2021 ජුලි 24 වන සෙනසුරාදා

කොළඹටම හුස්ම දෙන මුතුරාජවෙල බෙල්ල මිරිකීම

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 173

මුතුරාජවෙල ඉදිකිරීමට යන ද්‍රවීකෘත ස්වභාවික වායු ඉන්ධන (එල්.එම්.ජී.) විදුලි බලාගාරය පිළිබඳ ගැටලුව පාරිසරික සමාජයීය දේශපාලනික මෙන්ම ආගමික වපසරියක් තුළ විහිද යමින් තිබේ. මුතුරාජවෙල යනු මෙරට පරිසර පද්ධතියේ ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත තෙත්බිම් පරිසර පද්ධතියකි. පෞද්ගලික සමාගමක් විසින් මුතුරාජවෙල ප්‍රදේශයේ අක්කර එකසිය දහයක භූමි ප්‍රමාණයක් ගොඩ කරමින් මෙම බලාගාරය නිර්මාණය කිරීම සිදු කරන බව ප්‍රදේශවාසීන් පරිසරවේදීන් ඇතුළු පාර්ශ්ව රුසක් චෝදනා කරති. මෙම චෝදනා පෙරටු කොටගෙන මුතුරාජවෙල රුකගැනීමේ සටනට මේ වන විට උරදී සිටින්නේ මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු කමිටුවයි.

විවිධ වාණිජ වුවමනාවන්ට අනුව මුතුරාජවෙල ගොඩකිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීම අද ඊයෙක සිට සිදුවන්නක් නොවේ. එම තත්ත්වය මත මේ වන විටත් මුතුරාජවෙල තෙත්බිම් කලාපට සුවිසල් හානියක් සිදුව තිබේ. අප සංවාදයට බඳුන් වන එල්.එම්.ජී. ව්‍යාපෘතියට එරෙහිව නැගෙන චෝදනා රුසක් තිබේ. ඉන් ප්‍රබල චෝදනා නැගෙන්නේ මෙම ව්‍යාපෘතියට අදාළව නිකුත් කර ඇති පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව සම්බන්ධයෙනි. සමස්ත ව්‍යාපෘතියම ආවරණය වන පරිදි පාරිසරික බලපෑම තක්සේරු නොකර යම් කොටසක් පමණක් ආවරණය වන පරිදි එය සකසා ඇති බව කියැවෙයි. එසේම මෙම ව්‍යාපෘතිය දැනට සැලසුම් කර ඇති පරිදි සිදුවුවහොත් මුතුරාජවෙල අවට ප්‍රදේශවලට දැනට තිබෙන ගංවතුර තර්ජනය දෙගුණ තෙගුණ වෙතැයි ද පරිසර සංවිධාන පෙන්වා දී තිබේ. එසේම මේ හරහා ජෛව පරිසර පද්ධතියට විශාල හානියක් සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති.

කොළඹ වරාය නගරය, බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය, සමුද්‍ර නගර ව්‍යාපෘතිය ආදිය වෙනුවෙන් විදුලිය ලබාගැනීමට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යන බව දැනට හෙළිදරව් වී තිබේ. මෙම ව්‍යාපෘතියට එරෙහිව පසුගිය සමයේ පළමු වෙඩිමුරය තැබුවේ කාදිනල් හිමියන් විසිනි. එල්.එම්.ජී.  බලාගාරයක් ඉදිකිරීමට ආණ්ඩුවේ ඇති සැලසුම නිසා දැවැන්ත පරිසර හානියක් සිදුවන බවත් එවැනි පරිසර විනාශයකට කිසිවිටෙකත් ඉඩ නොදෙන බවත් ජූනි මුල සතියේ දී කාදිනල් හිමි පැවසූහ. එතැන් පටන් මුතුරාජවෙල සුරුකීම වෙනුවෙන් අගරදගුරුවරු සංවිධානය වූහ. පසුගිය සතිය වන විට එම සංවිධානය වීම කොතරම් පුළුල් වූයේද යත් ප්‍රදේශයේ ජනතාව එකතු කර ගනිමින් ඔවුහු දැවැන්ත නිහඬ විරෝධතාවක් සංවිධානය කළහ. ඒ සමඟම නැවත මුතුරාජවෙල ගැටලුව මෙරට  සමාජ දේශපාලනික සංවාද අතර ප්‍රමුඛස්ථානයකට පැමිණ තිබේ. පරිසර සංවිධානය මෙන්ම දේශපාලන අධිකාරියද මෙම ගැටලුවට ප්‍රබල ලෙස මැදිහත් වෙමින් සිටියි.

ඒ අනුව මෙම ව්‍යාපෘතියට අදාළව සිදුව ඇති අකටයුතුකම් මෙන්ම අඩුපාඩු පිළිබඳවත් විශාල සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ. මේ සම්බන්ධයෙන් සකස් කර ඇති පරිසර ඇගයීම් වාර්තාව සම්බන්ධව මහජන අදහස් දැක්වීම සඳහා දින 30ක් ලබාදී ඇත්තේ රට තුළ සංචරණ සීමා පැවති කාලයේදී බවත් මෙය හොර රහසේම සම්මත කර ගැනීමේ කූඨ උත්සාහයක් පැවති බවත් ඒ අනුව හෙළිදරව් වෙයි. සමාන්‍යයෙන් මෙවන් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් සකසන විට අවම වශයෙන් විකල්ප ස්ථාන දෙකක්වත් ඊට ඇතුළත් කර ඒ පිළිබඳ පුළුල්ව සලකා බැලීම සිදුවන නමුත් මෙහිදී එවැන්නක් සිදුවී නොමැති බව විපක්ෂ කණ්ඩායම් කියා සිටියි. හුදෙක් මුතුරාජවෙලට පමණක් නොව මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් භූමිය ගොඩකිරීම සඳහා මුහුදු වැලි ඝනමීටර් මිලියන එකයි දශම පහක් පමණ මීගමුව කලපුවට බටහිරින් පිහිටි තඹගල ප්‍රදේශයේ වැලි නිධියෙන් ලබාගැනීම හේතුවෙන්  සමුද්‍රීය පරිසර පද්ධතියටත් මේ හරහා හානි සිදුවිය හැකි බවට අනාවැකි පළව තිබේ.

මේ වන විට මුතුරාජවෙල ගැටලුව අධිකරණය හමුවට ගොස් තිබේ. ඒ අනුව මුතුරාජවෙල තෙත්බිම් කලාපය තුළ සිදුවන නීති විරෝධී ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු සහ කැලි කසළ බැහැර කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් සලකා අභියාචනාධිකරණය පසුගිය ජූලි 12 වැනිදා තීරණය කරනු ලැබීය. එය ජූලි 26 වැනිදා විභාගයට ගනු ඇත. මුතුරාජවෙල වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සඳහා එම තෙත්බිමට අපද්‍රව්‍ය දැමීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමින් ඉල්ලා සිටියි. එසේම  මුතුරාජවෙල ඇතුළු පාරිසරික වැදගත්කමකින් යුතු අනෙකුත් තෙත්බිම් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාමය පියවර ගන්නා ලෙසට මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ. තවද මුතුරාජවෙල වගුරු ආශ්‍රිත බිම් පෙදෙස් පිරවීම සඳහා අපද්‍රව්‍ය දැමීම වළකාලන ලෙසට වගඋත්තරකරුවන්ට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම හරහා ඉල්ලා සිටියි.

මේ වන විට මුතුරාජවෙල ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශ්වයෙන් ද ප්‍රතිචාර දක්වා තිබේ. පසුගියදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව අදහස් දැක්වීය. ඒ අනුව යෝජිත ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී.) බලාගාරය ඉදිකරන්නේ මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ නොව කෙරවළපිටියේ වෙනත් ඉඩමක බව පරිසර අමාත්‍යවරයා පැවසීය. මෙම බලාගාරය ඉදිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බවට  කාදිනල් හිමියන් ඇතුළු පිරිසක් චෝදනා කර ඇති නිසාවෙන් එම සියලු පාර්ශ්ව සමඟ අදාළ ස්ථානයටම ගොස්  සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බව ද ඔහු කියා තිබුණි. තවද පරිසර වාර්තාව සම්බන්ධ මහජන අදහස් ලබාගැනීමේ කාලසීමාව අගෝස්තු 17 දක්වා දීර්ඝ කර ඇතැයි ද අමරවීර මහතා පැවසීය. කෙසේ නමුත් අමාත්‍යවරයාගේ අදහස වී තිබුණේ ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් යනු සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘතියක් බැවින් එය බාධාවකින් තොරව ඉදිරියට ගෙන යා යුතු බවයි.

