පසුගිය 9 සිකුරාදා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව දේශීය ආදායම් විශේෂ විධිවිධාන පනතක් ඉදිරිපත් කිරීම පිළිබඳ ප්‍රකාශයට පත් කර තිබේ. මෙයින් සිදුවන්නේ දැනට බලපවත්වන දේශීය ආදායම් පනතේ ඇතැම් ප්‍රතිපාදන ක්‍රියාත්මක වීම වැළැක්වීමකි. මෙමගින් සිදුවන එක් සංශෝධනයක් වන්නේ දැනට ක්‍රියාත්මක වන සියයට 14 හා 28 ආදායම් බදු ප්‍රතිශත ඇතැම් අවස්ථාවල සියයට 1 දක්වා අඩු කිරීමට බලය ලැබීමයි. රජය පාර්ශ්වයෙන් මේ පිළිබඳ ඉදිරිපත් කරන හේතුව වන්නේ දැනට රටේ ආර්ථිකයට කොටස්කරුවන් නොවී සඟවා තබාගෙන ඇති මුදල් ආර්ථික ක්‍රියාකාරකම්වලට යොදවා ගැනීමට උනන්දු කරවීම බවය. ඇතැම් පුද්ගලයන් සහ ආයතන විවිධ නීත්‍යානුකූල නොවන උපක්‍රමවලින් හෝ වෙනත් ක්‍රමවලින් උපයාගෙන ප්‍රයෝජනයට නොගෙන සඟවා තබාගෙන ඇති මුදල්වලට නීත්‍යානුකූලභාවයක් ලබා දී එයින් රටේ ආර්ථිකය ගොඩනැගීමට පාවිච්චි කිරීම වේ. එසේ සඟවා තබාගෙන ඇත්තේ ඒවා උපයාගත් අන්දම එළි කිරීමට නොහැකි වීම හේතුවෙනි.
මාන්‍ය ව්‍යවහාරයේදී කළු සල්ලි ලෙස ව්‍යවහාර කරනුයේ මෙම මුදල්ය. මෙම කළු සල්ලි සුදු කිරීමට මෙයට පෙර පැවැති විවිධ ආණ්ඩු මගින් නොයෙක් ලෙස උත්සාහ ගත්තද, බලාපොරොත්තු වූ ප්‍රතිඵල ඉන් ලබාගත නොහැකි විය. කළු සල්ලි ලෙස රටේ සහ පිටරටවල විවිධ ක්‍රම මගින් සඟවා ඇති මුදල් මෙරටට ලබාගැනීම සඳහා ඒවාට බදු සහන ලබා දී දිරිමත් කිරීම මෙම පනත් කෙටුම්පතේ අපේක්ෂාව වෙයි.
මේ පිළිබඳ විමසූ විට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ මෙය ආයෝජනයට ලබා නොදී බියෙන් සඟවා ඇති මුදල් රටේ ආර්ථිකයට ඵලදායී ලෙස බද්ධ කිරීමට ගත් පියවරක් බවයි. බොහෝ ධනපතියන් ව්‍යාපාරිකයන් තම මුදලට බදු වැදේ යැයි බියෙන් එම මුදල් විවිධ ක්‍රම මගින් සඟවා තිබීමට පෙළඹී සිටින අතර ඒ අය ආයෝජනයට ආකර්ශනය කිරීමට මෙම වැඩපිළිවෙළ දියත් කර ඇතැයි ඇමැතිවරයා කියයි.
&ඒ අය තමන් මුදල් උපයාගත් හැටි හෙළි කිරීමට වේය යන බියෙන් මෙහෙම මුදල් සඟවා තබාගෙන සිටිනවා විය හැකියි. එහෙම හිර කරගෙන සිටින සල්ලිවලින් ඒ අයටවත් රටටවත් ප්‍රයෝජනයක් ගන්න අපහසුයි. ඒවා කොහේ හෝ තැන්පත් කරලා තියන්න පුළුවන්. අපි කියන්නේ ඒවා විවෘත කරලා රටේ ආයෝජනයට එකතු කරන්න කියලයි. එලෙස සඟවා ඇති මුදල් පිටතට ගෙන කොටස් වෙළෙඳපොළේ හෝ වෙනත් ව්‍යාපෘතිවල ආයොජනය කරන්නේ නම් ඒ අයගෙන් සියයට 1ක බද්දක් පමණයි අය කරන්නේ. ඒ නිසා දඩ ගසයි කියලා තවදුරටත් බිය විය යුතු නැහැ. රටේ ආයෝජනය කරනවා නම් ඒ අයට සහන දෙන්න රජය සූදානම්.
