2021 ජුලි 24 වන සෙනසුරාදා

චීන එන්නතට බටහිරින් ඇයි තහංචි?

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

කැනඩාව, සෞදි අරාබිය, සහ යුරෝපා සංගමයට අයත් රටවල් චීනයේ නිෂ්පාදිත සිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් පුද්ගලයන්ට තම රටවලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට වාර්තා වේ. මේ වන විට විවිධ ප්‍රභේදයන්ට ලක්වෙමින් සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය මැඩීමේ හොඳම පිළියම එන්නත්කරණයයි. එහෙත් විවිධ රටවල් එන්නත් බෙදීමක් සඳහා අඩිතාලම දමමින් සිටිනු පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ කිසියම් පුද්ගලයකුට ඇති සංචාරය කිරීමේ හෝ ව්‍යාපාරික කටයුත්තක යෙදීමේ හෝ රුකියාවක් සඳහා විදේශයකට යෑමේ අයිතිය හෝ එන්නත් වර්ග කිරීම හේතුවෙන් අහෝසි වීමය. 

යුරෝපා සංගමය ඔවුන්ගේ ඖෂධ ඒජන්සිය මගින් අනුමත කරන ලද එන්නත් ලබාගත් ඇමරිකානුවන්ට එම රටවලට ඇතුළුවීමට අවසර දීමට සැලසුම් කර ඇති බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. මෙයින් චීන නිෂ්පාදන වන සිනොවැක් හා සිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්හට යුරෝපා රටවලට ඇතුළුවිය නොහැකි තත්ත්වයක් උද්ගතවනු ඇති බව පැවසේ. ගිම්හාන සංචාරක සමයට පෙර යුරෝපා සංගමයට අයත් නොවන සංචාරකයන්ට ගමන් තහනම ලිහිල් කිරීමට යුරෝපා සංගමය මැයි 19 වන දින එකඟ වී තිබිණි. එහෙත් ඔවුන් අනුමත කර ඇත්තේ යුරෝපීය වෛද්‍ය ඒජන්සිය විසින් අනුමත කරන ලද එන්නත් ලාභීන් පමණි. එම එන්නත් වන්නේ  ෆයිසර්, මොඩෙර්නා,  ඇස්ට්‍රාසෙනිකා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්ය. චීනයේ නිෂ්පාදිත එන්නත් ලබා ගත් පුද්ගලයන්ට එම අවස්ථාව හිමි නොවේ. 

සිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන්ට ඇතුළුවීමට අවසර නොදීමට කැනඩාවද තීරණය කර තිබේ.  එහෙත් මේ වන විට එම එන්නත් ලබා ඇති පුද්ගලයන් සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැනඩාව සූදානම්ය. ඔවුන්ට ඇතුළුවීමට අවසර දෙන නමුදු ඔවුන්ට අනිවාර්ය නිරෝධායනයට යටත් වීමට සිදුවේ. කැනේඩියානු බලධාරීන් පෙන්වා දී ඇත්තේ පිළිගත් මාත්‍රාවලින් සම්පූර්ණයෙන්ම එන්නත් ලබා ඇති අය නිරෝධායනය හෝ පීසීආර් පරීක්ෂාවට භාජනය නොවන බවයි.
කැනේඩියානු මහජන සෞඛ්‍ය ඒජන්සියට අනුව, අනුමත එන්නත් වන්නේ ෆයිසර්, මෝ‍ඩෙර්නා, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා, සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ය. කෙසේ වෙතත්, අනුමත නොකරන ලද එන්නත් ලැයිස්තුවට අයත්  වන්නේ භාරත් බයෝටෙක් (කොවැක්සින්, බීබීවී 152 ඒ, බී, සී), කැන්සිනෝ (කොන්විඩේෂියා, ඇඩ් 5 -එන්කොව්), ගමාලයා (ස්පුට්නික් වී, ගැම්-කොවිඩ්-වැක්), සිනොෆාම් (BBIBP-CorV), සිනොෆාම්-වුහාන්, සිනොවැක් (කොරෝනාවැක්, පිකෝවැක්), වෙක්ටර් ආයතනයේ (එපිවැක්- කොරෝනා)  ආදි එන්නත්ය.  

චීන එන්නත් කඩිනම් ප්‍රතිචාරයක් දැක්වුවද සෞදි අරාබිය ද එම එන්නත් ලබාගත් සංචාරකයන්ට තම රටවලට ඇතුළුවීමට අවසර නොදෙන තත්ත්වයක් උදාවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය සතියේ සෞදි අරාබිය සිය සංචාරක සීමාවන් යාවත්කාලීන කරන ලද අතර එයට ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, මෝඩර්නා සහ ජොන්සන් සහ ජොන්සන් යන එන්නත් ලබාගත් අයට පමණක් රටට ඇතුළුවීමට අවසර ලබා දී තිබේ.  පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය සහ මැලේසියානු බලධාරීන් ද මෙම  තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට සෞදි අරාබියෙන් ඉල්ලා තිබේ. 

සිනොෆාම් එන්නත ලබාගත් පුද්ගලයන් අයර්ලන්තයට ඇතුළු වන්නේ නම්, ඩොලර් 1,875 ක වියදමින් හෝටලයක දින 10 නිරෝධායනය වීමට සිදු වේ. ඇස්ට්‍රාසෙනෙකා, ජොන්සන්, මෝඩර්නා සහ ෆයිසර්-බයෝ එන්ටෙක් යන මාත්‍රාවන් දෙකක් ලබා ගත් අයට මෙවැනි තහනමක් නැත.

ඇමෙරිකා එක්සත්ජනපද සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ෆයිසර්, මෝඩර්නා සහ ජොන්සන් සහ ජොන්සන් යන  එන්නත් ලබා ඇති ඇමෙරිකානු ජාතිකයන්ට විදේශ සංචාරවල යෙදීමේ බාධාවක් නොමැති බවයි..  එම ලැයිස්තුවේ චීන එන්නත් පිළිබඳව සඳහන් නොවේ. එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත යෝජනා කර ඇත්තේ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය විසින් අනුමත කරන ලද නිෂ්පාදන වන ෆයිසර්-බයෝටෙක්, මොඩෙර්නා හෝ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට  එම ප්‍රාන්තවල සංචාරය කිරීමට අවස්ථාව ලබා දිය යුතු බවටය.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සිනොෆාම් භාවිතය සඳහා අවසර ලබා දී ඇති අතර එයින් ගම්‍ය වන්නේ මෙම එන්නත ලොව පුරා භාවිතා කළ හැකි බවටය. බ්ලූම්බර්ග් වෙබ් අඩවියට අනුව හොංකොං සිටි විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සහකාර මහාචාර්ය නිකලස් තෝමස් පවසා ඇත්තේ එන්නත් සම්බන්ධයෙන් පැන නැගී ඇති මෙවැනි ගෝලීය බෙදීම් හේතුවෙන් වසංගතය නිසා ඇතිවන  ආර්ථික හා දේශපාලනික බලපෑම් තවත් උග්‍ර කරනු ඇති බවයි. වෛද්‍ය අවශ්‍යතාවයට වඩා ජාතිකවාදය මත පදනම් වූ එන්නත් වර්ග බෙදීමකට ලක් කළහොත්  එමගින් ලෝකයද බෙදීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි ඔහු වැඩි දුරටත් කියා තිබිණි.

පිලිපීනයේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත ආචාර්ය රබීන්ද්‍ර අබයසිංහ කියා තිබුණේ සියලුම කොවිඩ් -19 එන්නත් රෝග පාලනයට හා හා මරණය වැළැක්වීම සඳහා සුදුසු බවත් එහෙයින්  එක් එන්නතක් අනෙක් එන්නතට වඩා වැදගත් යැයි තමන් නොසිතන බවත්ය.

