2021 ජුලි 24 වන සෙනසුරාදා

ආර්ථික වර්ධන කතාව විමසා බලමු

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 277

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන පරිදි 2021 වසරේ මුල් කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ධන සියයට 4.3ක් දක්වා වර්ධනය වී තිබේ. කොවිඩ් වසංගතය බලපැවැත්වුවද 2020 වසරේ ඍණ අගයක් දැක්වූ ආර්ථික වර්ධන වේගය එක්වරම මෙතරම් ප්‍රමාණයකින් වර්ධනය කර ගැනීමට ලැබීම ප්‍රාතිහාර්යයක් බව පවසන්නෝ සිටිති. කෙසේ වුවද යළිත් කොවිඩ් වසංගතය පැතිරෙන පරිසරයක් තුළ මෙම යහපත් තත්ත්වය දිගටම පවත්වාගෙන යාම විශාල අභියෝගයක් වෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුවද 2020 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වූ ඍණ 1.8ක වර්ධන වේගය හා සසඳන විට 2021 පළමුවැනි කාර්තුවේදී ධන 4.3ක් වී ඇති බව සනාථ වෙයි. 2021 ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා වූ නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල සහ ස්ථාවර මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු පාදක කර ගනිමින් එම දෙපාර්තමේන්තුව මෙම සංඛ්‍යාලේඛන නිකුත් කර ඇත. ඔවුන් පවසන පරිදි 2020 ඔක්තෝබර්වල ආරම්භ වූ කොවිඩ්-19 වසංගතයේ දෙවැනි රුල්ල 2021 ආර්ථික ක්‍රියාකාරකම්වලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

එම පරිසරය තුළ වුවද මෙවැනි ආර්ථික වර්ධනයක් සපථ කර ගැනීමට හේතු සාධක පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ බොහොමයක් ව්‍යාපාර කටයුතු කොවිඩ් 2 රුල්ල මධ්‍යයේ වුවද නොකඩවා පවත්වාගෙන යාමට හැකි වූ බවය. වසංගත පැවතුණා වුවද ජන ජීවිත නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාත්මක වීම තුළින් බොහෝ ආර්ථික කටයුතුවල හැසිරීම සතුටුදායක ලෙස තිබී ඇත. එය 2021 පළමු කාර්තුව මුළුල්ලේම නිරීක්ෂණය වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

2021 පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය ගණන් බලපත්‍රයේ 2020 වසරේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව වෙයි. ඒ අනුව 2021 මුල් කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2020 පළමු කාර්තුවේ පසුබෑමට ලක්වූ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියා සිටී. රට මුළුමනින්ම වසා දමන්නට යැයි කොතරම් බලපෑම් එල්ල වුවද රජය එසේ නොකර කොරෝනා ව්‍යාප්ත වන ප්‍රදේශවල පමණක් විටින් විට සමාජ ක්‍රියාකාරම් පාලනය කිරීමට පියවර ගත්තේය. ඇඟලුම් ඇතුළු නිෂ්පාදන ව්‍යාපෘති කොවිඩ් මධ්‍යයේ වුවද යම් යම් සීමා කිරීම්වලට යටත්ව දිගටම පවත්වාගෙන ආවේය. එන්නත්කරණයට ප්‍රමුඛත්වය දී විවිධ නිෂ්පාදන ආයතනවල කටයුතු කොටස් වශයෙන් හෝ කරගෙන ඒමට පියවර ගෙන තිබිණි. ඒ නිසා ජනතාවගේ ජීවන ප්‍රශ්නවලටද යම් සහනයක් ලැබුණු අතර නිෂ්පාදන ක්‍රියාවලියද අඛණ්ඩව පවත්වාගෙන යාමට අවස්ථාව ලැබුණි. එම තත්ත්වය නිසා 2021 වසර ආරම්භයේ සිටම මුලින් කඩා බිඳවැටී තිබුණු ආර්ථිකය බලවත් අභියෝග හමුවේ වුවද යම් මට්ටමකට පවත්වාගෙන යාමට හැකිවීම විශාල වාසනාවක් විය.

