2021 ජුලි 24 වන සෙනසුරාදා

වියදමේ තරමට ආදායමක් සොයාගැනීම

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

වැඩකරන ජනතාව වැඩි වැටුප් ඉල්ලති. ගුරුවරු කරන වර්ජනය එයින් කැපී පෙනෙන එකකි. දීර්ඝ කාලයක් තිස්සේ අනුමත කර ඇති වැටුප් තල සංශෝධනය දිගින් දිගටම ප‍්‍රමාද කිරීම ප‍්‍රශ්නයක් වී තිබේ. සාධාරණ ඉල්ලීමකි. පාසල් වසා දමා ඇති පසුබිම තුළ දරුවන්ට ඉගෙනගන්නට තිබුණ එකම අවස්ථාව වන ඔන් ලයින් ඉගෙනුමට අවහිර වන පරිදි කරන වර්ජනය යුක්ති සහගත නැති බව සියලුම පාර්ශවවල මතය වී තිබේ. වෛද්‍යවරු, හෙද හෙදියන් පමණක් නොව සෑම අංශයකම වැඩකරන ජනතාවගේ ආදායමක් ප‍්‍රමාණවත් නැති කාල වකවානුවකි. පවතින ජීවන වියදම එයට බලකරන සාධකයකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල පවා මිල ගණන් ඉහළය.

ඉල්ලන වැටුප් ගෙවන්නේ කෙසේද? වැඩි වැටුප් සඳහා අමතර මුදල් අවශ්‍යය. ආණ්ඩුවේ වාර්තා දක්වන පරිදි පසුගිය කාලය තුළ ආදායම අඩු වී තිබේ. වියදම ඉහළ නැග ඇත. වැඩකරන ජනතාව වැඩි වැටුප් ඉල්ලන හා සමානව ඒවා ගෙවන්නට ආධාර කරන සේ ඉල්ලා පාරට බහින්නට ආණ්ඩුවකට හැකියාවක් නැත. මෙම පැති කළමනාකරණය කරගන්නේ කෙසේද?

• වැඩි වැටුප් ගැන පවතින විවේචනය

රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පොදු කාරක සභා අවස්ථාවේ මතු වූ කරුණක් ගැන සඳහන් කළ යුතුය. අධික පාඩු ලබන ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ සමහර නිලධාරීන්ගේ වැටුප විස්මිත ගණන්ය. රජයට අයත් ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කොටස් හිමි ලිට්රෝ ගෑස් සමාගමේ ඇතැම් නිලධාරීන් මව් සමාගමටත් වඩා ඉහළින් යැපෙන බව අනාවරණය විය. ඉකුත් සතියේ දේශය පුවත් පත වැදගත් කරුණක් හෙළි කර තිබුණි. ජනාධිපතිවරයා ගේ වැටුප මෙන් හතළිස් ගුණයක් වැඩි වැටුපක් ලැබූ නිලධාරියකු ගැනය. වෘත්තීය තරගකාරීත්වයක් සහිත අංශ තුළ මානව සම්පත සඳහා ඉල්ලුමක් තිබේ. අතිශය වැදගත් තනතුරු වලට ඉතාම ඉහළ වැටුප්, දීමනා හා පහසුකම් සැපයේ. ශ‍්‍රී ලංකාව වැනි මැදි ආදායම් රටකට දැරිය හැකි සීමාවක් ඇත. කොවිඩ් වසංගතය වැනි ලෝක ඉතිහාසයේ නොවූ විරෑ විපතක් අභිමුවෙහි හැසිරිය යුතු රාමුවක් තිබේ. වැටුප් ගෙවන්නට ඉපැයිය යුතුය. ආර්ථික වර්ධනය අඩු වී ක‍්‍රියාකාරීත්වය දුර්වල වනවිට ඉහළම ලංසුවක් තැබීම සුදුසු නැත. 

තරගකාරී ලෙස ආර්ථිකය කළමනාකරණය කරන රටවල් අර්බුදකාරී අවස්ථාවල තීරණ ගන්නා පිළිවෙළක් තිබේ. හොඳ ආදායමක් ඇති සරු කාලවල වැඩිම පහසුකම් සපයන හා වැඩි කාර්ය මණ්ඩලයක් බඳවා ගන්නා අතර මෙහෙයුම් දුර්වල වන විට වැටුප් අඩු කරයි. කාර්ය මණ්ඩලය ඉවත් කරයි. ඇමරිකානු ආර්ථික අර්බුදය අවස්ථාවේ උද්ගත වූ තත්ත්වය හොඳ උදාහරණයකි. නිවාස ණය අය කරගත නොහැකි වූ එරට බැංකු අර්බුදයකට පත් විය. 2007-10 කාලයේ ව්‍යාපාර බිඳ වැටෙන විට සේවකයන් දහස් ගණනින් ආයතනවලින් ඉවත් කළ අතර වන්දි ගෙවීමක් පවා කළේ නැත. ඉතිරි වූ කාර්ය මණ්ඩලවල පවා වැටුප් සෑහෙන ප‍්‍රතිශතයකින් අඩු කළේය. තද ප‍්‍රතිසංස්කරණ කළ අතර පසුව යථා තත්ත්වයට පත්විය. ශ‍්‍රී ලංකාවේ නීති අනුව වන්දි රහිතව සේවකයන් ඉවත් කළ නොහැක. කොවිඩ් කාලයේ රට වසා දමනවිට ප‍්‍රශ්න මතු වූ කර්මාන්ත හා ව්‍යාපාරවලට පවා නියමිත පරිදි සේවක වැටුප් ගෙවීම අනිවාර්ය නියෝග පැනවිණ. ඒ වෙනම සංස්කෘතියකි. 