අද අපට ඩොලර් හිඟයකට මුහුණපාන්නට වී තිබෙනවා. මෙය අපේ ආණ්ඩුවේම වරදක් නිසා සිදුවූවක් නොව දීර්ඝ කාලයක සිට පැවතගෙන පැමිණ අද වන විට උච්ඡතම අවස්ථාවට පත්ව තිබෙනවා. යමකු පිටරටවල මේ මුදල් සඟවා තිබෙනවා නම් ඒවා ඩොලර් බවට පත්කර රටට රුගෙන ඒමට පුළුවන්. එය අපේ ඩොලර් හිඟයට පිළියමක් ද වෙනවා. මෙලෙස ලබා දී ඇති වරප්‍රසාදවලින් ව්‍යාපාරික ප්‍රජාව ප්‍රයෝජන ගන්නවා ඇතැයි බලාපොරොත්තු වෙනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රබල වෘත්තීය සමිතියක නිලධාරියකු අප හා පැවසුවේ මෙම පනත නිසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිය යුතු ආදායම කෝටි 20,000ක් පමණ නොලැබී යාමට ඉඩ ඇති බවය. සියයට 1ක බදු ගැසීම නිසා සියයට 14 හා 28ට අයවෙන බදු ආදායම විශාල ලෙස පහත යන බැවින් ඉදිරියේදී බදු ආදායම තවත් අඩු වනු ඇතැයි ඔහු අනතුරු හඟවයි.
දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එයට හිමි බදු ආදායම පවා එකතු කරන්නේ දැඩි අපහසුතාවයෙන්. කොවිඩ්-19 අර්බුදයද එයට හේතු වෙනවා. එසේ තිබියදී ලැබෙන්නට ඇති ආදායමවත් නොලැබී විශාල ගැටලුවක් බවට අනාගතයේදී පත්වේවි.
මෙම නව පනත මගින් 2020 මාර්තු 31 දක්වා යමකු සතුව තිබෙන නිශ්චල හා චංචල දේපළ සහ මුදල් ප්‍රමාණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හෙළිදරව් කිරීමට අවස්ථාවක් දී තිබෙනවා. මෙලෙස පිටට දමන මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කළ හැකියි. නැතිනම් මිලදී ගැනීම් කළ හැකියි. වෙනත් ව්‍යාපාරවලටද යෙදීමට පුළුවන්. එම වටිනාකම්වලින් සියයට 1ක බද්දක් පමණයි ගන්නේ. මෙහිදී දැනට අයකරන සියයට 14 බද්දෙන් සියයට 13ක්ම රජයට අහිමි වෙනවා. හෙළිදරව් කරන වත්කම් කොහෙන් සොයාගත්තාද යන්න කිව යුතු වන්නේ නැහැ. ඒ නිසා කුප්‍රකට ජාවාරම්කරුවන් විවිධ දූෂණ ක්‍රියාවලින් උපයා ගන්නා මුදල් කොහෙන් කෙසේ ලබාගත්තාද කියලා කිව යුතු වන්නේ නැහැ. කළු සල්ලි සුදු වෙනවා. නීති විරෝධීව උපයාගත් මුදල් ආර්ථික කටයුතුවලට යොදවන්නට අවස්ථාව ලැබෙනවා.
2001 සහ 2002 වසරවල එ.ජා.ප. ආණ්ඩු සමයේදීත් කළු සල්ලි ව්‍යාපාරිකයන්ට මෙවැනි සහන දුන්නමුත් එයින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගත නොහැකි වුණා.
මෙයින් සිදුවන්නේ නීතියට ගරු කර මුදල් ගෙවන බදු ගෙවන්නාට අසාධාරණයක් වීමයි. ඔවුන් මන්දෝත්සාහී වෙනවා. රට තුළ මතයක් ඇතිවෙනවා මෙලෙස නීති විරෝධීව මුදල් උපයන අයට අනාගතයේදීද මෙවැනි සහන ලැබේවි කියලා. ඒ නිසා ඒ අයද සල්ලි සැඟවීමට උත්සාහ කිරීමට ඉඩ තිබෙනවා. නීති විරෝධී ක්‍රියාවලින් මුදල් ඉපැයීම වැඩි වෙන්න පුළුවන්. දැනට රට වැටී ඇති මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහායි කෙටිකාලීනව මෙවැනි උපක්‍රම භාවිත කරනවා ඇත්තේ. එයින් බලාපොරොත්තු ඉටුවේ යැයි සිතිය නොහැකියි. පිටරටවලින් ඩොලර් ඇදගැනීමේ උපක්‍රමයක් වුවත් මෙම තත්ත්වය දිගටම කළ යුතු නැහැ. මෙයින් තව තවත් අයථා ක්‍රමවලින් මුදල් උපයන්න දොර විවෘත කර තිබෙනවා. මෙයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම නැතිවී යාමේ අවදානමකට ලක්විය හැකියි. මෙවැනි කෙටි ක්‍රම ආර්ථිකය ගොඩනගා ගන්නට යැයි පාවිච්චි කිරීම සුදුසු නැහැ.
