2021 ජුලි 17 වන සෙනසුරාදා

සකල කොරෝනාවන්ට බැටදෙන එකම එන්නතක්!

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 20

ඊළඟ ලෝක වසංගතය වැළැක්වීමට පවා ඉවහල්වන යුගයේ මහා සොයාගැනීම හැටියට දැනටමත් විද්‍යාත්මක ලෝකයේ සම්භාවනාවට ලක්ව ඇති සියලුම කොරෝනා රෝග මර්දනයට සමත් සර්වලෝක එන්නතක් දැන් නිපදවා හමාරය.

අපේ කාලයේ මහා වසංගතය බවට පත්ව ඇති කොවිඩ් 19 ඇතුළු සියලුම කොරෝනා රෝග මර්දනය කිරීමට සමත් මේ එන්නත සියයට 100ක්ම ඕනෑම මාදිලියක කොවිඩ්  වළක්වන බව  පර්ෙය්ෂකයෝ පෙන්වා දෙති‍. සකල කොරෝනා නසන මේ සර්වලෝක එන්නත නිපදවීමට සමත්ව ඇත්තේ අමෙරිකාවේ ඩියුක් සරසවියේ විද්‍යාඥයින් පිරිසකි.  

මේ එන්නත විවිධ විපරීතයන්ට ලක්වෙමින් අලුත්වෙන කොවිඩ් නව මාදිලි මඬින්නටද සහමුලින්ම සමත් බව ඔවුන් ලෝ ප්‍රකට “නේචර්” සඟරාවේ පළකළ විද්‍යාත්මක පර්ෙය්ෂණ වාර්තාවකින් සනාථ කර  ඇත.

මේ වනවිට ලොකයේ රටවල් සහ ස්වාධීන පාලන ඒකක 220කට අයත් කෝටි දහඅටහමාරකට වැඩි පිරිසක් කොරෝනා වසංගතයට නතුව ඇති අතර ලක්ෂ 40කට වැඩි ගණනකගේ දිවි අහිමිව ගොසිනි. වෛරසයට එරෙහිව ඇති එකම සහ හොඳම අවිය ලෙස සැලකෙන්නේ කොවිඩ් මර්දන නව එන්නත් වුවද දිනෙන් දින විවිධ විපරීතයන්ට ලක්වෙමින් අලුතෙන් බිහිවන වඩාත් මාරාන්තික වෛරස මාදිලි සඳහා මේ වනවිට බිහිව ඇති එන්නත් කෙතරම් සාර්ථක වේවීදෝ යන්න ගැන ගැටලු මතුව තිබේ. මේ නිසා වෛරසයේ වෙනස්වීමේ සීඝ්‍රතාවයට සරිලන අන්දමින් එන්නත් සොයාගැනීම, ඒවා වැඩිදියුණු කර නිපදවීම ලොව විද්‍යාඥයන් මුහුණ පෑ ප්‍රායෝගික ගැටලුවකි.

දැන් මේ නව එන්නත මගින් ඒ සියලු ගැටලු නිමා වී හමාරය. පවතින කොවිඩ් වෛරසය (SARS-CoV-2) සහ එහි විවිධ විපරීතයන්ට පමණක් නොව ඉදිරියේ දි වසංගත සාදන්නට නියමිත ඕනෑම කොරෝනා වෛරස විශේෂයකට එරෙහිව ස්වයංව සිය ප්‍රතිරෝධී බව වර්ධනය කර ගනිමින් ඒ රෝග වසංගත බවට පත්වීම මර්දනයට මේ නව එන්නතට විශ්වකර්ම හැකියාවක් පවතින බව “නේචර්” වාර්තාව සනාථ කර ඇත. මූලික පර්යේෂණවලදී ‌මෙය දැනට ඇති එන්නත්වලින් සිදුකෙරෙනවාට වඩා ප්‍රතිදේහ අධික ප්‍රමාණයක් නිපදවීමට සමත් බවත් සියයට 100ක්ම රෝගය වැළැක්වීමට සමත් වූවක් බවත් තහවුරු වී ඇත.

සාර්වත්‍ර කොරෝනා එන්නත - pan-coronavirus vaccine, ලෙස නම්කර ඇති මේ නව එන්නත මඟින් ඉදිරි කාලයේදී කොරොනා වෛරස මගින් බිහිවිය හැකි සියලුම රෝග මර්දනයට ස්වභාවික ප්‍රතිශක්තිමය හැකියාව ලබාදෙන බව මූලික පර්යේෂණ මගින් සනාථ වී හමාරය. තමන් මේ සුවිශේෂි එන්නත නිපදවීමේ පර්ෙය්ෂණ පසුගිය මාර්තුවේදී ඇරුඹුවේ කොවිඩ් විපරීත මාදිලි බලපෑමෙන් පවතින එන්නත්වල සඵලතාව සම්බන්ධයෙන් ගැටලු මතුකරන්නට වූ විට යැයි මේ විශ්වකර්ම සොයා ගැනීමේ  ප්‍රධාන පර්ෙය්ෂණ විද්‍යාඥ වෛද්‍ය බාර්ටන් එෆ්.හෙයින්ස් කියා තිබේ. ඔහු මානව එන්නත් සඳහා වූ ඩියුක් ආයතනයේ Duke Human Vaccine Institute (DHVI), අධ්‍යක්ෂකවරයාය.

