2021 ජුලි 24 වන සෙනසුරාදා

දශක හයක් මහැදුරුකම් කළ විශිෂ්ටයා

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 254

“අද තරුණ සමාජය නීතිරීතිවලට  අකමැති බවක් පේනවා. වැඩිදෙනා යන පාරේ යාමට ඇති අකැමැත්ත, කැපී පෙනීම සඳහා වැඩිදෙනෙක් යන මාර්ගයෙන් ඉවත්ව ගමන් කිරීමට පෙළඹීම වගේ දේවල් දකින්න පුළුවන්. මේක භාෂාව සම්බන්ධයෙනුත් බලපාන බව මට පේනවා.

මේ හේතුව නිසා කාලාන්තරයක් තිස්සේ අනුගමනය කළ නීතිරීති, ප්‍රතිපත්ති, අක්ෂර වින්‍යාසය, වගේ හැමදෙයකින්ම පිටපැන යාමට සමහරුන්ගේ කැමැත්තක් ඇති බව පේනවා. තවත් සමහරු කියනවා “ලියන එක කොහොම ලිව්වත් කමක් නැහැ, අනික් අයට තේරෙනවා නම්* කියලා. වැඩිපුර පාඨක සිත් ගැනීමට, විශේෂත්වයක් ඇතිකර ගැනීමට නම් වෙනස් පාරක යන්න ඕනෑ කියලා සමහරු හිතනවා. ඉතින් වැඩිදෙනෙක් මේ වෙනස් මාර්ගය විදිහට තෝරාගන්නේ භාෂා රීතිවලින් පිට පැනීමයි.
&භාෂාව ඕනෑ කරන්නේ නිරවද්‍ය සන්නිවේදනය සඳහායි. භාෂාව භාවිත කළ යුත්තේ අදහසක් නිවැරදිව තවත් කෙනෙකුට සන්නිවේදනය කිරීමටයි. ඒකට තමයි ඡේඛ ප්‍රයෝග කියලා හඳුන්වන රීති සම්ප්‍රදායක් තිබෙන්නේ.”

2017දී ලියුම්කරු සමඟ කළ සාකච්ඡාවක දී මහාචාර්ය විමල් ජී. බලගල්ලේ දැක්වූ අදහස් කිහිපයක් එසේ නැවත ගෞරවයෙන් සඳහන් කළේ එම පඬිවරයාගේ අභාවය පිළිබඳ සටහනක් තැබීම සඳහායි. දේශය පුවත්පතේ නමෙහි ගණ පිළිබඳව පරීක්ෂා කර කරුණාවෙන් එහි ගුණාගුණ පැහැදිලි කර දුන්නේද මහාචාර්ය බලගල්ලේ බව පැවසිය යුතුය.

මෙරට පහළ වූ පෙරදිග භාෂා ශාස්ත්‍රය පිළිබඳ පඬිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ සිංහල භාෂාවේදියකු වූ මහාචාර්ය විමල් ජී. බලගල්ලේ මහතා පසුගිය 16දා දිවි ගමන නිමකළ අතර අවසන් කටයුතු 17දා මහරගම ගොඩිගමුව සුසාන භුමියේදී සිදුකෙරුණි. මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ  මියයන විට 96 වැනි වියෙහි පසුවිය.

විද්‍යෝදය හෙවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 1959 පෙබරවාරි 19දා  ආරම්භ වූ අවස්ථාවේම ඊට සම්බන්ධ වී එහි සිංහල අධ්‍යයන අංශයේ ඔහු සේවය කළ කාලය අවුරුදු 32කි. මහාචාර්ය බලගල්ලේ  1990 සැප්තැම්බර් 30දා  විශ්‍රාම ලැබුවේය. ඉන්පසු ඔහුට විශ්වවිද්‍යාලය මගින් සේවාර්ජිත මහාචාර්ය පදවියක් ද පිරිනමා තිබුණි. මහාචාර්ය විමල් ගුණසේකර බලගල්ලේ සිංහල, පාලි, ප‍්‍රාකෘත, සංස්කෘත, වංග ආදී පෙරදිග භාෂා සාහිත්‍යයන් පිළිබඳවත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග‍්‍රගණ්‍ය පඬිවරයකු වශයෙන් විද්වත් ලෝකයෙහි සම්භාවනාවට පාත‍්‍ර වී සිටි නිහතමානී චරිතයකි. 

