2021 ජුලි 17 වන සෙනසුරාදා

කොතලාවල විශ්වවිද්‍යාල පනත අධ්‍යාපනය විකුණන වැඩක්ද?

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 102

ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වන විට විශාල ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ. එයට විරෝධය පාමින් ශිෂ්‍ය ව්‍යාපාර හා ගුරු සංගම් මෙන්ම මහජනතාවද මේ වන විට විරෝධතා පවත්වමින් සිටිති. මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට දෙවැනි වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව පසුගියදා එකඟ වූ අතර පසුගිය ජුලි 8 දින එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. උද්ඝෝෂණ ඇරඹුණේ ඊට එරෙහිවය.

ආරක්ෂක අංශවල සාමාජිකයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දීම සඳහා ආරම්භ කෙරුණු මෙම විශ්වවිද්‍යාලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිවිල් දරුවන්ටන්ටත් අධ්‍යාපනය ලබා දීම සදහා පුළුල් කිරීමට පියවර ගත් බවත්, රුකියා වෙළඳපොළට සරිලන විනයවත් සිසු පරපුරක් බිහි කරන එම ආයතනය ඉතා ඉහළ ගුණාත්මක බවකින් යුතුව මේ පාඨමාලා සියල්ල සංවිධානය කරන බවත්, නිශ්චිත කාල සීමාවක් තුළ පාඨමාලා අවසන් කිරීම නිසා එයට සිසුන්ගේ හා මව්පියන්ගේ ප්‍රසාදයක් හිමිව ඇති බවත් මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට උපදේශක කාරක සභාව රුස්වූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා  ප්‍රකාශ කර තිබිණි..

‘’මෙම විශ්වවිද්‍යාලය පිළිබඳ පනතේ ආරම්භය 2009 වසර දක්වා දිවයනවා. වසර 12 ක අතීතයක් මෙම පනතට තියෙනවා. විද්වතුන් විශාල පිරිසක් එක්වී මෙය සකස් කරලා නීති කෙටුම්පත් සම්පාදක වෙතටත්, අධ්‍යයන ගණනාවකින් පසු නීතිපතිවරයාටත් යොමුකිරීමෙන් අනතුරුව 2018 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එවකට ආරක්ෂක අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සදහා උත්සහ කළද විවිධ හේතු නිසා ඒ අවස්ථාවේ එය සිදුකරන්න නොහැකි වුණා’’ යැයිද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පවසා තිබේ.. 

පීඨ 11 කින් යුතු, හමුදා සහ සිවිල් සිසුන් 8000 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරන මෙම විශ්වවිද්‍යාලය.  1981 අංක 68 දරන පාර්ලිමේන්තු පනත යටතේ කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස පිහිටුවන ලද්දේ ආරක්ෂක අංශ සමාජිකයින් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහාය. මෙම ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර ඇත්තේ 1988 අංක 27 දරණ සංශෝධන පනත මඟිනි. එයට උපාධි ප්‍රදානය කිරීමේ නෛතික බලය හිමිවූයේ 2007 අංක 50 දරණ සංශෝධිත පනත මගිනි.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නමින් පසුගිය මාර්තු මස 26 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත 2018 වසරේ යහපාලන ආණ්ඩුව සමයේ සකස් කර 2018 අප්‍රේල් මස 11 වැනිදා ආරක්ෂක අමාත්‍යවරයා විසින් ගැසට් කරන ලද්දකි. නව පනත මගින් 1981 අංක 68 දරන පනත අහෝසි වන අතර. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යන නාමකරණය යටතේ තවත් විශ්වවිද්‍යාල, මණ්ඩප, විද්‍යාල, පීඨ ආදිය රට පුරා ආරම්භ කිරීමේ බලය අදාළ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට හිමිවන බව පැවසේ. එසේම වෙනත් දේශීය හෝ විදේශීය ආයතන සමඟ අනුබද්ධව කටයුතු කිරීමේ බලයද එයට හිමි වේ. දැනට මෙරට තුළ සමාගම් පනත යටතේ සමාගම් ලෙස ආරම්භ කර පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාල හා නිල නොවන මට්ටමෙන් පවත්වාගෙන යන පෞද්ගලික විශ්වවිද්‍යාල සියල්ල කොතලාවල විශ්වවිද්‍යාලය යටතට අනුබද්ධ කර පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවත්, පසුගිය කාලය පුරා පෞද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කරගැනීමට ආණ්ඩුවලට තිබු බාධාව සම්පුර්ණයෙන්ම මේ හරහා ඉවත් වීමක් සිදු වන බවටත් ප්‍රකාශ කරන විරෝධතාකරුවෝ මෙම පනත හකුලා ගන්නා ලෙසට රජයට බලකරමින් සිටිති.

අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ උසස් අධ්‍යාපනය පිළිබඳ සියලු බලතල මිලිටරි ව්‍යුහයකට පවරමින්, අධ්‍යාපනය විකිණීම සඳහා මෙම කොතලාවල විශ්වවිද්‍යාල පනත ගෙන එන බවටය. මෙම පනත පළමුවරට ගෙන අවේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් 2018 අප්‍රේල් 26 දින වන අතර එම අවස්ථාවේ  පැන නැගුණු ජනතා විරෝධය හමුවේ පාලකයන්ට පනත හකුළා ගැනීමට සිදු වූ බවත් මෙම ක්‍රියාමාර්ගය රජය නිදහස් අධ්‍යාපනය වළ දැමීමට ගන්නා  පියවරක් බවත්, එබැවින් කෙසේ හෝ මෙම පනත හකුලා ගන්නා තෙක් සටන් කරන බවත් අ.වි.ශි.බ.ම සදහන් කරයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් රජය අපේ රටේ පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ශක්තිමත් කරනවා වෙනුවට මුදලට උපාධි හා ඩිප්ලෝමා ලබා දෙන ආයතන පිහිටුවීමට ප්‍රමුඛතාව දෙනවා. 2007 කොතලාවල ආරක්ෂක පීඨය විශ්වවිද්‍යාලයක් කිරීමට අණපනත් ගෙනාවා. 2018 එය තවදුරටත් ව්‍යාප්ත කරන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පිඹුරුපත් සකස් කළා. ඒ අවස්ථාවේ මතු වූ ශිෂ්‍ය හා ජනතා විරෝධය හමුවේ එය  හකුලා ගත්තා.  දැන් නැවත වෙනත් උපක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. නැවත මුදලට උපාධි ලබා දෙන ආයතන පිහිටුවන්න උත්සාහ කරනවා. නව පනත එන්නේ අධ්‍යාපන අමාත්‍යංශය හරහා නොවෙයි. එය ආරක්ෂක අමාත්‍යංශය හරහා ගෙන ආ පනතක්. මේ පනතෙන් සිදුවන හානිදායක තත්ත්වයන් ගොඩක් තිබෙනවා. 

මේ පනත හරහා අපේ රටේ සාමාන්‍ය විශ්විද්‍යාලවට එහා ගිය මිලිටරිමය මැදිහත්වීමක් යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලයක් බවට මෙය පත් වෙනවා. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සහ රාජ්‍ය සේවයේ නිරතවීමට අපේක්ෂා කරන එවැනි තැනැත්තන්ට සහ වෙනත් තැනැත්තන්ට ශාස්ත්‍රීය සහ වෘත්තීය සුදුසුකම් ලබා දීමේ සඳහා මෙම විශ්වවිද්‍යාල පිහිටුවන බව එහි සඳහන්. මෙහි වෙනත් තැනැත්තන් යන වචන දෙක ඇතුලේ ඕනෑම කෙනෙකුට උපාධි ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. පෙනුමෙන් මෙම ආයතනය ආරක්ෂක අංශවලට උපාධි හා ඩිප්ලෝමා ලබා ගැනීමේ විශ්විද්‍යාලයක් ලෙස පෙනුණත් පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ඇති ජනතා විරෝධය වළක්වා ගැනීම සඳහා හමුදා සේවයේ නිරත අයට උපාධි ලබා දීමේ මුවාවෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමයි මෙහි යටි අරමුණ. 