අද සාමාන්‍ය බදු ගෙවන්නා තමා නිසියාකාරව බදු ගෙවන්නෙ. දෙපාර්තමේන්තුව පන්නන්නේද ඒ අය පසුපස විතරයි. බදු නොගෙවා කට්ටි පනින අය පසුපස යන්නේ නැහැ. කූට ක්‍රමවලින් අයථා ලෙස මුදල් හම්බ කර සඟවා තබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අයට දැල එලා හසුකර ගැනීමට උනන්දු විය යුතුයි. බදු නොගෙවන අය සොයා ගැනීමට නිසි විමර්ශන කළ යුතු වුවත් ඒවා සිදුවන්නේ නැහැ. නිසි ලෙස බදු ගෙවන අයට කිසිම පහසුකමක් දිරිගැන්වීමක් නැහැ.
මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අධ්‍යයනාංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ මෙම උපක්‍රමයේ හොඳ සහ නරක යන ප්‍රතිඵල දෙකම දක්නට ඇති බවය. සඟවා තබාගෙන සිටින මුදල් ආයෝජනය හරහා රටේ ආර්ථිකයට එකතුවීම යහපත් ලක්ෂණයක් නමුත් නිසියාකාරව බදු ගෙවමින් සිටින ජනතාවට මෙයින් අසාධාරණයක් වන අතර ඔවුන් ගෙවීමට මන්දෝත්සාහී වනවා ඇතැයි ඔහු කියයි.
&මෙහිදී සිදුවන්නේ දීර්ඝ කාලයක් බදු ගෙවීම පැහැර හැර සිටින ව්‍යාපාරිකයන්ගේ ආදායම ආදායම් බදුවලින් නිදහස් කර ඔවුනට සියයට 1ක දඩයක් අයකර එම මුදල් කපා හැරීමයි. මෙය රටට වැරදි පූර්වාදර්ශයක් වෙනවා. කූඨ හා දූෂිතයන්ට දිගටම මෙවැනි වැරදි ක්‍රමවලින් මුදල් ඉපයීමට උඩගෙඩි දීමක් තමා මෙයින් සිද්ධ වෙන්නේ. මෙයට පෙර 2005 වසරේදීද මේ හා සමාන පනතක් මගින් සැඟවූ වත්කම් අනාවරණය කිරීමට ඉඩ සලසා දුන්නා. තමන්ට ඇති වත්කම්වල වෙළෙඳපොළ වටිනාකම තක්සේරු කරලා ඒවාට බදු ගෙවන්න ඉඩ දුන්නා.
බොහෝ කොට විශාල කුප්‍රකට ධනපතියන්ගේ, ඇතැම් දේශපාලනඥයන්ගේ මුදල් සහ වත්කම් තියෙන්නේ පිටරටවලයි. ඒවා Crypto Currency ලෙස හඳුන්වනවා. මෙය Digital Currency විශේෂයක්. භෞතික වශයෙන් මේ මුදල් හුවමාරු වෙන්නේ නැහැ. එක Currencyයක් ඩොලර් 48ක වටිනාකමට සම වෙනවා. මෙම Crypto Currency ක්‍රමය ලංකාවේද හඳුන්වා දෙන හැටියට වර්තමාන රජයේ එක්තරා ඇමැතිවරයෙක් යෝජනා කර තිබෙනවා.
මෙහිදී භෞතික වශයෙන් මුදල් නොමැති අතර ගිණුම්වල පමණයි මුදල් ඇති බව දැක්වෙන්නේ. මෙයින් බලාපොරොත්තු වන්නේ පිටරටවල සඟවාගෙන ඇති කළු සල්ලි මෙරටට රුගෙනවිත් ඒවා සුදු සල්ලි බවට පත් කිරීමක්. එලෙස සිදුවුවහොත් මෙතෙක් කල් කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව තිබූ මුදල් ඩොලර් බවට පත් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමක්. එම මුදල් රටේ ආයෝජනයට යොදාගැනීමයි රජයේ උත්සාහය. දැනට අපි විශාල ඩොලර් අර්බුදයකට ලක් වී සිටිනවා. එම තත්ත්වයට යම් සහනයක් ලබාගැනීමට තමා මෙම උපක්‍රමය ක්‍රියාත්මක වන්නේ.
දැනට අප රටේ විශාල දේපළ මිලට ගෙන ආයෝජනයට අපේක්ෂා කරන සෙලන්දිවා සමාගමද මුදල් වැඩ කරන්නේ මේ ආකාරයටයි. එහිදීද සිදුවන්නේ සඟවා තබාගෙන ඇති කළු සල්ලි සුදු කිරීමක්. මේ අවස්ථාවේ අපේ රට පත්ව ඇති දුෂ්කර තත්ත්වය හමුවෙ සංසරණය නොවන මුදල් පිටතට ගැනීම හොඳයි. පසුගිය ආණ්ඩුත් මෙම කළු සල්ලි සුදු කිරීමට විවිධ උපක්‍රම යෙදුවා. මේ ආණ්ඩුවත් පසුගිය අයවැයේදි පිටරට සඟවා ඇති මුදල් මෙරටට ගෙන එන අයට සහන දෙන බව පැවසුවා. එහෙත් මේ එකදු අවස්ථාවකදීවත් බලාපොරොත්තු වූ තරම් සාර්ථක ප්‍රතිඵල ලැබුණේ නැහැ.
තවමත් විශාල ආදායම් ලබන අය රජයට තම මුදල් නිසි පරිදි අනාවරණය කරන්නේ නැහැ. විවිධ ක්‍රම මගින් සඟවා තබාගෙනයි ඉන්නේ. විශේෂයෙන් ව්‍යාපාරිකයන්, ඉංජිනේරුවන්, දොස්තරවරුන්, අධ්‍යාපන අංශයේ අය, විශේෂ වෘත්තිකයන් තමන් ලබන සත්‍ය ආදායම වාර්තා කරන්නේ නැහැ. ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඒවා සොයා ගැනීමටද බැහැ. එම දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සමඟ සම්බන්ධකම් ගොඩනගාගෙන ඒවා යට ගසාගෙන ඉන්නවා. අපේ ඇතැම් දේශපාලනඥයන්ද මේ අතර සිටිනවා. ඒ සමහරුන් මුදල් විදේශ බැංකුවල තියෙන බව කියනවා. ඇතැම් දේශපාලනඥයන්ගේ මුදල් ජාත්‍යන්තර බැංකු කිහිපයක පවා තැන්පත් කර තිබෙනවා. ඒවායේ පවතින දැඩි රහස්‍ය කොන්දේසි නිසා නීතියෙන් පවා අනාවරණය කර ගන්නට බැරි තත්ත්වයක් තමා තියෙන්නේ.
මෙලෙස මුදල් සඟවාගෙන ඇති අයට ඒවා උපයාගත් අන්දම පෙන්වන්න බැහැ. එහෙම පෙන්නුවොත් ඒ අය වැරදිකරුවන් වෙනවා. විදේශවල මුදල් සඟවා ඇති ඇතැමුන්ගේ බදු ලිපිගොනු අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නැහැ. තිබුණු ඒවාද අක්‍රියයි. මේ අයගේ මුදල් මෙරටට ගෙන්වා ගැනීම සද්භාවයෙන් කරනවා නම් ප්‍රතිඵල හොඳයි. එහෙත් පූර්වාදර්ශ අනුව මෙතෙක් සාර්ථක වී නැහැ.
මෙහි නරක පැත්ත වන්නේ මෙමගින් බදු නොගෙවා සැඟවී සිටි අයට සහන සැලසීමයි. එනම් ඒ අයගේ සියයට 28 ආදායම් බද්ද සියයට 1ට බැස්සවීමයි. මේ නිසා නිසියාකාරව බදු ගෙවන අය කනස්සල්ලට පත් වෙනවා. &අපෙන් නියම බද්ද දඩත් සමඟ අය කරනවා. බදු හොරුන්ගෙන් සියයට 1ක් අය කරනවා කියලා හිතන ඒ අය තමනුත් බදු නොගෙවා පැහැර හැරීම හොඳයි කියලා තීරණය කරනවා. මෙයින් සිදුවන්නේ බදු නොගෙවන ලෙසට ඒ අයට පණිවුඩයක් දීමයි. මේ නිසා ලැබෙන්නට ඇති බදු මුදල්ද නොලැබී යාමේ ප්‍රවණතාවක් ඇතිවිය හැකියි. අනිත් අතට සියයට 1ක් බදු සහන ගන්නා අය තමන් සඟවා සිටි මුදල් පිටතට ගෙන ආයෝජනයට යොමු කරාවි යැයි සහතික කළ හැකිද යන්න ගැටලු සහගතයි. සියල්ල අනාගතයට බාර දෙන්න සිදුවෙයි.
යසවර්ධන රුද්රිගූ