2021 ජුලි 24 වන සෙනසුරාදා

එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ඉදිරියෙන්!

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 78

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය මර්දනය සඳහා සිදුකරන දෛනික එන්නත්කරණය අතින් අනෙක් රටවල් අතර ප්‍රමුඛස්ථානයට පැමිණ ඇතැයි ලොවපුරා එන්නත්කරණ තොරතුරු යාවත්කාලීන කරන වෙබ් අඩවියක් සනාථ කර ඇත. OUR WORLD IN DATA නම් වූ එම වෙබ් අඩවියේ සඳහන් වූයේ පසුගිය ජූලි 17 වැනිදා වනවිට ශ්‍රී ලංකාව එන්නත්කරණ වේගය අතින් ලොව පළමු ස්ථානයට පත්ව ඇති බවය. ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණය ගතවූ දින හත තුළ ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයද සඳහන් කර තිබිණි. මුලදී යම් යම් අඩුපාඩු හා දුර්වලතා දක්නට ලැබුණද, මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය මේ වනවිට ක්‍රමවත් ලෙස සිදුවන බව දැන් තහවුරු වී හමාරය.

දැනට ක්‍රියාත්මක, කොවිඩ්-19 ට එරෙහි මෙම එන්නත්කරණ ක්‍රියාදාමය මෙයාකාරයටම පවත්වාගත හැකි වුවහොත්, ලබන සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කළ හැකිවනු ඇතැයි අපේක්ෂිතය. මේ වනවිට දෛනිකව එන්නත් ලබාදෙන වේගය වැඩි කිරීමට ගෙන ඇති පියවර සහ අලුතෙන් එන්නත් තොග පරිත්‍යාග ලෙස ගලාගෙන එන්නට වීමත් සමඟ ලබන සැප්තැම්බර් මාසය වනවිට හැකි උපරිම පිරිසකට එන්නත් ලබාදීමේ රජයේ ඒ අපේක්ෂාව සපුරා ගැනීමට හැකිවන ලකුණු පහළ වී ඇත.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන එන්නත්කරණය පසුගිය සතියේ සිට වේගවත් කිරීමට රජය කටයුතු කළේය. ඒ සමඟ දෛනිකව ලබාදෙන මාත්‍රා ගණන ලක්ෂ 02ත් ලක්ෂ 04ත් අතර අගයක පවත්වා ගැනීමට හැකි වී තිබේ.
දෛනිකව ලබාදුන් වැඩිම මාත්‍රා ගණන සටහන් වූයේ පසුගිය ජූලි 14 වැනිදා වන අතර එය මාත්‍රා 384,000 ඉක්මවා තිබුණි. එම දිනයේ පෘතුගාලය, තුර්කිය, ජපානය, චීනය හා බ්‍රසීලය පිළිවෙළින් ශ්‍රී ලංකාවට පසු දෛනික එන්නත්කරණය අතින් ඉහළටම පැමිණි අනෙක් රටවල් 5 වෙයි. මේ අනුව, ආසියානු රටවල්වල එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව පළමු තැනට පත්වීම විශේෂත්වයකි.

ඒ අනුව පසුගිය ජූලි 19 දින වනවිට, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් සියයට 7.5කට, එනම් මිලියන 1.628ක පමණ පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබුණු අතර, සියයට 24කට නැතහොත් මිලියන 5.175ක පිරිසකට එන්නත් මාත්‍රා එකක් හෝ ලබාදී තිබුණේය. ජූලි මාසය අවසන් වනවිට, බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි හැම කෙනෙකුට ම එන්නත් ලබාදීම රජයේ ඉලක්කය වී ඇති අතර, සෙසු පළාත්වල එම ඉලක්කය සපුරා ගැනීමට බලාපොරාත්තු වන්නේ අගෝස්තු මාසයේදීය.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ඉක්මවූ ජනගහනයෙන් 81%ක ආසන්න ප්‍රතිශතයක් මේ වනවිට කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇත. ඒ කියන්නේ එම දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30 ඉක්මවූ 1,334,947ක් වන ජනගහනයෙන් 1,077,377 දෙනෙකු එනම් සියයට 80.7%ක් කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවය.

මේ අන්දමට ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ඉක්මවූ ජනගහනයෙන් 79%ක්ද, කළුතර දිස්ත්‍රික්කයේ 77%ක්ද, කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබේ. මන්නාරම දිස්ත්‍රික්කයේ එම ප්‍රතිශතය 72%ක් වන අතර මාතලේ දිස්ත්‍රික්කයේද වයස අවුරුදු 30 ඉක්මවූ පිරිසෙන් 58%ක් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව වාර්තා වේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ 45%ක්, මාතර දිස්ත්‍රික්කයේ 43%ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 41%ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ 40%ක්, යාපනය හා බදුල්ල දිස්ත්‍රික්කවල 35%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ 30%ක්, අනුරාධපුරය දිස්ත්‍රික්කයේ 24%ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 23%ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ 21%ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ 20%ක් ලෙස එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බව දත්ත අනුව පෙනීයයි.

මහනුවර, ත්‍රිකුණාමලය, මොනරාගල, පොළොන්නරුව, අම්පාර, පුත්තලම, කිලිනොච්චිය, මුලතිව් සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති  ප්‍රතිශතය 2%ත් 19%ත් අතර වන බව වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවෙන් පෙනී යයි.

රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්කිරීමෙන්, සමාජය තුළ සමූහ ප්‍රතිශක්තියක් ගොඩනැගෙතැයි අපේක්‍ෂා කෙරෙන අතර, ලෝකයේ බොහෝ රටවල් මේ වන විට කොවිඩ් වසංගත මර්දන වැඩසටහන් තුළ වැඩි බර යොදා ඇත්තේ එන්නත්කරණයටයි. තවද, එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයෙකුට වෛරසය වැළඳුණද, අසාධ්‍ය තත්ත්වයට පත්වීමේ ඉඩකඩ අඩු යැයි දැන් විද්වත්හු කියති.

රට තුළ දැනට ක්‍රියාත්මක මේ කොවිඩ්-19 ට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ වඩාත් සාර්ථක කර ගැනීමට අවශ්‍ය එන්නත් තොග ලංකාව වෙත දැන් ලැබෙමින් පවතී. පසුගිය ජූලි 15 දින වන විට, විවිධ වර්ගයේ එන්නත් මාත්‍රා 9,231,000ක් මෙරටට ලැබී තිබුණි. තවත් එන්නත් මාත්‍රා නුදුරේදීම ලැබීමට නියමිත බව වාර්තා විය. 

ඒ කතාව සනාථ කරමින් COVAX පහසුකම යටතේ ලබාදෙන මොඩර්නා කෝවිඩ්-19 එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් රුගත් විශේෂ ගුවන් යානයක්, 16දා, ශ්‍රී ලංකාවට ළඟාවිය.  එක්සත් ජනපදය විසින් පිරිනමනු ලබන මෙම එන්නත් මාත්‍රා ලක්ෂ 15 ශ්‍රී ලංකාවට ලැබෙන්නේ, COVAX පහසුකම යටතේ, ලොවපුරා කෝවිඩ්-19 එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශය ලබාදීම සඳහා වන මාත්‍රා බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීමේ යාන්ත්‍රණය යටතේය. එන්නත් තොගය COVAX පහසුකම යටතේ ලැබුණු මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ලැබුණු දෙවැනි ප්‍රදානයයි. එහි පළමු සැපයුම ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා ‘කොවිෂීල්ඩ්’ එන්නත් 264,000ක පළමු තොගය පසුගිය මාර්තු මාසයේදී දිවයිනට ලැබිණි.

ඖෂධ නීතිගත සංස්ථාව මිලදී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා තවත් 70,200ක තොගයක් ඉකුත් 19දා අලුයම දිවයිනට රුගෙන එනු ලැබුණි. ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවට ලැබී ඇති සමස්ත ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය 128,700කි. 

ඒ අනුව සයිනොෆාම් එන්නත් 7,100,000ක් ද ස්පුට්නික් V එන්නත් මාත්‍රා 180,000ක්   හා මොඩර්නා එන්නත් මාත්‍රා 1,500,000ක් දැනටමත් මෙරටට ලැබී තිබේ. චීනයේ සයිනොෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ පනස් හයක් ඉදිරි සති තුනක කාලය තුළ මෙරටට ලබාදෙන බව චීනය කියයි. ජපාන රජයේ ප්‍රදානයක් ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 1,470,000ක් ද මෙරටට ලැබීමට නියමිතය.

ඒ අනුව මේ ලිපිය ලියන මොහොත වනවිට මෙරටට මෙතෙක් හිමිව ඇති සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය කෝටිය ඉක්මවන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පෙන්වා දී තිබුණි.

එසේම මේ ලිපිය ලියන මොහොත වනවිට මෙරට එන්නත්කරණ වැඩසටහන සඳහා භාවිත කර ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 7,573,967ක් බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වාදෙයි. එය සමස්ත ජනගහනයෙන් සියයට 17.4%ක ප්‍රමාණයකි. පසුගිය සතිය තුළ    ලබාදුන් එන්නත් ප්‍රමානයේ සාමාන්‍යය දිනකට 259,815 ක් පමණ වන අතර මේ වේගය පවත්වා ගතහොත් ජනගහනයෙන් තවත් සියයට 10ක ප්‍රමානයක් එන්නත්කරනයට දින 17ක් තුළ හැකියාව ලැබෙනු ඇති බවත් සෞඛ්‍ය සංඛ්‍යාන දත්ත තහවුරු කරයි.         

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03