දිසාපාමොක්වරුන් ගුරු පඬුරු ඉල්ලා සිදු කළ මහා වැඩවර්ජනය තවදුරටත් දික් ඇදුණි. ඔවුහු අගනුවරට විත් මහා වාසල ඉදිරිපිට කල කෝලහල කළහ. අප සංවාදයට තුඩු දී ඇත්තේ ඉතිහාස කතාවක් නොවන බව ඔබ දැනටමත් දනියි. මේ කතාව පසුගිය 12 වැනිදා සිට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇරඹූ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳවයි. වර්ජනය ආරම්භ වූයේ ගුරු සංගම් නායකයන් මර්දනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි. ඒ අනුව ගුරුවරු මාර්ගගත අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වී රට පුරා තවමත් විරෝධතා දියත් කරමින් සිටිති. අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති නමුත් ඒවා අසාර්ථක විය.
ගුරු සංගම් නායකයන් මර්දනය කිරීම ආරම්භයේ දී වර්ජනයට සහ විරෝධතාවන්ට මූලික වූ ප්‍රබලම හේතුව විය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ද ඊට ප්‍රබල සාධකයක්ව තිබුණි. කෙසේ නමුත් වැටුප් විෂමතා පිළිබඳ වූ කතිකාව ආරම්භයේ පටන් ගුරු සංගම් ඉල්ලීම් අතර තිබුණ ද එය ක්‍රමයෙන් කලඑළි දුටුවේ වර්ජන ක්‍රියාමාර්ග දික්ඇදෙන විටය. වැටුප් විෂමතා ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත් කරන්නැයි ගුරුවරු ඉල්ලීම් කළහ. මෙය වූ කලී අදක ඊයෙක සිට පැවත එන ඉල්ලීමක් නොවූ අතර එයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. වර්ජනයේ වර්තමානය හෝ ගුණ දොස් දැකීමට පෙර අප ඊට හේතුව පැහැදිලි කර ගැනීමට උත්සුක වන්නේ ඒ නිසාවෙනි.
මෙම වැටුප් විෂමතාවට 1997 වසරේ සිට විසඳුම් නොලැබීම පැවත එන්නක් බව ගුරුවරු පවසති. 1997 දී බී.සී. පෙරේරා වැටුප් කොමිසම ගුරු සහ විදුහල්පතිවරුන්ට කළ වැටුප් වැඩි කිරීම වැරදි යැයි පවසමින් ඔවුන්ගේ වැටුප් වැඩිවීම පසුව සලකා බැලීමට තීරණය කර තිබේ. කෙසේ නමුත් ගුරු සංගම් පවසන පරිදි එතැන් පටන් නැවත සලකා බැලීමක් මෙතෙක් සිදු වී නැත. 2008 වසරේ ගුරුවරු පිළිතුරු පත්‍ර ඇගැයීම් වර්ජනයක නිරත වූහ. එම කාලයේ දී ශිෂ්‍යයකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබුණි. ගුරු සහ විදුහල්පති සේවය පොදු සේවයෙන් බැහැර කොට වැටුප් සකස් කරන ලෙසට එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දෙනු ලැබීය. එහෙත් එය ක්‍රියාත්මක වූයේ නැත. ගුරු සංගම් ක්‍රියාකාරීන් පවසන පරිදි මෙම අර්බුදය දික්ඇදීමට හේතු ඒ කාලවල පැවති ආණ්ඩු විසින් ගුරුවරුන් නොසලකා හැරීමයි.