ඔහු වාග් විද්‍යාව පිළිබඳ විශිෂ්ට  පර්යේෂණ රාශියක් කළ විද්වතෙකි. වරෙක මහාචාර්ය බලගල්ලේම ඒ  ක්ෂේත්‍රය ගැන පවසා ඇත්තේ මෙලෙසයි:

“වාග් විද්‍යාව කියන විෂයයයේ තේරුම භාෂා අධ්‍යයනය කියන එකයි. එය එක භාෂාවක් අධ්‍යයනය කිරීමක් වෙන්න පුළුවන් වගේම භාෂා ගණනාවක් ගැන අධ්‍යයනය කිරීමක් වෙන්නත් පුළුවන්. මම සිංහල භාෂාව මුල් කරගෙනයි එම අධ්‍යයනය කළේ. භාෂා අධ්‍යයනය ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකින් යුක්තයි. පළමුවැනි කොටස   ඓතිහාසික භාෂා අධ්‍යයනය. දෙවැනි කොටස සමකාලීන භාෂා අධ්‍යනය.”

• විශ්වවිද්‍යාලයීය ජීවිතය

විමල් බලගල්ලේ 1959දී මුලින්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට සම්බන්ධ වුණේ  විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරි සහ සිංහල පිළිබඳ කථිකාචාර්ය යන නතතුරුවලටයි. ඒ සඳහා ඔහුට මඟපෙන්වා ඇත්තේ වැලිවිටියේ සෝරත නායක හිමියන් විසිනි. ඒ වනවිටත් ඔහු විද්‍යොදය පිරිවෙනේ ඉගැන්වූ නිසා ඔහුගේ භාෂා කුසලතා සහ පර්යේෂණ රුචිය සෝරත හිමියෝ හොඳින්ම දැන සිටියහ. 1959 වර්ෂය තුළදීම සිංහල මහාචාර්ය සහ අධ්‍යයනාංශ ප‍්‍රධාන ධුරයන්ටද ඔහු පත් කෙරේ. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 35කි. එම මහාචාර්ය ධුරය පුරා දෙතිස් වසරක් ඔහු දැරුවේය. ඒ තනතුරු දරන අතරෙහිම වරින්වර භාෂා පීඨාධිපති, ශාස්ත‍්‍ර පීඨාධිපති, මණ්ඩපාධිපති, වැඩබලන උපකුලපති යන තනතුරුද දරමින් සරසවියට ශාස්ත්‍රීය වශයෙන් පමණක් නොව පරිපාලන වශයෙන්ද විශාල සේවයක් කර තිබේ. මේ ඔහු පිළිබඳව අභාවප්‍රාප්ත මහාචාර්ය ඒ.වී. සුරවීර කලකට පෙර සඳහන් කළ අදහස් බිඳකි.