චීනයේ භාවිත කරනුයේ ඔවුන්ගේම එන්නත් පමණි. ඒ අනුව චීන ජාතිකයන්ට ලබා දෙන්නේ  සිනොෆාම් සහ සිනොවැක් එන්නතය. එරට සංඛ්‍යාලේඛන අනුව මිලියන 243 ක ජනතාවකට එම එන්නත් ලබා දී තිබේ. එමෙන්ම පසුගිය මාර්තු මාසය වන විට චීනය සිය එන්නත් මිලියන 115 කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව, බ්‍රසීලය, තුර්කිය, පාකිස්තානය සහ මැලේසියාව ඇතුළු රටවල් 60 කට පමණ බෙදා හැර තිබේ. චීන එන්නත් සම්බන්ධයෙන් පනවා ඇති තහංචි හේතුවෙන් ව්‍යාපාරික හෝ සංචාරක කටයුතු සඳහා නිතිපතා විදේශගත වන චීන පුරවැසියන්ට සහ වෙනත් රටවල පුද්ගලයන්ට තමන් තෝරාගත යුත්තේ කුමන එන්නතද යන්න පිළිබඳ උභතෝකෝටිකයක් මතුවෙමින් තිබේ.  ශ්‍රී ලංකාව වැනි රටවල ජනතාවට රජය මගින් ලබා දෙන කුමන හෝ එන්නතක් ලබා ගැනීමට සිදුව තිබේ. තමන්ට අවශ්‍ය කුමන එන්නතදැයි තෝරා බේරා ලබා ගත නොහැකිය. එහෙයින් බටහිර රටවල් මෙවැනි තහංචි පැනවීමේදී වැඩිදුර සිතාබැලීම වැදගත්ය.

වසංගතය ආරම්භ වූ දා සිට ඩොලර් ට්‍රිලියන 9 ක ගෝලීය සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම ලෙස අක්‍රීය වී ඇති අතර, සංචාරක කර්මාන්තය මත රඳා පවතින රටවල් තම රටවලට තම රටට ඇතුළුවීම සඳහා කුමන එන්නත් වර්ගය ලබාගත් පුද්ගලයන් සුදුසුදැයි තෝරා බේරා සිටිය නොහැකිය. මේ සියලුම එන්නත් කොරෝනා වෛරසය සඳහා ප්‍රතිචාර දක්වන අතර කිසිදු එන්නතක් 100%ක පලදායිතාවක් පෙන්වා නොමැත.

අග්නිදිග ආසියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ප්‍රංශය වැනි රටවල  වසංගතයට පෙර සංචාරය කළ වැඩිම පිරිස චීන ජාතිකයන්ය.  එහෙයින් චීන එන්නත් ලබාගත් සංචාරකයන්ට යුරෝපා රටවලට ඇතුළුවීමට අවසර නොදීමෙන් එම රටවල සංචාරක ව්‍යාපාරයට විශාල හානියක් සිදුවනු ඇත. 

සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශයට අනුබද්ධ සමාගමක් වන චීන සංචාරක ඇකඩමියට අනුව 2019 දී චීන සංචාරකයින් මිලියන 155 ක් විදේශයන්හි ඩොලර් බිලියන 133 කට වඩා වැය කර තිබේ.. ඉන්දුනීසියාව, බාලි සහ තායිලන්තය චීන එන්නත අනුමත කර ඇති අතර, පසුගිය වසර තුළ නවසීලන්තයත් සහ ඕස්ට්‍රේලියාවත්  චීනය සමඟ පැවැත්වූ ආර්ථික සබඳතා අඩාල වී තිබේ. ලොවපුරා සංචාරයේ යෙදෙන ධනවත් චීන ජාතිකයන් පවසන්නේ තමන්ට බටහිර එන්නත් කිසිදාක නොලැබෙන බවත් තහංචි පනවා ඇති  රටවල් චීන එන්නතට අවසර නොදෙන්නේ නම්  තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවත්ය. බටහිර රටවල් චීනයට කෙනෙහිලිකම් කිරීමේ අරමුණින් චීන එන්නත් ලබාගත් පිරිස් එම රටවලට ඇතුළුවීම වැළැක්වීමට උත්සාහ ගන්නේ නම් එය ඔවුනටම පාරාවළලක් වනු ඇතැයි බීජිං හි උපදේශක සමාගමක් වන ට්‍රිවියම් සමාගමේ නියෝජිතයකු ප්‍රකාශ කර තිබේ. චීන එන්නත භාවිත කළ පිරිස මිලියන ගණනක් වන බවත් චීනය නොමැතිව ගෝලීය සංචාරක ව්‍යාපාරය හෝ ආර්ථිකයේ යළි ගොඩනැඟීම අසීරු බවත් ඔහු කියා තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03