2021 ජුලි 24 වන සෙනසුරාදා

මුරලිගේ දුස්රාවට මැතිව්ස් හා දිමුත්ගෙන් ප්‍රහාර

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය අතර වාර්ෂික කොන්ත‍්‍රාත්තුව සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදය එකම කණ්ඩායමේ ක‍්‍රීඩා කළ ප‍්‍රබල ක‍්‍රීඩකයන් විරසක කරන තත්ත්වයට පත්ව තිබේ.

හිටපු සුපිරි දඟපන්දු යවන ක‍්‍රීඩක සහ වර්තමාන ක‍්‍රිකට් උපදේශන කමිටු සාමාජික මුත්තයියා මුරලිදරන් ප‍්‍රධාන රෑපවාහිනී නාලිකාවකදී කළ ඇතැම් ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු නායකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න ලිඛිතව පිළිතුරු සැපයීමත් සමඟ මෙම තත්ත්වය උද්ගත වී තිබේ.

මෙවැනි සිද්ධියක් සම්බන්ධයෙන් එකම කණ්ඩායමේ ක‍්‍රීඩාකළ ක‍්‍රීඩකයන් විරසකයට පත්වීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතයට එතරම් සුබදායි නොවේ.

එකට ක‍්‍රීඩාකළ තමන් සම්බන්ධයෙන් මෙවැනි ප‍්‍රකාශයන් කිරීම පිළිබඳව දැඩි කණගාටුව පළකරන බවත් මුරලිදරන් වැනි ලොව පිළිගත් ක‍්‍රීඩකයකු එවැනි ප‍්‍රකාශ කිරීම නොගැළපෙන බවත් ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න සිය ලිපියේ සඳහන් කර තිබේ. එහිදී එම දෙපළ ‘ආදරණීය මුරලි අයියා’ ලෙස ලිපිය ආරම්භ කර තිබීම වඩාත් කැපී පෙනේ. ඉංග‍්‍රීසි භාෂාවෙන් යොමුකර තිබූ එම ලිපියේ පරිවර්තනය කළ කොටසක් පහත දැක්වේ.

ආදරණීය මුරලි අයියා,

ඔබ රූපවාහිනී නාලිකාවකදී වාර්ෂික කොන්ත‍්‍රාත් ගැටලුව පිළිබඳ ඉදිරිපත් කළ කරුණු නිවැරදි නොවේ. එවැනි චෝදනා අපි ප‍්‍රතික්ෂේප කරමු. සිදුවීම්වල නිවැරදි අනුපිළිවෙළ පිළිබඳව ඔබට නිසි ලෙස දැනුම් දී නොමැති බව හෝ වැරදි තොරතුරු ලබාදී ඇති බව අපට හැඟේ. එම රෑපවාහිනී වැඩසටහන ආරම්භයේ සිටම ඔබ හැඳින්වූ සමස්ත කණ්ඩායම සම්බන්ධයෙන් ඔබ විශාල අසතුටක් හා වෛරයකින් පසුවන බව පෙනුණි. මෙම සජීවී රෑපවාහිනී වැඩසටහනේදී කණ්ඩායම සහ අප අපහාසයට ලක්කිරීම අවාසනාවකට මෙන් සමාජ සම්මතයන්හි පිළිගත හැකි ප‍්‍රමිතීන්ට වඩා පහළ මට්ටමක පවතින අතර එය හුදෙක් වෘත්තීයමය නොවන බව සැලකිය හැකිය.

2011 වසරේදී මාස 15ක් කිසිදු ගෙවීමකින් තොරව රට වෙනුවෙන් ක‍්‍රීඩාකළ කණ්ඩායමේ අප සිටි බව ඔබට මතක තිබේ. මෙම අවස්ථාවෙහිදී ද 2020 ඔක්තෝබර් මාසයේ සිට සියලුම ක‍්‍රීඩකයෝ ප‍්‍රධාන කොන්ත‍්‍රාත්තු නොමැතිව ක‍්‍රීඩා කළහ. අපි හැමවිටම අපේ රට වෙනුවෙන් ක‍්‍රීඩා කළෙමු. ආරවුල් ඇති වූ විට ක‍්‍රීඩකයෝ සැමවිටම එක්ව සිටියහ. අතීතය සහ වර්තමානයද ඉදිරිපත් කළ යුතුය.

මෙම වසරේ ක‍්‍රීඩකයන්ට කොන්ත‍්‍රාත්තුව ලබාදීම අවශ්‍යම නැතැයි මෙම රෑපවාහිනී සාකච්ඡාවේදී මුරලිදරන් පැවසීය. එම ප‍්‍රකාශය විශේෂයෙන්ම මැතිව්ස් සහ දිමුත් විවේචනය කර තිබුණි. එහිදී මුරලිදරන් පුන පුනා ප‍්‍රකාශ කළේ මෙම කොන්ත‍්‍රාත් ප‍්‍රශ්නය මුදල් කෑදරකම බවයි. මැතිව්ස් සහ දිමුත් එයට පිළිතුරු සපයමින් 2011 වසරේ සිද්ධියක් ඇතුළු සිද්ධි රැසක් සිහිකර තිබුණි. 

හිටපු වේගපන්දු යවන ක‍්‍රීඩක ධම්මික ප‍්‍රසාද් ද මුරලිදරන් රෑපවාහිනී නාලිකාවේදී කළ ප‍්‍රකාශවලට පිළිතුරු සපයා තිබුණි.

මෙම කොන්ත‍්‍රාත් ගිවිසුමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් සිවුදෙනාගෙන් කෙනකු වන දිනේෂ් චන්දිමාල්ද පසුගිය සතියේ ක‍්‍රිකට් උපදේශන කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාට ලිපියක් යොමු කරමින් සිය අනාගතය පිළිබඳව විමසා තිබුණි.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලධාරීන් සමඟ තමන්ට සාකච්ඡාවක් අවශ්‍ය යැයි එහිදී චන්දිමාල් ඉල්ලීමක් කර තිබුණි. එම ලිපියට ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පසුගිය අඟහරුවාදා චන්දිමාල්ට සාකච්ඡාවක් ලබාදුන් අතර එහිදී ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ පවසා තිබුණේ චන්දිමාල්ට තවදුරටත් ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ දොර විවෘතව තිබෙන බවයි.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා මහේල ජයවර්ධන, ජාතික ක‍්‍රීඩා පාලක සභාවේ සභාපති ධූරයටද, අරවින්ද ද සිල්වා, ක‍්‍රිකට් උපදේශන කමිටුවට පත්කිරීමෙන් මීට වඩා සාර්ථකත්වයක් බලාපොරොත්තු වූවාට සැක නැත. හිටපු ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ අරවින්ද ද සිල්වා මෙම කොන්ත‍්‍රාත් ප‍්‍රශ්නයේදී ක‍්‍රීඩකයන් පැත්තේ සිට බැලිය යුතුය. නමුත් එසේ නොවීය.

ප‍්‍රමෝද්‍ය වික‍්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව එකවර ජ්‍යෙෂ්ඨයන් ඉවත්කිරීමේ භයානක ප‍්‍රතිඵල පෙන්වමින් මේ වනවිට ඉන්දීය දෙවැනි පෙළ කණ්ඩායම හමුවේද පරාජයට පත්ව සිටී.

 සටහන: යොහාන් භාසුර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03