මා එතුමන් මුලින් දැන හැඳින ගත්තේ 1952 වර්ෂයේදී පමණ අප දෙදෙනා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ව සිටියදීය. එකම වර්ෂයේ නොවූවත් අප දෙදෙනා සිංහල ගෞරව උපාධිය හදාරන විද්‍යාර්ථීන් වූ හෙයින් අපේ හිතවත්කම්වල අඩුවක් නොවීය. මා කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස කටයුතු කරද්දී අලුත පිහිටුවනු ලැබූ විශ්වවිද්‍යාලයේ තොරතුරු දැන ගැනීමේ මෙන්ම අප මිතුරාගේ සුවදුක් දැන ගැනීමේද අටියෙන් දිනක් මම එදා විශ්වවිද්‍යාලයේ කටයුතු කෙරුණු මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ගොඩ වැදුණෙමි. අපේ පරණ සම්බන්ධය අලුත් වීමේ ප‍්‍රතිඵලය වූයේ මා 1960 ජනවාරියේ 01දා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස පත්වීම ලැබීමය.
මහාචාර්ය බලගල්ලේගේ මෙහෙයවීම මත විශ්වවිද්‍යාලයේ සේවයට එක්වූ මහාචාර්ය ඒ. වී. සුරවීර ද විශාල ශාස්ත්‍රීය සේවයක් කළ විද්වතෙකි. 

• ජීවන තොරතුරු

මහාචාර්ය බලගල්ලේගේ උපන් ගම ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටියට නුදුරු බලගල්ලයි. 1924 නොවැම්බර් මස 24 වැනිදා උපත ලැබූ ගුණසේකර බලගල්ලේ නම් දරුවාගේ පියා කන්නංගර පතිරන්නැහෙලාගේ පීරිස් අප්පුහාමියි. මව එන්සො නෝනා රණසිංහ වූවාය. සිව් හැවිරිදි වියේදී පියා විසින් අතපොත් තබා අකුරු කරවනු ලැබීමෙන් පසු ඔහු පාසලට ඇතුළත් කර ඇත්තේ පස් හැවිරිදි වියේදීයි. මුලින්ම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා නිවස අසල පිහිටි උල්ලලපොළ විද්‍යාතිලක බෞද්ධ පිරිමි පාසලට ඇතුළු කෙරිණ.   සැම පන්තියකම ප‍්‍රථම ස්ථානය දිනා ගනිමින් ඉගෙනීමේ කටයුතු කරගෙන ආ ගුණසේකර සිසුවා 1938දී එකල රජය මගින් පවත්වනු ලැබූ කනිෂ්ඨ පාඨශාලා සහතිකපත‍්‍ර (ජේ.එස්.සී.) පරීක්ෂණයේදී ප‍්‍රථම පන්ති සාමර්ථ්‍යයක් ලබා ගැනීමට සමත් විය.  ඒ වර්ෂයෙහිම පැවති දිස්ත්‍රික් පාඨශාලාන්තර ගද්‍ය පද්‍ය ප‍්‍රබන්ධ තරගයකට ‘වැරදී ගිය උපක‍්‍රමය’ නමින් කෙටි කතාවක් ඉදිරිපත් කළ ඔහුට එහි ප‍්‍රථම ස්ථානය හිමි විය.    

1938 වර්ෂයේ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු ඇතුළත් වන්නේ පල්ලේවෙල වික‍්‍රමශිලා පිරිවෙනවයි. වික‍්‍රමශිලා පිරිවෙනෙහි රැඳී ඉගෙන ගන්නා කාලයේ එහි අධ්‍යක්ෂ තනතුර දැරුවේ කොළඹ විද්‍යෝදය පිරිවෙනේ උපප‍්‍රධානාචාර්ය කුකුල්නාපේ දේවරක්ඛිත හිමිපාණෝ වෙති. ඒ හිමියන්ගේ පාණ්ඩිත්‍යයේ ඇසුරද ඔහුට හිමි විය. පිරිවෙනේදී  ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත‍්‍ර (එස්.එස්.සී.) විභාගයටද  සූදානම් වන අතර ප‍්‍රාචීන භාෂා අධ්‍යයන සම්පූර්ණ වීම සඳහා වංග භාෂාවද ප‍්‍රගුණ වංග භාෂාවද ඉගෙන ගත්තේය. එවකට සුප‍්‍රකට ජ්‍යොතිර්වේදියකු වූ එස්.ඩබ්ලිව්. කස්තුරිරත්න වෙතින් පිරිවෙනේදීම ජ්‍යොතිර් විද්‍යාවද හදාරා තිබේ.