මහින්ද රාජපක්ෂ රජය ගුරු වැටුප් විෂමතාව අවම කිරීම සඳහා අයවැයෙන් රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබුණි. එහෙත් එම මුදලවත් තමන් වෙත නොලැබුණු බවට ගුරුවරු චෝදනා කරති. 2019 වසර පුරා අවස්ථා කිහිපයක දී ගුරු විදුහල්පති විරෝධතා සංවිධානය විය. එම අවස්ථාවේ මෙම ගැටලුව විසඳීමට හිටපු ජනාධිපතිවරයා ඇමැති අනු කමිටුවක් පත් කළේය. වැටුප් අර්බුදය විසඳීම සඳහා ගුරු සහ විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කළ යුතු බවටත් ඒ සඳහා කාලයක් ගතවන හෙයින් එතෙක් අතුරු වැටුපක් ලබාදෙන ලෙසටත් එම අනු කමිටුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. එහෙත් එයද ඉටු නොවීය. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේ වත්මන් අධ්‍යාපන ඇමැතිවරයා සමඟ ගුරු සංගම් සාකච්ඡා කළේය. අධ්‍යාපන ඇමැතිවරයා මසක් ඇතුළත මෙම අර්බුදය නිරාකරණය කර දෙන බවට තමන්ට පැවසූ බව ඔවුහු සඳහන් කරති. කෙසේ නමුත් යළි යළිත් සාකච්ඡා සිදුවූ නමුත් අදාළ චක්‍රලේඛනය තවමත් නිකුත් වී නොමැති බව ඔවුහු කියා සිටිති.
මේ අනුව ගුරු වර්ජනයේ සැබෑ හේතුව අපට පැහැදිලි වෙයි. එය සත්‍ය වශයෙන්ම විසඳිය යුතු අර්බුදයකි. කෙසේ නමුත් ගැටලුව ඇත්තේ සිය ඉල්ලීම් දිනාගැනීමට ගුරුවරුන් භාවිත කරන අවස්ථාව සම්බන්ධයෙනි. කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් අධ්‍යාපනය වසර දෙකක් පුරා විධිමත්ව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබේ. සිසුහු දහසකුත් අපහසුතා මැද මාර්ගගත අධ්‍යාපනයට (Online) හුරුවෙමින් සිටිති. එම නිසාම ගුරුවරුන් මේ මොහොතේ සිදු කරන මෙම වර්ජනයෙන් සිදුවූයේ දරුවන් කබලෙන් ලිපට වැටීමක් පමණි. අනික් අතට මේ මොහොතේ ලැබෙන වැටුප පවා අහිමි වූ දහස් ගණනක් මෙරට තුළ සිටින බව අප අමතක කළ යුතු නැත. ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලී සිටියි. ගෞරවනීය බුද්ධිමත් වෘත්තිකයන් පිරිසක් ලෙස තමන් සිදු කරන දෙය පිළිබඳ ගුරුවරුන් නැවත සිතා බැලිය යුත්තේ එබැවිනි.
මෙම වර්ජනය සම්බන්ධයෙන් ගෙවුණු සතියේ ගුරු සංගම් සහ රජය අතර සාකච්ඡා පැවැත්වුණි. එහෙත් අවාසනාවන්ත ලෙස එම සාකච්ඡා අසාර්ථක විය. අධ්‍යාපන අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේදී මෙම ගැටලු විසඳීමට කැබිනට් ප්‍රතිකාවක් ගෙන එන බවට ගුරු සංගම්වලට පොරොන්දු වී තිබේ. කෙසේ නමුත් ගුරු සංගම් කියා සිටින්නේ කැබිනට් ප්‍රතිකාවක් ගෙන ඒමෙන් මෙය විසඳෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවයි. පසුගිය අත්දැකීම් ද හේතුකොටගෙන ඔවුන් සිදු කරන ප්‍රකාශයේ යම් සාධාරණ බවක් තිබේ. එහෙත් අවසන් විසඳුම ලැබෙන තුරු වර්ජනයෙන් ඉවත් නොවීමට ඔවුන් ගෙන ඇති තීරණය මෙරට දරුවන්ගේ අධ්‍යාපනය කෙරෙහි ඉතා අයහපත් ලෙස බලපෑම් කරයි. මේ අතර ආණ්ඩුවට හිතවත් ගුරු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ද ඉදිරියට පැමිණ වර්ජනයේ නියුතු ගුරු සංගම් විවේචනය කරනු ගෙවුණු සතියේ දක්නට ලැබුණි. එය මෙම සමස්ත ගැටලු දේශපාලනීකරණය වීමේ ප්‍රතිඵලයක් විය.