“මිනිස් සෛල තුළ පණිවුඩ ගෙන යන්නාවන mRNA ආශ්‍රිතව තැනෙන එන්නත් ගැන වැඩිදුර පර්යේෂණ සිදුවෙද්දීම වාගේ අලුත් වෛරස මාදිලි වැඩිවෙමින් පැතිර යන්නට  ගත් නිසා අපිට ඕනෑ වුණේ මේ  mRNA එන්නත්වල සඵලතාව efficacy, තව වැඩිකරන්නට හැකි ක්‍රමයක් සොයන්නයි.” වෛද්‍ය බාර්ටන් එෆ්. හෙයින්ස් සිය සාර්ථකත්වයට පත් පර්යේෂණයේ ගමන් මඟ පැහැදිලි කරමින් කි‌යයි. ඔවුන් මේ විශ්වකර්ම නිර්මාණය සඳහා නැනෝ තාක්ෂණය භාවිතා කළ බව ඔහු පෙන්වා දී තිබේ.

මේ වනවිට ඇති කෙරෝනා එන්නත් මගින් සිදුකරන්නේ කොරොනා වෛරසයට  මිනිස් සෛල හා සම්බන්ධ වීමට උපකාරී වන තැන පිහිටා ඇති ස්පයික් ප්‍රෝටීන සමග  බැඳීමට ඇති හැකියාව සිරුරේ ස්වභාවික ප්‍රතිදේහ පොළඹවා  ඒතැනට යොමුකරවාලීම  වැළැක්වීමය. මෙලෙස මිනිස් සිරුරේ ඇති ස්වභාවික ප්‍රතිදේහ ඉපැද්දවීම උත්තේජනය සඳහා පෙළඹුම්කාරකය ලෙස මේ එන්නත් තුළ යොදාගන්නේ බොහෝ විට මේ වෛරස ස්පයික් ප්‍රෝටීන කොටසකි. එය මිනිස් සෛල වෙත ගෙනයාම සඳහා විවිධ ප්‍රවාහන මාධ්‍ය යොදා ගනියි. ඩියුක් සරසවියේ විද්‍යාඥයන් ඒ සඳහා භාවිතාකර ඇත්තේ ඇසට නොපෙනෙන - නැනෝඅංශු මත රුඳවූ වෛරස ප්‍රෝටීන කොටස්ය. ඒ අන්දමට තැනූ මේනව එන්නත දැන් පර්යේෂණාගාර ක්ෂීරපායී ජිවීන් තුළදී අති සාර්ථක ලෙස ප්‍රතිපල පෙන්වා හමාරය. ඒ පමණක් නොව මේ එන්නත මගින් කොවිඩ් වෛරසයේ වෙනස් වූ මාදිලි සියල්ලටම එරෙහිව ප්‍රතිශක්තිය තහවුරු කරන බවද සනාථ වී ඇත.

මෙහිදී හෙළි වූ අපූර්වතම කාරණය නම් මේ නව එන්නත මඟින් කොවිඩ්19 (SARS-CoV-2) කොරෝනා වෛරස රෝගය පමණක් නොව සාර්ස් (SARS-CoV-1), මර්ස් (MERS-CoV) වැනි අප දැනට දන්නා වෙනත් කොරොනා වෛරස රෝග සඳහාත්, ඉදිරියේදී වවුලන්, වඳුරන් වැනි සතුන් තුළින් අපේ ශරීරගතව අපට වසංගත ලෙඩ දැමිය හැකි වෙනත් කොරෝනා වෛරස සියල්ලටමත් එරෙහිව සාර්වත්‍ර ප්‍රතිශක්තියක් මේ නව එන්නත මඟින් හටගන්වන බවය.

මේ සඳහා ඔවුන් කලින් කර තිබූ නිරීක්ෂණයක් වැදගත් බලපෑමක් කළ බව ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ වෛද්‍ය බාර්ටන් එෆ්. හෙයින්ස් පැහැදිලි කරයි. ඔවුන් කලින් නිරීක්ෂණය කර තිබුණේ එක් වරක් සාර්ස් (SARS-CoV-1) වැළඳී සුව වූ අය තුළ වෙනත් කොරොනා රෝග අටෝරාසියක් සඳහා මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිශක්තියද වර්ධනය වී ඇති බවය. මේ ගැන සිය කණ්ඩායම වැඩිදුර සොයා බැලූවිට ඒ සඳහා හේතුවන්නේ ස්පයික් ප්‍රෝටීනයේ විශේෂ පොදු කොටසක් බව එළදරව්වූයේ යැයි වෛද්‍ය බාර්ටන් එෆ්.හෙයින්ස් පෙන්වා දී තිබේ. මේ විශේෂ ප්‍රෝටීන කොටස බොහෝ කොරෝනා වෛරස තුළ දක්නට ලැබෙන පොදු කොටසක් බවත් මේ නිසා ඒ අංශු යොදා ගනිමින් නිපදවන නව නැනෝ එන්නත, වෛරස ගණනාවකටම එරෙහිව ප්‍රතිදේහ නිපදවීම පෙළඹවීමට සමත් බවත් ඔහු පෙන්වා දෙයි. පසුගිය දශක දෙකක කාලය තුළ කොරොනා වෛරස වසංගත තුනකට මුහුණ දීමට මිනිසාට සිදුවූ බවත් මේ නිසා ඉදිරියේදී පැමිණිය හැකි වඩාත් දරුණු වෛරස රෝග තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මේ එන්නත වැඩිදියුණු කිරිම වැදගත් බවත් ඔහු පෙන්වා දෙයි. 

 සුගත් පී. කුලතුංගආරච්චි