1945 වර්ෂයේදී උසස් අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඔහු ඇතුළත් විය. එවකට සිටි විශිෂ්ට පඬිවරු රැසක්ගේ ඇසුර එහිදී ලැබුණි. සිංහල, පාලි, සංස්කෘත, ප‍්‍රාකෘත යන භාෂාසාහිත්‍යයන් සහ ධර්මවිනය, තර්කන්‍යාය, ඡන්දෝලංකාර, ඉතිහාසය, පුරාවිද්‍යාව යන විෂයන් සහිත පිරිවෙන් අධ්‍යාපනය 1949 වර්ෂයේදී නිම කළ අතර හොඳම ශිෂ්‍යයාට පිදෙන ‘ශ්‍යාමරාජ’ ත්‍යාගයද දිනා ගත්තේය.

1950 වසර මුලදී පැවැති ප‍්‍රාචීන අවසාන (පණ්ඩිත උපාධි) විභාගයට පෙනී සිට වැඩිම ලකුණු ලබාගෙන ‘ප‍්‍රාචීන ස්වර්ණ මුද්‍රිකාව’ද දිනා ගැනීමට සමත් විය. 1951දී ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ජ්‍යෙෂ්ඨ විභාගයට පෙනී සිට ඉන් සමත්වීමට අවස්ථාව හිමිවිය 1952 දී පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. ඔහු විශ්වවිද්‍යාලයේදී වැඩි උනන්දුවක් දැක්වූයේ ඉංග්‍රීසි පොතපත කියවා දැනුම වර්ධනය කර ගැනීමටය. 1956 දී බී.ඒ. ගෞරව විභාගයෙන් උසස් සාමර්ථ්‍යයක් හිමි විය.  ඒ සමගම ඔහුට විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ධුරයකට ආරාධනයක් ලැබිණ. මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සූරීන්ගේ භාෂා ශාස්ත‍්‍ර  වර්ධනයට කුකුල්නාපේ දේවරක්ඛිත, බොරුග්ගමුවේ රේවත, බද්දේගම පියරතන, වැලිවිටියේ සෝරත, පලන්නොරුවේ විමලධම්ම, දෙහිගස්පේ පඤ්ඤාසාර,  කලුකොඳයාවේ ප‍්‍රඥාශේඛර ආදි වූ විශිෂ්ට වියතුන්ගේ ඉගැන්වීම් ඉවහල් වී තිබේ.

පෙරදිග හෙවත් ප‍්‍රාචීන භාෂා විෂයෙහි  ඔහුගේ  විශිෂ්ට ඥානය ප‍්‍රකට කෙරෙන කෘතීන්  සහ ශාස්ත්‍රීය ලිපි රාශියක් පළකෙරිණි. එම පොත් අතර පඤ්චතන්ත‍්‍ර අනුවාදය (1950), සිංහල ස්තූපවංශය සංස්කරණය (මහාචාර්ය විමල විජයසූරිය සමග, 1964) ආදී පොත් හා ‘න්‍යාය බින්දුව හා බෞද්ධ න්‍යාය’ (සාහිත්‍යෝදය, 1949), ‘නූතන අර්ථ විචාරය හා පුරාතන භාරතීය අර්ථ විචාරවාද’, ජී. බී. සේනානායක ප‍්‍රහාෂණය, (1985), ‘පැරණි ඉන්දියාවේ සාහිත්‍ය විචාරය’ (සාහිත්‍යය, 1958), ‘ලක්දිව ප‍්‍රචලිත වූ සාහිත්‍ය ශාස්ත‍්‍රය හා අර්ථවිචාරය’ (විද්‍යෝදය: විද්‍යා කලා භාෂා ශාස්තී‍්‍රය සංග‍්‍රහය, 1978” ආදි ලිපි මුල් තැනේලා සඳහන් කළ හැකිය. 1958දී පළ වූ පාහියන්ගේ දේශාටන වාර්තාව නම් පරිවර්තන ග‍්‍රන්ථයට යුනෙස්කෝ සාහිත්‍ය ත්‍යාගය හිමි විය.

• සරසවියේ ශාස්ත්‍රීය ජීවිතය

1956දී බලයට පත් බණ්ඩාරනායක ආණ්ඩුව පිරිවෙන් විශ්විද්‍යාල බවට පත් කිරීමේ තීරණය ක්‍රියාත්මක කරමින් සිටියේය. ඒ අනුව විද්‍යෝදය විශ්වවිද්‍යාලය ද බිහිවීමට නියමිත විය. විද්‍යෝදය පරිවෙණාධිපති ධුරය දැරූ වැලිවිටියේ සෝරත නාහිමියන්ට සහාය වෙමින් ක්‍රියාකළ විමල් බලගල්ලේ 1959 පෙබරවාරි 19 වැනිදා විද්‍යෝදය විශ්වවිද්‍යාලය නිල වශයෙන් ආරම්භ කෙරුණ අවස්ථාවේ සිට එහි විභාග කටයුතු භාර සහාය ලේඛකාධිකාරි තනතුරට පත් වූයේය. ඊට අමතරව සිංහල පිළිබඳ කථිකාචාර්ය ලෙසින්ද කටයුතු කළ ඔහු ඒ වසරේ මැයි මාසයේදී සිංහල අංශ ප්‍රධාන ධුරයටද ඔක්තෝබර් 1 දින සිට සිංහල පිළිබඳ මහාචාර්ය සහ අධ්‍යයනාංශ ප‍්‍රධාන ධුරයන්ටද පත් විය. 

1961 දී යුනෙස්කෝ අධිශිෂ්‍යත්වයක් මහාචාර්ය බලගල්ලේට හිමි විය. එංගල්නතයට ගිය ඔහු ඒ වසරේ ඔක්තෝබර් සිට 1963 දෙසැම්බර් දක්වා ලන්ඩන් විශ්වවිද්‍යාලායේ වාග්විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පර්‌ යේෂණ කටයුතුවල නිරත විය. 1963 දී ලංකාවට පැමිණ නැවතත් විද්‍යොදය විශ්වවිද්‍යාල සිංහල අංශයේ කටයුතුවලට එක් විය.

ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හිමිවන සප්ත වාර්ෂික නිවාඩුව කිසිදින නොගත්තේය. ඒ කාලයත් ජපුර සරසවියේම සිසුන්ට ඉගැන්වූයේය. 1988 වර්ෂයේදී තුන් මසක කෙටි නිවාඩුවක් ලබාගෙන ලන්ඩන් විශ්වවිද්‍යාලයේ භාෂා විද්‍යාගාරය ඇසුරින් සිංහලයේ ශබ්ද විචාරාත්මක ගැටලු කීපයක් පිළිබඳව පර් යේෂණයක නිරත විය.

1984දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති රජත ජයන්ති උපාධි ප්‍රදානෝත්සවයේදි මහාචාර්ය බලගල්ලේගෙන් විශ්වවිද්‍යාලයට වූ සේවාව අගයමින් ඩි.ලිට්. (සම්මාන) ආචාර්ය උපාධිය පිරිනැමිණි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගැන්වුවද අනෙක් විශ්වවිද්‍යාලයවලටත්, ප‍්‍රාචීන භාෂෝපකාර සමිතිය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ආදි ආයතනවලත් උසස් විභාග කටයුතුවලදී ඔහුගේ සේවය අත්‍යවශ්‍ය විය. ඔහු යටතේ ශිල්ප හදාරා ශාස්ත‍්‍රවේදි, ශාස්ත‍්‍රපති සහ දර්ශනසූරී උපාධි ලැබූ උගතුන් සංඛ්‍යාව අතිවිශාලය. 