• රජයේ ආදායමෙන් වැඩිම කොටස වැයකරන තැන

2020 වසරේ පළමු මාස අට තුළ රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 10.7 කි. වියදම සියයට 17.5ක් වී තිබේ. ආදායම සියයට දහයකට මදක් වැඩිවන පසුබිම තුළ වැටුප් වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වහයෙන් සියයට පහක් බව මුදල් අමාත්‍යංශයේ කළමනාකරණ වාර්තාව දක්වයි. ලබාගත් ණය වෙනුවෙන් පොලිය ගෙවීමට වැය කරන කොටස දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 5.4 කි. මෙම කොටස් දෙක එකතු කිරීමෙන් පමණක් රජයේ ආදායම ඉක්මවන තරමට වැටුප් හා පොලී වියදම බරපතළ බව පෙනේ. සාමාන්‍ය පංතියේ වැඩ කරන ජනතාව ජීවත්වීමට සරිලන වැටුපක් නොලබන අවස්ථාවක රජයට අයත් සමහර ආයතනවල වැටුප් තල ජනාධිපතිවරයාගේ වැටුප මෙන් හතළිස් ගුණයක් ඉහළ තැනක තිබීම ප‍්‍රශ්නයක් බව ඉතාම පැහැදිලිය. ආයතන පාඩු ලබන විට ඒවාට වියදම සොයා දෙන මහා භාණ්ඩාගාරය මෙම තත්ත්වය නොදන්නවා විය නොහැකිය. 

මුල්‍ය වාර්තා පෙන්වන පරිදි 2020 වසරේ මුල් මාස අට තුළ වැටුප් හා විශ‍්‍රාම වැටුප් සඳහා ගෙවා ඇති මුදල රු. බිලියන 516.3 කි. 2019 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ එය රු. බිලියන 446.4 ක් ව තිබුණි. ණය පොලිය ද එසේය. 2019 වසරේ මුල් මාස අට තුළ රු. බිලියන 599.6 ක් ගෙවන විට 2020 මුල් මාස අට තුළ ගෙවා ඇති ණය පොලිය රු. බිලියන 653.3 කි. එම කාලය තුළ රජයේ ආදායම සියයට 24.8 කින් පහළ වැටී ඇත. අවදානම් කාල පරිච්ඡේදයක් තුළ අපේක්ෂා කළ යුතුය. සියලු කටයුතු ඇනහිට ජනතාවට පාරට බහින්නට අවසර නැති තැනක තිබිය දී ආදායම වැඩිවිය හැකිද? එම කාලය තුළ වියදම රු. බිලියන 1883.7 කි. කලින් වසරේ සමාන කාලයට වඩා සුළු වශයෙන් වියදම අඩු වී ඇති බව දක්වන නමුත් එය කෙසේවත් සැනසිල්ලට හේතුවක් නොවේ. ආදායම අනුව බලන විට වැඩිම කොටසක් රජයේ සේවක වැටුප් හා විශ‍්‍රාම වැටුප් වෙනුවෙන් බව පෙනේ. රජයේ ආයතන වල අලාභ, රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාව ගැන අහන්නට ලැබෙන විවේචන අනුව මෙවැනි වැටුප් වියදමක් ශ‍්‍රී ලංකාව වැනි රටකට දරාගත නොහැක. එහෙත් ආපසු හරවන්නට හැකියාවක් නැත. සමහර ස්ථර තර්ජනය කර වැටුප් වැඩි කරගන්නා අවස්ථාවක එය දිගින් දිගට සියලුම ස්ථර වලට ආදේශ කරන්නට සිදුවෙයි. ආණ්ඩුවේ ජනප‍්‍රියතාව ආරක්ෂා කරගන්නට නම් ඉල්ලන වැටුප දිය යුතුය. ජනතාව හිර කරන එනම් සෞඛ්‍ය, තැපැල්, දුම්රිය, ගුරු- විදුහල්පති වැනි අංශ බලන්න. පීඩනයෙන් ජනතාව ගලවා ගැනීමට නම් වැටුප් වැඩි කිරීම හැර වෙන කළ හැකි යමක් නැත.

• ආදායම සොයාගන්නා මාර්ගය ගැන විමසුම

රජයට ආදායම හැදෙන තැන් තිබේ. බදු ආදායම එයින් විශේෂිතය. 2020 වසරේ වාර්තා පෙන්වන පරිදි ආදායම් බදු හා රේගු බදු ආදායම ඉතාම බරපතළ ලෙස පහත වැටී තිබේ. වත්මන් ආණ්ඩුව බලයට පැමිණි වහා බදු සංශෝධනය කළේය. උපයන විට ගෙවන බදු සඳහා බලපවත්වන තල වෙනස් කළේය. ලක්ෂ පහක වාර්ෂික ආදායමකට උපයනවිට බදු ගෙවන යටත්ව තිබුණ තලය රු. මිලියන තුන දක්වා නැංවීය. එතෙක් බදු ගෙවමින් සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිදහස් විය. වැට් බද්ද තල දෙකක් දක්වා සීමා කරන ලද අතර ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කළේය. මුදල් අමාත්‍යංශයේ ඉලක්කම් පෙන්වන පරිදි 2020 ජනවාරි අගෝස්තු කාලය තුළ ව්‍යාපාරික ලාභ මත අය කරන බදු ආදායම් ලැබීම සියයට 156 කින් අඩු වී තිබේ. වැට් බදු ආදායම සියයට 73 කින් ද, රේගු බදු ආදායම සියයට 284 කින් ද පහත වැටී ඇත. 2021 දී මෙම තත්ත්වය තවත් දරුණු වී ඇති බව නිසැකය. වාහන ආනයනය නතර කරන අතර සැහෙන භාණ්ඩ ප‍්‍රමාණයක් ගෙන්වීම සීමා කර තිබේ. එහි ප‍්‍රතිඵලය දරුණු වියහැකිය. ආදායම අඩු වී වියදම ඉහළයන විට හිඟය පාලනය කරගත නොහේ. ණය ගැනීමටත් විරෝධය දක්වන වකවානුවකි. ආණ්ඩුව මුදල් අච්චු ගහන බවට කෑගසන අතර බංගලිදේශයෙන්ද ණය ගන්නා බවට විරෝධය මතු කරයි. ආදායම අඩු වියදම ඉහළ නැග ඇති කාලවකවානුවක වෙන කළ හැකි දෙයක් තිබේද?

මානව සංවර්ධන දත්ත අනුව ශ‍්‍රී ලංකාව ඉහළ තැනක සිටී. ජනතාව බුද්ධිමත්ය. ඉහළ දැනුමක් ඇති පිරිස වැඩිම වැටුප් අයිතිකරගෙන රට අර්බුදයකට තල්ලු කරමින් සිටී. සාමාන්‍ය තලයේ රාජ්‍ය සේවකයන්ට කළ හැකි පරිත්‍යාගය කුමක්ද? ඉහළම තලයේ පිරිස් සුඛෝපභෝගීව වැජඹෙන අතර සාමාන්‍ය ජනතාවට පමණක් කැපවෙන සේ බල කිරීම සුදුසුද? රාජ්‍ය සේවයට වැඩි වැටුප් ඉල්ලා තර්ක කළ හැකි නමුත් පෞද්ගලික අංශය ගැටලු සහගත තැනකය. පෞද්ගලික අංශයේ ව්‍යවසාය දැඩි මුල්‍ය විනයකට තල්ලු වී සිටී. සියලු දීමනා කපාහැර ඇත. සමහර ආයතන වෛද්‍ය වියදම් පවා නොගෙවන අතර අතිකාල අහෝසි කර තිබේ. ගමන් වියදම්, ප‍්‍රසාද දීමනා පමණක් නොව වාර්ෂික වැටුප් වැඩි කිරීමද නතර කර ඇත. බැංකු අයිරාවලින් ආයතන පවත්වාගෙන යන අවස්ථාවක සුපිරි ජීවිත ගත කළ නොහැක. පෞද්ගලික අංශයේ ආයතන ප‍්‍රධානීන්ට වැටහෙන කාරණා රාජ්‍ය ආංශයට දැනෙන්නේ නැත. හේතුව කොතැනකින් හෝ මුදල් ලැබීමය. රජයේ බැංකු වලට ණය වී තිබේ. භාණ්ඩාගාරය මුදල් සොයා දෙයි. ඒවා ගෙවන්නේ ණයට ගත් ධනයෙන් බව කල්පනා කරන්නේ නැත. ණය පියවන්නට තව තවත් බදු පැනවිය යුතු අතර දුප්පත් ජනතාව අසරණ වන බව අවධානයට ගත යුතුය. අලුතින් හිතන්නට සාධාරණ පරිසරයක් ගැන කරුණු අවබෝධ කරගන්නට වුවමනා කරන කාලයකි. අගාධයකින් තවත් අගාධයකට ගමන් කිරීම සුදුසු නැත.

 ගාමිණී සරත් ගොඩකන්ද

 

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03