මෙහිදී සෞඛ්‍ය අංශවලින් දෙන උපදෙස් තරයේ අනුගමනය කළ යුතුව තිබිණි. එසේ නොකළහොත් රට තුළ කොවිඩ් ව්‍යාප්ත වී ජන ජීවිතය විශාල අවුලකට වැටීමට ඉඩ තිබුණි. එම තත්ත්වයද සුළුවෙන් තැකීමට රජයට නොහැකිය. ඒ නිසා රැවුලයි කැඳයි දෙකම බේරාගැනීමේ අවදානම් අවස්ථාවකට මුහුණදිය යුතුව තිබුණි. දැනට ලැබී ඇති ප්‍රතිඵල අනුව ගම්‍ය වන්නේ ආර්ථික සටන කොවිඩ් හමුවේ වුවද යම් පමණකට ජයග්‍රහණයක් දක්වා රුගෙන යාමට සමත් වී ඇති බවයි. අද වුවද රටේ ආර්ථික කටයුතු අඩාල කර නොගෙන දිගටම පවත්වාගෙන යාමට වගකිවයුත්තන් උත්සුක වී ඇත්තේ මේ නිසාය. එය ප්‍රශංසා කටයුතුය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ රටේ ආර්ථික වර්ධනය දිනකින් දෙකකින් ප්‍රාතිහාර්යකින් මෙන් කළමනාකරණය කිරීමට නොහැකි බවකි. කොවිඩ්-19 වසංගතය නිසා ඍණ 3.2ක් බවට පත්ව තිබූ රටේ ආර්ථිකය කියන තරම් ඉක්මනින් ප්‍රතිනිර්මාණය කළ නොහැකි බව ඔහු කියයි. සත්‍ය නීරස වුවද එය අපට පිළිගන්නට සිදුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.

බැසිල් ඇමැති වූ පසු බඩු මිල අඩුවෙලා රටේ ආර්ථිකය යහපත් වේ යැයි කියන අය එලෙස පවසන්නේ නොදැනුවත්කම නිසයි. ඔවුන්ට සත්‍ය තත්ත්වය ගැන වැටහීමක් නැහැ. ඒ නිසා ඉන්ද්‍රජාලිකයන් මවා මෙය කළ හැකි නොවෙයි. පියවරෙන් පියවර ඉදිරියට යා යුතු වෙනවා. 2014 – 2015 මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ යුගයේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 7.4ක් වුණා. එහෙත් 2019 වන විට යහපාලන ආණ්ඩු සමයේ 2.3ට පහළ බැස්සා. ඊට පසු ඇතිවූ කොවිඩ්-19 වර්ධනය නිසා විශාල ලෙස ආර්ථික කටයුතු පහළ බැස්සා. ජන ජීවිතය කඩා වැටුණු අතර රටේ ආර්ථික වර්ධන වේගයද අඩපණ වුණා. එහෙත් 2021 ආරම්භය වන විට අපට මෙම තත්ත්වය මඳක් හෝ වර්ධනය කර ගැනීමට ලැබීම වාසනාවක්.

ඇමැතිවරයා පවසනුයේ කොවිඩ් රෝග තත්ත්වය ආර්ථික කටයුතු අඩපණ වීම මෙන්ම රජයේ ආදායම අඩුවීමටද බලපා ඇති බවයි. අපේක්ෂිත ඉලක්කවලට ළඟාවීම ප්‍රායෝගිකව අපහසු වී ඇති අතර රට සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු සියල්ල මුලින් තිබූ තත්ත්වයෙන් ඔබ්බට නංවාලීම අපහසු බවයි ඔහු පවසන්නේ. කෙසේ වුවද දැනට යම් පමණකට හෝ හිස ඔසවමින් පවතින ආර්ථික තත්ත්වය ආපසු ඍණ තත්ත්වයට පත්කර නොගැනීම වැදගත් යැයි ඔහු අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජයවර්ධන පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන ආර්ථික සංඛ්‍යාලේඛන වැරදි බවය. 2021 වසරේ මුල් කාර්තුවේ රටේ ආර්ථිකය සියයට 4.3කින් වර්ධනය වී තිබේ යැයි පැවසීම පිළිගත නොහැකිය යන්න ඔහුගේ අදහස වේ. ඔහු කියන්නේ සත්‍ය ආර්ථික වර්ධනය 4.3ක් නොව සියයට 2.5ක් පමණක් බවය. 

මේ පිළිබඳ රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්නගෙන් විමසූ විට ඔහු පැවසුවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත මෙම දත්ත නිර්මාණය වී ඇත්තේ එයට පෙර වර්ෂය සමඟ සංසන්දනය කිරීමෙන් නිසා මෙම අගයන් නිවැරදි නොවන බවයි. 2021 මුල් කාර්තුවේ ආර්ථික වර්ධනය 2020 වසරේ මුල් කාර්තුව හා සසඳා ප්‍රකාශයට පත් කළද, එම වර්ෂයේ ආර්ථිකය අක්‍රීයව තිබූ නිසා එය සමඟ සංසන්දනය කර ප්‍රකාශ කිරීමෙන් ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබිඹු නොවන බව ඔහු කියයි. 2020 රටේ තිබුණේ සාමාන්‍ය ආර්ථිකයක් නොව විකෘති ආර්ථික තත්ත්වයකි. ඒ නිසා 2020 වෙනුවට සාමාන්‍ය තත්ත්වයෙන් ආර්ථිකය පැවැති 2018 වසර සමඟ සංසන්දනය කර ප්‍රකාශ කළා නම් එයින් සත්‍ය තත්ත්වය නිරෑපණය වන බව ඔහුගේ අදහසයි. ඔහු මෙසේද කියයි.

ආර්ථික වර්ධනය දළ දේශීය නිෂ්පාදිතයේ අංශ 3ක් යටතේ ගණන් ගන්නවා. ඒවා නම් කෘෂිකර්මය, කාර්මික හා සේවා අංශයි. පසුගිය වසර දෙක තුනම පාස්කු ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය නිසා රටේ ආර්ථිකය බිඳ වැටුණා. සංචාරක ව්‍යාපාරය, විදේශ ප්‍රේෂණ ලැබීම නැවතුණා. රටේ කර්මාන්ත බිඳ වැටුණා. නිෂ්පාදන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය එක තැන නැවතුණා. 2021  වන විට ආර්ථික බුබුළු තුළදී වුවත් ආර්ථික කටයුතු යම් පමණකට සිදුවුණා. නිෂ්පාදනය පටන් ගත්තා. සංචාරකයන් ටික ටික හෝ පැමිණියා. ඔන්ලයින් ක්‍රමයට හෝ සන්නිවේදනය ඇතිවුණා. 2020 දී ආර්ථිකය ඍණ 3.4ට පත්වූයේ කර්මාන්ත එක තැන නැවතීම නිසයි. ශ්‍රමිකයන් සිටියත්, කර්මාන්තශාලා තිබුණත් ඉල්ලුම ලැබුණත් කර්මාන්ත පටන් ගන්න බැරිවුණා. නිෂ්පාදනය නැතිවුණා. එය කඩා වැටීමක් නොව නැවතීමක්.

රජය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කළා. රුපියල් 5000 බැගින් බෙදා දුන්නා. වෙනත් සහන දුන්නා. ඒවා ආර්ථිකය සක්‍රීය කිරීමට සමත් වේ යැයි බලාපොරොත්තු වුණා. මෙහිදී සිදුවූයේ ඉල්ලුම වැඩිවීමයි. පොලී අඩුවීම නිසා පාරිභෝගිකයන් බැංකුවල ඇති තැන්පතු ආපසු ගැනීමට පෙළඹුණා. එහෙත් එම මුදල් පාරිභෝජනයට මිස ආයෝජනයට යොදාගන්නේ නැහැ. ආර්ථිකයේ මුදල් සැපයුම නිෂ්පාදනයට හිතකරයි. එහෙත් නිෂ්පාදනය පහළ යද්දී මුදල් සැපයුම වැඩිවීම නිසා ඉල්ලුම වැඩි වී භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නොවැළැක්විය හැකියි. මෙහිදී සිදුවන්නේ උද්ධමනය ඉහළ ගොස් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වීමයි. බිලියන ගණන් මුදල් මුද්‍රණය කර මුදාහැරීම නිසා මිල මට්ටම ඉහළ යනවා. එම මුදල් ආර්ථිකයට එකතු වුවද නිෂ්පාදනයට එන්නේ නැහැ. ඉංග්‍රීසි U අකුරේ හැඩයට ආර්ථිකය පහළ ගොස් ස්වල්ප කාලයකට පසු ඉහළ නැගීමයි සිදුවිය යුත්තේ. එහෙත් එලෙස සිදුවීම බලාපොරොත්තු වූ ලෙස සිදුවන්නේ නැහැ. ඒ නිසා ලැබෙන ප්‍රතිඵල භයානකයි.
කොවිඩ්-19 රුල්ල නිසා මුදල් තිබුණට නිෂ්පාදනය කළ නොහැකියි. රෝගයෙන් ඇතිවන හානි වැළැක්විය හැක්කේ එය පාලනය කිරීමෙන් පමණයි. රෝගය අවුරුදු ගණන් ඇදීම නිසා සිදුවන්නේ රටේ ආර්ථිකය පහළ බැසීමයි. මෙහිදී දේශපාලනය අතහැර දැඩි ආර්ථික විනයක් ඇතිව කටයුතු කළ යුතුයි.