එසේ වුවද ඉතා වැදගත් පාරිසරික කලාපයක් වන මුතුරාජවෙල තෙත් බිම විනාශ කරන්නට තමා ඉඩ තබන්නේ නැතැයි ද ඇමැතිවරයා අවධාරණය කර තිබුණි. එය ආරක්ෂිත කලාපයක් ලෙස සංරක්ෂණය කර වනජීවී දෙපාර්තමේන්තුවට පවරන්නට සැලසුම් කර ඇති බවද මෙහිදී හෙළිදරව් විය. එසේම පසුගිය කාලය තුළ ඇතැම් පුද්ගලයන් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබූ මෙම තෙත්බිමට අයත් ඉඩම් අක්කර 600ක් නැවත පවරා ගැනීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා හෙළිදරව් කළේය. ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති රුසක් නවත්වා මුතුරාජවෙල විනාශ කරන්නන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය. අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ ඇති අදහස කවරක් වුවත් එල්.එම්.ජී. බලාගාරයට එරෙහි සටන අතහරින්නට ඊට සම්බන්ධ කිසිම පාර්ශ්වයක් සූදනම් නොමැති බව ගෙවුණු සතිය තුළ දී පැහැදිලි විය. මෙම ගැටලුව පාර්ලිමේන්තුව තුළ පවා සාකච්ඡා වන්නට විය. ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධව පරිසර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

කෙසේ වෙතත් මෙහිලා අවසාන වශයෙන් සටහන් කර තැබිය යුත්තේ ශීඝ්‍රයෙන් නාගරීකරණය වූ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජීවය පවත්වාගෙන යාමට මුතුරාජවෙල නම් වගුරු බිම සුවිසල් දායකත්වයක් සපන බවය. මිනිසකුට හුස්ම ගන්නට පෙනහලු සේද අප ජලය කළමනාකරණයට වකුගඩු සේද මුතුරාජවෙල කොළඹ, ගම්පහ, මීගමුව ප්‍රදේශවල ජීවයේ පැවැත්ම දරා සිටියි. එහෙත් එහි වටිනාකම වාණිජ අරමුණ පෙරටු කොටගත් සමාජයක මිනිස්සු හඳුනන්නේ නැත. හැටේ දශකයේ දී මෙම බිම ගොඩකර පැල්පත්වාසීන්ට නිවාස සකසා දීමට එවක ආණ්ඩු කල්පනා කළේය. එතැන් පටන් අද දක්වා මුතුරාජවෙලට සිදුවූ අකටයුතුකම් මෙපමණයි කියා නිම කළ නොහැකිය. එම නිසාම මුතුරාජවෙල විරෝධය ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට විරුද්ධ වීමේ රුල්ලේ තවත් එක් පරිච්ඡේදයක් ලෙස කියවා ගැනීම භයානකය. එවිට මෙට හුදු දේශපාලනික මුහුණවරක් ගන්නා අර්බුදයක් වීමට ඉඩ තිබේ. සැබවින්ම එල්.එම්.ජී. බලාගාරකට විරුද්ධ වීමට කිසිවකුට හේතුවක් නැත. එහෙත් මුතුරාජවෙල වගුරු බිම් පද්ධතිය ආරක්ෂා කිරීමට සියල්ලන්ටම වගකීමක් තිබේ. එනිසාම රට සංවර්ධනය අවශ්‍ය බවත් නමුත් එය තිරසාර විය යුතු බවත් අපි අවසානයේ සටහන් කර තබමු.

 චමිඳු නිසල් ද සිල්වා