්මක වනු ඇත. කළමනාකරණයකින් පසු තෝරාගත් අපද්‍රව්‍ය ප්‍රමාණයක් පමණක් ඉන් බැහැර කෙරේ. අපද්‍රව්‍ය කළමනාකරණයට පෞද්ගලික අංශයද සම්බන්ධ බැවින් ඔවුන් සමඟද කටයුතු කිරීමට නියමිතය.

වරාය නගරයට පිවිසීම සඳහා ප්‍රධාන මහාමාර්යක් සහ උමං මාර්ග දෙකක් ඉදිකෙරේ. සේවා කොරිඩෝවේ වැඩ මේ වසර අවසන් වන විට නිම කිරීමට අපේක්ෂිතය එම උමං මාර්ගය ඔස්සේ ජලය, විදුලිය, දුරකථන හා අන් සියලු යටිතල පහසුකම් හා ගෑස් සැපයීමේ කාර්යයන් මෙන්ම අපජලය ඉවත් කිරීම ද සිදු කෙරේ. එහි උස උස අඩි 12කි. පළල මීටර් 3කි.. එමෙන්ම කටුනායක සිට දිවෙන අධිවේගී මාර්ගය කොළඹ මැරයින් ඩ්‍රයිව් මාර්ගයට සම්බන්ධ කිරීම සඳහා තවත් උමං මාර්ගයක් ඉදිකෙරෙනු ඇත. එහි වැඩ මෙතෙක් ආරම්භ වී නොමැත.

කොළඹ නගරයේ ඇති දිගම හා ආරක්ෂාකාරි වෙරළ වන්නේ වරාය නගරයේ ඉදිකර ඇති කෘත්‍රිම වෙරළ තීරයයි. එහි දිග මීටර් 1500ක් වන අතර පළල මීටර් 200කි. මෙම කෘත්‍රිම වෙරළ තීරයේ ඇතැම් කොටස් මේ වසර අවසන් වන විට ජනතාවට විවෘත කිරීමට නියමිතය. ගාලු මුව‍දොර පිටියේ සිට ඕනෑම කෙනෙකුට පහසුවෙන් කොළඹ වරාය නගරයේ  පිහිටි මහජන උද්‍යානයට පිවිසිය හැකි වන පරිදි ප්‍රවේශ මාර්ගයක් ඉදිකෙරෙන අතර කිසිදු ඇතුළුවීමේ ගාස්තුවක් අය නොකෙරේ...

වරාය නගරය තුළ ධනවතුන්ගේ සැහැල්ලු යාත්‍රා (යොට්) නවතා තැබිය හැකි යාත්‍රාංගනයක්ද ඉදිරකර තිබේ. ලොව ධනවතුන් ලංකාවට ගෙන්වා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස මෙය ඉදිකර තිබේ. තම සුඛෝපභෝගි  යාත්‍රා නවතා තැබීමට අවශ්‍ය යටිතල පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති හෙයින්  වර්ෂයකට 400කට අධික සැහැල්ලු යාත්‍රා ප්‍රමාණයක් ලංකාව පසුකරගෙන යන අතර නව යාත්‍රාංගනය මගින් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය හැකිවේ. නව යාත්‍රාංගනයේ යාත්‍රා 220ක් පමණ එකවර ගාල් කළ හැකිය. එමෙන්ම ධනවත් ආයෝජකයන් ගෙන්වා ගැනීමටද මෙවැනි යාත්‍රාංගන වැදගත්වේ.

වරාය නගරයේ ඉදිකර ඇති මුහුදු ජලයෙන් පිරි ඇළමාර්ග ඔස්සේ  වෝටර් ටැක්සි හෙවත් කුඩා බෝට්ටු මගින් ගමනාගමනයේ යෙදිය හැකිය. වරාය නගරයේ සම්පූර්ණ ඉදිකිරීම් අවසන් කිරීමට තවත් වසර 20ක් පමණ ගතවනු ඇතැයි විශ්වාස කෙරේ ඒ ආයෝජකයන්ගේ පැමිණීම අනුවය. එවිට වරාය නගරයෙන් වසරකට ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 236,000ක ප්‍රතිලාභ උපයා ගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කර තිබේ. වරාය නගරයෙන් උත්පාදනය වන රුකියා ප්‍රමාණය 82,000ක් පමණ වේ. 

වරාය නගරය ඉදිකිරීමේදී විවිධ හේතූන් මත එය විවේචනයට ලක්විය. බොහෝ පරිසරවේදීන් කියා සිටින්නේ වරාය නගරය පාරිසරික උපද්‍රව රුසක් නිර්මාණය කරන බවටය. ව්‍යාපෘතියෙන් සිදුවන  අහිතකර පාරිසරික බලපෑම එමගින් උපදවන ආර්ථික ප්‍රතිලාභවලට වඩා විශාල වනු ඇතැයි ඔවුහු කියා සිටියහ.. විශේෂයෙන් අධි ආරක්‍ෂිත කලාපයක චීනයට ඉඩම්වල අයිතිය ලබා දීමෙන් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි අනතුර සම්බන්ධයෙන්ද  ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන්ද විවිධ ක්ෂේත්‍රවලින් විරෝධතා මතු විය. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් අත්හිටුවන ලෙසටද පසුකාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ද පෙත්සම් කිහිපයක් අධිකරණයට ඉදිරිපත් විය. මේ වන විට එම කොමිසම සම්බන්ධයෙන් පැවැති ගැටලු සියල්ල නිරාකරණය වී එහි වැඩකටයුතු ක්‍රියාත්මක වෙමින් පවතී.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා