කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගර්භනී මව්වරුන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන්න යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත.
මේ වනවිට ගැබිණි මව්වරුන් දෙදහස් පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් වසංගතය ආසාදිත වී සිටින අතර ගැබිණි මව්වරුන් දහතුනක් කොවිඩ් හේතුවෙන් මියගොස් සිටිති. කොවිඩ් ආසාදිතව සිටින ගැබිණි මව්වරුන්ගෙන් එකසිය හැත්තෑ දෙනෙක් මේ වනවිටත් රෝහල්ගතව ප්‍රතිකාර ගනිති.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලීමක් අනුව ගැබිණි මව්වරුන්ද කොවිඩ් වසංගතයෙන් අවදානම් පිරිසක් බව තීරණය වීමත් සමඟ ගැබිණි මව්වරුන්ට කඩිනමින් එන්නත්කරණය සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අනුමැතිය හිමිවුණි.
ප්‍රතිශක්තිකරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ පිහිටා ඇති උපදේශක කමිටුව විසින් ආරක්ෂා කළයුතු විශේෂ කණ්ඩායමක් ලෙස ගර්භණී මව්වරුන්වද හැඳින්වූවා. ඒ අනුව ගර්භණී මව්වරුන්ටද එන්නත් ලබාදීමට සුදුසු බව තාක්ෂණික මණ්ඩලය තීරණය කළා.* යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මානව හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසීය.
කොවිඩ් වසංගතයේ පළමු හා දෙවැනි රුල්ලේදී කොවිඩ් ආසාදිත වූ ගැබිණි මව්වරුන්ගේ සංඛ්‍යාව එතරම් වැඩිවූයේ නැත. නමුත් කොවිඩ් තෙවැනි රුල්ලේදී ගැබිණි මව්වරුන් සෑහෙන සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනය විය. පළමු හා දෙවැනි රුල්ලේදී කොවිඩ් හේතුවෙන් ගැබිණි මව්වරුන් මියගිය බවට වාර්තා වී නැත. නමුත් තෙවැනි රැල්ලේදී ගැබිණි මව්වරුන්ගේ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ ගියේය. මේ හේතුවෙන් කඩිනමින් කොවිඩ් එන්නත්කරණය ගැබිණි මව්වරුන්ට ලබා දෙන්නැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ගර්භණී කාන්තාව කොවිඩ් ආසාදිතයකු ලෙස පත්වුවහොත් සාමාන්‍ය කොවිඩ් ආසාදිතයකුට සාපේක්ෂව ඇතිවන සංකූලතා තත්ත්වය යම් තරමකට හෝ වැඩිය. මේ සංකූලතා තත්ත්වයක් උග්‍ර වුවහොත් ජීවිත අවදානමකට පවා පත්විය හැකිය. මේ වනවිට මියගිය කොවිඩ් ගැබිණි මව්වරුන්ට එවැනි විවිධ සංකූලතා ඇතිවී ඇති බව පෙනී ගොස් ඇත.
මේ රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සාර්ථක විකල්පයක් ලෙස එන්නත්කරණය හඳුන්වන්න පුළුවන්. එමනිසා අවදානමක් ඇති, ගර්භණී මව්වරුන්ට විශේෂයෙන් අවුරුදු තිහට වැඩි ගර්භණී කාන්තාවන්ට, හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, වකුගඩු රෝග වැනි අනෙකුත් රෝග තත්ත්වයෙන් පෙළෙන ගර්භණී මාතාවන්ට කොවිඩ් රෝගය ආසාදනය වුණොත් එය අවදානම් නිසා තමයි මෙම එන්තත්කරණය වඩා සුදුසු බව තීරණය කළේ.* යැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසීය.
මේ අනුව මේ වසරේ ජූනි මස නව වැනිදා සිට ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත්කරණය ආරම්භ කර ඇති අතර එලෙස ගර්භණී මව්වරුන්ට ලබාදෙනු ලබන්නේ සයිනෝෆාම් එන්නතය. කෙසේ වුවද ගර්භණී මව්වරුන්ට ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබාදීමේ හැකියාව පිළිබඳවද සොයා බලන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති පවුල් සෞඛ්‍ය කාර්යාංශය කොවිඩ් රෝග ලක්ෂණ පවතී නම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද ගැබිණි මව්වරුන්ගෙන් ඉල්ලීමක්ද සිදුකර තිබේ.
දිශානි ජයමාලි කරුණාරත්න