විශ්වවිද්‍යාලයෙන් පරිබාහිර ශාස්ත්‍රීය මණ්ඩල රාශියක සම්මාන උපදේශකත්වය සහ සාමාජිකත්වය ඔහු දැරුවේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලය, අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප‍්‍රකාශන උපදේශක මණ්ඩලය, පාරිභාෂික ශබ්දමාලා උපදේශක මණ්ඩලය, සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලය, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම, බුද්ධ ශ‍්‍රාවක ධර්මපීඨ විෂය නිර්දේශ සම්පාදක මණ්ඩලය ආදිය ඉන් කීපයකි. බලගල්ලේ මහාචාර්යතුමාගේ නම සිංහල ශබ්දකෝෂකයටද නැතිවම බැරිවිය. සිංහල ශබ්දකෝෂ උපදේශක මණ්ඩලයෙහි සේවය කිරීමට අමතරව ඔහු සිංහල ශබ්දකෝෂයේ ප‍්‍රධාන කර්තෘ ධුරයද කලක් දැරුවේය.

මහාචාර්ය ඒ.වී. සුරවීර ඔහුගේ ශාස්ත්‍රීය කෘති ගැන දක්වා ඇත්තේ මෙවන් අදහසකි. මා එතුමා වෙත වරින්වර යෝජනා කළ කරුණක් වූයේ, ඒ කරගෙන ගියා වූ කටයුතුවලට අමතරව, ස්වකීය අධ්‍යාපන ඥාන සම්භාරය වාර්තාගත කෙරෙන පරිදි, මතු පරපුරේ ප‍්‍රයෝජනය සඳහා ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ කිහිපයක් සම්පාදනය කරන ලෙසය. එතුමා විවිධාකාර හේතු දක්වමින් එය අතපසු කෙළේය. කෙසේ වෙතත් 1990 අගදී විශ‍්‍රාම ලැබීමෙන් පසු ඒ යෝජනාවට එතුමාගේ අවධානය යොමු වූයේය. එතැන් පටන් එතුමාගේ විෂය ක්ෂේත‍්‍රය වන වාග්විද්‍යාව හා භාෂා අධ්‍යයනය මුල් කර ගෙන ප‍්‍රාමාණික ග‍්‍රන්ථ කිහිපයක් සම්පාදනය කරනු ලැබීම අපේ භාෂා සාහිත්‍යයේ භාග්‍යයකි. භාෂා අධ්‍යයනය හා සිංහල ව්‍යවහාරය, සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය ආදියත් සිංහල භාෂාධ්‍යයන ලිපි 1 නමින් සංගෘහීත ශාස්ත‍්‍රීය නිබන්ධ මාලාවත් ඉන් කිහිපයක් පමණි.

බලගල්ලේ සූරීන්ගේ සුවිශේෂ ශාස්තී‍්‍රය මෙහෙවර වී ඇත්තේ සාම්ප‍්‍රදායික සිංහල, පාලි, සංස්කෘත භාෂා ශාස්ත‍්‍ර පිළිබඳ වූ දැනුම් සම්භාරය නූතන වාග්විද්‍යා විෂයය අනුව භාවිතයට ගනිමින් ශාස්ත‍්‍රලෝකය සඳහා කළ සංග‍්‍රහ බව මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සඳහන් කර සිටී.  එතුමන්ටද ආචාර්ය වූ මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි සහ මහාචාර්ය ඩී.ජේ. විජේරත්න යන විද්වතුන් විසින් ඇරඹුණු මෙම සුවිශේෂ මෙහෙවර බලගල්ලේ සූරීන් අතින් නව මං ඔස්සේ විහිදී ගිය බැව් කිවයුතු බවත් මහාචාර්ය ධර්මදාස සඳහන් කරයි. 

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව I අන්තර්ජාලයෙන්