2008 – 2009 ආර්ථික අර්බුදය ඇතිවූයේ හරිහැටි නිෂ්පාදනය නොකිරීම නිසයි. මුදල් මුද්‍රණය කිරීම මෙයට විසඳුම නොවෙයි. අමෙරිකාව වැනි රටවලට නම් ඩොලරය මුද්‍රණය කිරීමෙන් ගොඩ යන්න පුළුවන් වෙනවා. එයට හේතුව ඩොලර් ජාත්‍යන්තරව භාවිත කරන මුදල ඒකකයක් නිසයි. එහෙත් රුපියල එසේ නොවෙයි. ශ්‍රී ලංකා රුපියල අපේ රට තුළ පමණයි පාවිච්චි වෙන්නේ.

අපේ ආනයන සීමා කරලා වෙළෙඳ ශේෂය යහපත් යැයි පැවසීම වැරදියි. එය කළ යුත්තේ අපනයන වැඩි කිරීමෙන්. විදේශ ප්‍රේෂණ වැඩි කළ යුතුයි. කඩා වැටුණු ආයතන ගොඩනැගිය යුතුයි. තිබෙන ඒවා ශක්තිමත් කළ යුතුයි. රාජ්‍ය සේවයේ දැනට ලක්ෂ 16ක් පමණ ඉන්නවා. මෙය තවත් ලක්ෂයකින් වැඩි කිරීමෙන් සිදු කරන්නේ කුමක්ද? නිෂ්පාදනය ඉහළ යනවාද? දැනට ඇති අර්බුද නොවිසඳා තවත් අර්බුද වැඩිකර ගැනීමක්. රටේ ජනගහණයෙන් සියයට 50ක් යැපෙන්නේ කෘෂිකර්මයෙන්. පොහොර ගැටලුව නිසා සියයට 10ක අස්වැන්න අඩුවුණා යැයි කියන්නේ සියයට පනහක ආර්ථිකය අඩාල වීමයි. අස්වැන්න අඩු වූ අයට වන්දි ගෙවන්නට සූදානම් වුණාට එයට මුදල් නැහැ. තවත් සල්ලි මුද්‍රණය කළ යුතු වෙනවා.

පසුගිය වසර 3ක පමණ ඇත්තේ රටේ කෘත්‍රිම ආර්ථිකයක්. එම ආර්ථික දත්ත සමඟ ගලපා තීරණ ගැනීම අයෝග්‍යයයි. එයින් සිදුවන්නේ සියල්ලන්ම නොමග යාමක්. සියල්ල දම්වැලක පුරුක් මෙන් එකිනෙක බද්ධ විය යුතුයි. ඒ නිසා අද ආර්ථිකය ගැන ඇගයීමට මේ කෘත්‍රිම දත්ත පාදක කර නොගෙන සාමාන්‍ය තත්ත්වයේදී තිබූ දත්ත පාවිච්චි කළ යුතුයි. ඒ නිසා 2020 – 2019 වසර පාදක කරගෙන නිකුත් කරන සංඛ්‍යාලේඛන සාවද්‍ය බව කිව යුතුයි. එයින් සිදුවන්නේ අද ඇති ගැටලු තව තවත් උග්‍ර කර ගැනීමක්.

 යසවර්ධන රුද්රිගූ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03