නෙල්කා ශිරෝමාලාගේ ජීවිතයේ සිහිනයක් තිබුණි. ඒ කෙසේ හෝ කවදා හෝ දිනෙක ඔලිම්පික් යාමේ සිහිනයයි. ජපානයේ ටෝකියෝ නගරයේ මෙවර පැවැත්වෙන 2020 ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තරග තීරක සහ විනිසුරුවරියක ලෙස කටයුතු කරන්නට ඇයට අවස්ථාව ලැබී තිබේ. මේ අනුව ලංකාවෙන් ඔලිම්පික් විනිසුරුවරියක ලෙස කටයුතු කරන පළමු විනිසුරුවරිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක වන ටී. නෙල්කා ශිරෝමාලා ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක්වූවාය.
කෙසේ වුවද වසර ගණනාවක් තිස්සේ දුටු සිහිනය හැබෑවූ දින ඇගේ ජීවිතයේ අමතක නොවනම මතකයන් ඉතිරිකොට ඇගේ පියා අවසන් හුස්ම හෙලීම දෛවයේ සරදමකි.
පැරිස් නගරයේ පැවැති European Olympic Qualification තරගාවලිය අවසන් වූ දින රාත්රියේදී නෙල්කාගේ සැමියාගෙන් ඇයට දුරකතන ඇමතුමක් ආවේය. ඒ ඇය ඇගේ ජීවිතයේ අසන්නට කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ ආරංචියකි.
“ඔයා කලබල වෙන්න එපා නෙල්කා, තාත්තා හදිසියේම නැතිවුණා...” සැමියා දුන් ආරංචියෙන් නෙල්කාගේ හිත තප්පර ගණනාවක් නතර වූ සෙයක් දැනුණි. ඇගේ හුස්ම හිරවිය. ඇය කාමරයට ගොස් දුක නැතිවෙනතුරු කෑ ගසා හඬා වැටුණාය. ඒත්... බලන්නටවත් බැරි තාත්තාගේ මුහුණ සිහිකොට හඬා හෝ ඒ දුක තුනී කරගන්නට ඇය අපොහොසත් වූවාය.
දැරිවියකට බොක්සිං ක්‍රීඩාව එතරම් සුදුසු වන්නේ නැතැයි හිතන සමාජයක නෙල්කාගේ අත්දෙකට මුලින්ම බොක්සිං ග්ලවුස් දෙක දමන ලද්දේද නෙල්කාගේ පියාණන්ය. “රජරට බොක්සිං” ශූරයා ලෙසින් 70 වැනි දශකයේ විරුදාවලිය ලැබූ සම්පත් තමන්ගේ අඩිපාරේ යමින් බොක්සිං වළල්ලේ ජය කෙහෙලි නංවන තම ආදරණීය දියණියගේ සිහිනය ඔලිම්පික් තරග බිමක සැබෑවනවා දකින්නට ඒ ආදරණීය පියාට ඉඩ ලැබුණේ නැත.
නෙල්කා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක වන්නට මූලික අඩිතාලම වූයේද ඇගේ පියා වූ සම්පත් තම්පෝය. රජරට ක්‍රීඩා සමාජයේ ඔහු දැක්වූ බොක්සිං හැකියාවන් නිසාවෙන් ඔහු නාවික හමුදාවට එක්වී සිටියේය. නෙල්කාගේ පියාද එකල ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලිවලට සහභාගි වෙමින් මෙරටට කීර්තියක් අත්කරදුන් බොක්සිං ක්‍රීඩකයෙකි. වසර විසි දෙකක් නාවික හමුදාවේ බොක්සිං පුහුණුකරුවකු ලෙස කටයුතු කළ සම්පත්ගේ සිහිනය වූයේද තමන් මෙන් තම දියණියද බොක්සිං ක්‍රීඩාවෙන් මෙරටට කීර්තියක් ගෙන එනු දැකීමටය. මෙවර ඔලිම්පික් තරගාවලියේ බොක්සිං තීරක සහ විනිසුරුවරියක් වන නෙල්කාගේ පළමු බොක්සිං ගුරුවරයා වූයේද ඔහුයි.
නෙල්කාට අපූරු පුරුද්දක් තිබුණි. ඇය සහභාගී වන සෑම තරගාවලියකම සිහිවටනයක් ලෙස ලද බොක්සිං ටී ෂර්ටය තම ආදරණීය පියාට පිරිනැමීමය. පැරිස් නුවරට පිටත්ව යාමට පෙර නෙල්කා සුපුරුදු පරිදි තම ආදරණීය පියාට දුරකථන ඇමතුමක් දුන්නාය. පැරිස් තරගාවලියේදී ඇයට ආශීර්වාද කොට එනවිට බොක්සිං ටී ෂර්ටයක් රුගෙන එන ලෙසද නෙල්කාගේ පියා ඇයට ආදරයෙන් මතක් කළේය. නමුත් එය ගෙන එනවිට තාත්තා ගෙදර නැත.
නෙල්කා ශිරෝමාලා ගාල්ල රිපන් බාලිකා විදුහලේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි. 1997 වසරේදී ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ලෙසින් පොලීසියට එක්වූ නෙල්කා බොක්සිං වළල්ලේ ඉතා දක්ෂ ක්‍රීඩිකාවක වූවාය. 2001 වසරේදී පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරගාවලියකට සහභාගි වූ පළමු පොලිස් කාන්තා බොක්සිං ක්‍රීඩිකාව වූවාය.
ඇය 2001 වසරේ සිට 2006 දක්වා වසර පහක් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් බොක්සිං තරගාවලි සඳහා සහභාගි වෙමින් විවිධ දක්ෂතා පොලිසිය වෙත අත්කර දුන්නාය. අඛණ්ඩව වසර පහක් දක්ෂතම බොක්සිං පරාජිත ක්‍රීඩිකාවට හිමි සම්මානයද ඇය දිනාගත්තාය.
2009 වසරේදී ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා වූ බොක්සිං තරග තීරක වශයෙන් සමත්වූ නෙල්කා 2011 වසරේදී පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරග විනිසුරුවරිය වශයෙන් උසස්වීමක් ලබා තිබුණි. ඒ අනුව ජාත්‍යන්තර තරගාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙසින් නෙල්කා හැඳින්විය හැකිය. 2011 වසරේදී ලන්ඩන් නගරයේ පැවැති ඔලිම්පික් පූර්ව තේරීම් තරගාවලිය සඳහා වරම් ලබාගත් නෙල්කා එහි දෙවැනි දිනම අන්තර්ජාතික දෙවැනි පෙළ විනිසුරුවරියක ලෙසද උසස්වීම් ලැබුවාය.
2013 වසරේ ඉතාලියේ කතානියා නගරයේ පැවැත්වූ බොක්සිං තරග තීරක විනිසුරු විභාගයෙන් සමත්ව අන්තර්ජාතික තුන්වැනි පෙළ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලද්දාය. මේ අනුව ශ්‍රී ලංකාවට ඉතා ගෞරවයක් ලබාදෙමින් නෙල්කා ශිරෝමාලා අග්නිදිග ආසියාවේ සහ දකුණු ආසියාවේ පළමු 3 වැනි පෙළ කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාසගත වූවාය. ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය බොක්සිං තරගාවලි විනිශ්චය සඳහා සහභාගි වූ පළමු නියෝජනය වූ අතර ලෝක ශූරතා පිරිමි බොක්සිං තරගාවලි, ලෝක ශූරතා කාන්තා බොක්සිං තරගාවලි මෙන්ම වෙනත් විවිධ ජාත්‍යන්තර බොක්සිං තරගාවලි බොහෝමයක් විනිශ්චය කරමින් ශ්‍රී ලංකා පොලිසියට සහ ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ලබා දුන්නාය.
ශ්‍රී ලංකා පොලීසියට සහ ශ්‍රී ලංකාවට විශාල ගෞරවයක් ලබාදුන් නෙල්කා ශිරෝමාලා 2017 වසරේදී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුට හිමි සම්මානය දිනා ගත්තාය. මේ අනුව ආසියානු කාන්තාවක් විසින් දක්ෂතම බොක්සිං විනිසුරු සම්මානය ලබාගත් ප්‍රථම අවස්ථාව වන්නේද මෙයයි.
විශේෂ කාර්ය සාධක බලකායේ (STF) සේවයේ නියුතු චන්දන වික්‍රමනායක නෙල්කා ශිරෝමාලාගේ සැමියා වන අතර ඇය දියණියකගේ මවකි.
2020 ඔලිම්පික් තරගාවලියේ ඔලිම්පික් තීරක සහ විනිසුරුවරියක ලෙසින් සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා තමන්ගේ මෙන්ම තම පියාගේ සිහිනයද හැබෑකර හමාරය. ඔලිම්පික් බොක්සිං වළල්ලේ හිඳ විනිශ්චය කරනා සැටි දකින්නට ඇගේ පියා ජීවතුන් අතරේ නොසිටියද කොහේ හෝ සිට ඇයට ඔහුගේ ආශීර්වාදය හිමිවනු නොඅනුමානය.
දිශානි ජයමාලි කරුණාරත්න