මෙම විශ්වවිද්‍යාලය පාලනය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ සාමාජිකයන් 9 දෙනකුගෙන් යුතු මණ්ඩලයකටයි.. එහි ප්‍රධානියා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන අතර සෙසු සාමාජිකයන් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුධ, නාවික හා ගුවන් හමුදාපතිවරු, විශ්විද්‍යාලයේ උපකුලපතිවරයා (දැනටත් එහි උපකුලපති වන්නේ හමුදා නිලධාරියෙක්) සහ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හා භාණ්ඩාගාරයේ නියෝජිතයන් දෙදෙනෙක් එයට ඇතුළත්. මින් සිදුවන්නේ සමස්ත පරිපාලනයම මිලිටරිකරණයට නතුවීමයි. එවැනි පසුබිමක් යටතේ විශ්වවිද්‍යාලයක පැවතිය යුතු නිදහස් වාතාවරණය මෙහි පවතින්නේ නැහැ. මුදලට අධ්‍යාපනය ලබා දීම පිළිබඳ වගන්ති මෙහි ඇතුළත් වෙනවා. විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සඳහා මූලික සුදුසුකම් සපුරා තිබිය යුතු බව සඳහන් වුවත් එම බඳවා ගැනීමේ පටිපාටියෙ හා නිර්ණායක කලින් කලට තීරණය කිරීමේ බලය ඉහත කී මණ්ඩලයට පැවරෙනවා. සාමාන්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ පටිපාටියට එහා ගිය ක්‍රමවේදයක් මෙහි අනුගමනය කරනවා. එමෙන්ම මෙයට අනුබද්ධ ආයතන ලංකාවේ ඕනෑම තැනක පිහිටුවීමට හැකියි. උපාධි හා ආචාර්ය උපාධි ලබා දීමට වෛද්‍ය සභාවේ හෝ ඉංජිනේරු ආයතනයේ හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියක් අවශ්‍ය වන්නේ නැහැ.. සියලු තීරණ ඉහත කී මණ්ඩලය යටතේ පවතිනවා. අපේ රටේ අධ්‍යාපනය තුළ බරපතල අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අවස්ථාවක හොර පාරෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලක් ආරම්භ කිරීමටයි මේ සූදානම* යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉහත සඳහන් කාර්යයන් සිදුකිරීමට 1978 විශ්වවිද්‍යාල පනත අනුව නීතිමය බලතල පවතින්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටය.  නව පනත අනුව පිහිටුවන විශ්වවිද්‍යාලය සඳහා 1978 විශ්වවිද්‍යාල පනත හෝ ඊට අදාළ කිසිදු විධානයකට අදාළ නොවන බව එම පනතේම සඳහන් කර ඇත.  රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යයන කටයුතු සම්බන්ධ තීරණ ගනු ලබන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලයේ සනාතන සභාවයි. පරිපාලනමය තීරණ ගනු ලබන්නේ පාලක සභාවය. අධ්‍යයන තීන්දු තීරණ ගැනීමේදී ඒ ඒ විෂයන් සම්බන්ධ ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ගේ අදහස් යෝජනා සැලකිල්ලට ගැනේ. විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුනට එම තීරණ ගැනීමේ අවස්ථා සඳහා සම්බන්ධවීමටත් එම අවස්ථාවන්වලදී සාපේක්ෂ ස්වාධීනත්වයක් සහිතව කටයුතු කිරීමටත් අදාළ වාතාවරණයක් පවතී. එහෙත් නව පනත අනුව ශාස්ත්‍රීය කටයුතු පවා මෙම පනත යටතේ පාලනය වන්නේ අධ්‍යාපන, ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිසිවකුත් ඇතුළත් නොවන හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත මණ්ඩලය මගිනි.

