2021 ජුලි 17 වන සෙනසුරාදා

ලෝක පිළිගැනීමක් ලැබූ කටුනායක මත්තල එයාර්පෝට්

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

කටුනායක සහ මත්තල ගුවන්තොටුපළවල් ලෝකයේ සෞඛ්‍යාරක්ෂිත ගුවන්තොටුපොළවල් හයසීය අතරට එකතු වී සිටී. අන්තර්ජාතික ගුවන් තොටුපළ කවුන්සලය මගින් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ ගුවන් සේවා නැවත ආරම්භ කිරීමේ කාර්යසාධක බළකායේ නිර්දේශයන්ට අනුකූලව ගුවන්තොටුපළ මෙහෙයුම් කටයුතු සිදුකිරීම සහ එහි මාර්ගෝපදේශයන්ට අනුකූලව සෞඛ්‍යාරක්ෂිත පියවරවලට සහ ආරක්ෂක ක්‍රමවේදයන්ට ප්‍රමුඛත්වය දෙමින් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම හේතුවෙන් මෙලෙස සහතිකකරණයට අවස්ථාව උදාකරගෙන තිබේ.

ඒ අනුව මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළට ජූනි මස 28 වැනිදා අන්තර්ජාතික ගුවන්තොටුපළ කවුන්සලය (International Airports Council) විසින් අදාළ සහතිකය ලබාදෙන ලදී.

මෙම සහතිකය ප්‍රදානය කිරීමට පළමුව කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ලෝකයේ ගුවන්තොටුපළවල් ගෙන ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව සොයාබලා ඇති අතර එහිදී මෙම ගුවන්තොටුපළහි සෞඛ්‍යාරක්ෂිතය පිළිබඳව සෑහීමට පත්වීමෙන් පසුව මෙම සහතිකය ලබාදී ඇත.

අපේ රටේ ගුවන්තොටුපළ අභියෝග ජයගෙන ලෝකයේ ඇති අලුත් තත්ත්වයන් සමඟ හැඩගැහිලා ඉදිරියට යන්න බොහෝ මහන්සි වෙනවා. ඒ වෙනුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ සිට සියලුම සේවක සේවිකාවන් විශාල මහන්සියක් දරනවා. තමන් ගමන් ගන්නා ගුවන්තොටුපළ පිළිබඳව මේ වනවිට බොහෝ සංචාරකයන්ට විශාල ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසාම අන්තර්ජාතික ගුවන්තොටුපළ කවුන්සලය (International Airports Council) විසින් ලෝකයේ සෞඛ්‍යාරක්ෂිතව ඇති ගුවන්තොටුපළවල් පිළිබඳව සොයාබැලීම ආරම්භ කළා. ඔවුන් ඒවා සඳහා සහතික නිකුත් කළා. මේ වනවිට මත්තල ජාතික ගුවන්තොටුපළද සංචාරය කිරීමටත් ආරක්ෂා සහිත ගුවන්තොටුපළක් බවට සහතිකයක් ලබාදුන්නා. යැයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.

ලෝකයේ ගුවන්තොටුපළවල ඇති එකම ගෝලීය නියෝජිතයා වන්නේ අන්තර්ජාතික ගුවන්තොටුපළ කවුන්සලයයි. 1991 වසරේදී ආරම්භ කරන ලද මෙය කැනඩාවේ පිහිටා ඇත. ගෝලීය වශයෙන් රටවල් අතර ගුවන් සේවා කර්මාන්තය පිළිබඳව කටයුතු කරමින් සිවිල් ගුවන්සේවා සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන සමඟ ගුවන් තොටුපළ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින මෙම ආයතනය ප්‍රමිති, ප්‍රතිපත්ති සහ ගුවන්තොටුපළ සඳහා නිර්දේශිත භාවිතයන් සහ ගුවන් තොටුපළ සංවර්ධනය පිළිබඳව කටයුතු සිදුකරනු ලබයි. එමෙන්ම ගෝලීය වශයෙන් ගුවන්සේවා කර්මාන්තය ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා තොරතුරු සහ පුහුණු අවස්ථා ලබාදීමද අන්තර්ජාතික ගුවන්තොටුපළ කවුන්සලය මගින් සිදුකරනු ලබයි.

මෙම සහතිකය ලැබීම සඳහා ප්‍රධාන කරුණු කිහිපයක් බලපා තිබෙනවා. දුරස්ථභාවය තබා ගැනීම, විෂබීජහරණය සඳහා අවශ්‍ය නිසි පහසුකම් ලබාදීම, සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව වගේම මගීන්ගේ ආරක්ෂාව, ආහාරපානවල තිබෙන සෞඛ්‍යාරක්ෂිතභාවය වැනි කරුණු පදනම් කොටගෙන මෙම සහතිකය අපිට ලැබුණා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. යැයිද රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම සහතිකය මෙම වසරේ ජනවාරි මාසයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළටද හිමි විය. ලෝකයේ වාණිජ ගුවන්තොටුපළවල් 17,600ක් අතරින් ගුවන්තොටුපළවල් 600කට පමණක් මෙම සහතිකය මේ වනවිට හිමි වී ඇති අතර ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළද මෙම සහතික හිමි ගුවන් තොටුපළවල් අතරට එක්වී ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න