ආරම්භයේ දී වර්ජනය උද්ඝෝෂණ නිරෝධායන නීති අනුව මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කළද මේ වන විට එය අතහැර දමා ඇති බවක් පෙනී යයි. රත්නපුරය, ගාල්ල වැනි නගර කිහිපයක පැවැති උද්ඝෝෂණ පා ගමන් මෙන්ම පසුගිය බ්‍රහස්පතින්දා කොළඹදී පැවති විරෝධතාව ද ඊට උදාහරණ සපයයි. කොළඹ විරෝධය කොවිඩ් වසංගත සමය තුළ සංවිධානය වූ දැවැන්තම විරෝධතාව විය. ඊට දිවයින පුරා ගුරු විදුහල්පති වෘත්තීය සමිති 32 ක් එක්වූ අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව සහ ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ වෘත්තීය සමිති නායකයෝ පමණක් ඊට එක් නොවූහ. ආරම්භයේ දී කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ ගුරු සංගම් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පා ගමනින් ගමන් කළේය. විරෝධතා පා ගමන හේතුවෙන් ලෝටස් පාරේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් පාහේ ඇනහිටිණි. අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණි උද්ඝෝෂකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන සේ විරෝධතාවයේ නිරත වූහ. පසුව තිදෙනකුට ජනාධිපති ලේකම් කාර්යාලයේ සාකච්ඡාවක් ද හිමිවිය.
මෙම දිනය අවසානයේ ගුරු සටන නිමවන බවක් නොපෙනුණි. ගුරු වර්ජනයේ අනාගතය පිළිබඳ අදහසක් ලබාගත හැකි ප්‍රකාශයක් ලංකා ගුරු සංගමයේ ලේකම්, ජෝසෆ් ස්ටාලින් මහතා මෙහිදී සිදු කළේය. ගුරු වර්ජන සම්බන්ධ කතාව නිම කිරීමට අපි ඔහුගේ අදහස මෙසේ උපුටා දක්වමු.
“වෘත්තීමය ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය තමයි අද මේ සාකච්ඡාව. අද අධ්‍යාපන අමාත්‍යවරයා, අධ්‍යාපන ඇමැතිවරයා ලෙස පත්වෙලා මාස 11ක් තිස්සේ කිසිම සාකච්ඡාවක් නෑ. කිසිම වෘත්තීය සමිතියක් හම්බවුණේ නෑ. කිසිකෙනෙක් එක්ක කතාවක් නෑ. අපි ඇමැතිවරයා දකින්නේ රෑපවාහිනියෙන්. ඇමැතිවරයා වැඩ කරන හැටි අපි දන්නේ නෑ. අපිට පුළුවන් වුණා මේ ඔන්ලයින් වර්ජනය හරහා ඔහුව සාකච්ඡා පුටුවකට ගේන්න. සාකච්ඡාවෙන් පස්සේ ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා කියලා තියෙනවා. අපි මේ කැබිනට් පත්‍රිකාව හරහා ප්‍රශ්නය විසඳෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. අපිට අවශ්‍යයි අවසාන විසඳුමක්. ඒ විසඳුම ලැබෙන කල් අපි සූදානමින් ඉන්නවා. මේ සඳහා විවිධ ක්‍රියාමාර්ග යෝජනා වුණා. අපි ඒවා එකක්වත් මඟ අරින්නේ නෑ. හැබැයි මොන ක්‍රියාමාර්ගය යෝජනා වුණත් අවසාන තීරණය එනතුරු අපේ අරගලය සක්‍රීය කරනවා."
අවසානයේ අප කිව යුත්තේ මෙපමණකි. කවුරුන්ද හරි කවුරුන්ද වැරදි කියා තීරණය කරන්නට අපට බැරිය. එහෙත් මේ මහා යාගයේ බිල්ල නම් ජාතියේ දුවා දරුවන්මය. දරුවන් වෙනුවෙන් පාලකයන්ට ද දරුවන් වෙනුවෙන් ගුරුවන්ටද අප සිහිපත් කළ යුතු එක දෙයකි. ගුරුවරුන් ලබන්නේ වැටුප් නොව පඬුරුය.
චමිඳු නිසල් ද සිල්වා