උපාධි, ඩිප්ලෝමා, සහතික පත්‍ර හා වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා ප්‍රදානය කිරීම පිණිස විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලැබිය හැකි යම් අධ්‍යයන තත්ත්වයන්ට වඩා අඩු නොවන අධ්‍යයන තත්ත්වයන්ට අනුකූලව අධ්‍යයන පාඨමාලා හා පුහුණු පාඨමාලා අනුමත කිරීම, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවි, මහාචාර්ය පදවි, සහය මහාචාර්ය පදවි, ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය පදවි, කථීකාචාර්ය පදවි සහ එවැනි වෙනත් තනතුරු ඇති කිරීම අවලංගු කිරීම හෝ අත්හිටුවීම, යම් අනධ්‍යයන තනතුරක් ඇති කිරීම, අවලංගු කිරීම හෝ අත්හිටුවීම, විශ්වවිද්‍යාලයේ යම් අධ්‍යයන හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයක් සඳහා අවශ්‍ය සුදුසුකම් තීරණය කිරීම, විශ්වවිද්‍යාලයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ කාර්ය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දේශීය හෝ විදේශීය ආයතන සමඟ සහයෝගිතා සහ හවුල් සම්බන්ධතා පිහිටුවා ගැනීම, අධිශිෂ්‍යත්ව, ශිෂ්‍යත්ව, ඡාත්‍ර දක්ෂිණ, ශිෂ්‍යාධාර, පදක්කම් සහ වෙනත් ත්‍යාග ප්‍රදානය කිරීම වැනි සියලු කාර්යයන් සඳහා බලතල පැවරෙන්නේ ඉහත කී සාමාජිකයන්ගෙන් සමන්විත බලමණ්ඩලයටය.

විශ්වවිද්‍යාලය තුළ පවතින යම් තත්ත්වයක් ජාතික ආරක්ෂාවට අනතුරුදායක වීමේ නැඹුරුවක් පවතින බවට හෝ ජාතික ප්‍රතිපත්තියට අහිතකර හෝ අගතිදායක බව නැතහොත් එම තත්ත්වය මඟින් විශ්වවිද්‍යාලයේ නිසි ක්‍රියාකාරිතවය බිඳ වැටීමේ නැඹුරුවක් ඇති බවට අමාත්‍යවරයාගේ මතය වන අවස්ථාවක, එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය විය හැකි යැයි ඔහු විසින් සලකනු ලබන සියලු පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් පාලක මණ්ඩලයට විධාන කරනු ලැබිය හැකි බව පනතේ සඳහන්ය.. 

ඉහත වගන්තිය අනුව ශිෂ්‍යයන් පමණක් නොව ආචාර්යවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට යම් අසාධාරණයකදී හඬ නැඟීමේ අයිතිය හා වෘත්තීය අරගල කිරීමේ අයිතිය  පවා මර්දනය කිරීමට ඇමතිවරයාට බලය පැවරේ. මෙය ජාතික ආරක්ෂාව යන්නට මුවා වී අධ්‍යාපනය විකිණීමට හා එයට එරෙහි වන්නන් මර්දනයට නීතිමය බලයක් ලබා ගැනීමක් යැයි මෙම පනතට විරෝධය දක්වන්නන්ගේ මතය වී තිබේ..

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කියා සිටියේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික විශ්වවිද්‍යාලවලින් වෙනස් ආයතනයක් බව විරෝධය දක්වන පිරිස් පළමුව අවබෝධ කර ගත යුතු බවටය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව එවැනි විශ්වවිද්‍යාල අතීතයේත් ස්ථාපනය කර ඇති බව සඳහන් කළ ඔහු බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බුද්ධ ශ්‍රාවක භික්ඛු විශ්වවිද්‍යාලය, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය, සාගර විශ්වවිද්‍යාලය වැනි උසස් අධ්‍යාපන ආයතන ඊට නිදසුන් ලෙස දැක්වීය. වත්මන් ආණ්ඩුව හෙදියන් සහ ගුරුවරුන් සඳහා ද ඒ හා සමාන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා