2021 ජුලි 24 වන සෙනසුරාදා

කටුනායකදී වෙඩිකෑ පාතාලේ පිංතු

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

පාතාල කල්ලියක් සීදූව පැත්තෙ කරක් ගහනවා. මොකක් හරි වැඩක් දෙන්න ලැස්ති වෙන්නේ... එතැන මාකඳුරේ මධූෂ්ගේ ගෝලයොත් ඉන්නවා. කට්ටිය අලුත් වෙසල් ජීප් එකක යනවා එනවා....

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු එම කණ්ඩායමේ බුද්ධි නිලධාරීන් වෙත මේ තොතුරු ලැබී තිබුණේ පසුගිය 17 වැනිදා රාත්‍රියේදීය.

ඔත්තුකරු විසින් ලබාදුන් තොරතුරක් සමඟ සැනෙකින් රුස්වූ නිලධාරීහු පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ඇරඹූහ. ඒ සමගම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව හා සීදූව ප්‍රදේශවල විශේෂ මෙහෙයුමක නිරතව සිටියහ. ඔත්තුකරු විසින් තොරතුරු ලබාදුන් ආකාරයට එම කරුණු පිළිබඳ අවධානයෙන් මෙහෙයුමට දායක වූ නිලධාරීන් සීදූව හා මීගමුව පොලිස් බල ප්‍රදේශවලට අයත් මාර්ග කිහිපයක විශේෂ ආරක්ෂක ජංගම මෙහෙයුමක් ආරම්භ කර තිබිණ.

හෝරා කිහිපයක් පුරා ක්‍රියාත්මකව තිබූ මෙහෙයුම අතරමැද සීදූව පොලිස් වසම හරහා දිවෙන බේස්ලයින් මාර්ගයේ නිලධාරීන් පිරිසක් රුඳී සිට ඇත. මේ අතර කාලයේ බුද්ධි තොරතුරු සනාථ කරමින් සැකසහිත වෙසල් වර්ගයේ මෙරෑන් පැහැති ජීප් රථය එම ප්‍රදේශය ඔස්සේ ධාවනය කෙරී තිබිණ. විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාළ රථය නැවැත්වීමට අණ කළද රථය නොනවත්ම ධාවනය කර ඇත.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් රථය ලුහුබැඳ තිබුණේ ඉන්පසුවය. විශේෂ කාර්ය බලකා නිලධාරීන් මගහැර පලායන්නට උත්සාහ කරමින් සිටි වාහන අංක තහඩු WP CAB 1571 දරන වෙස්ල් රථය තුළ උන් අයකු ගිනි අවියක් රුගෙන නිලධාරීන් වෙත ප්‍රහාරයක් එල්ලකර ඇත. ඊට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී පාතාල කල්ලියේ සිටි අයෙක් වෙඩි ප්‍රහාරයට ලක්විය. ඒත් සමග පලායාමට උත්සාහ කළ අපරාධකරුවන් දෙදෙනා සමඟ තුවාලකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ නිලධාරී කණ්ඩායම සමත්ව තිබුණි.

වෙඩි වැදිමෙන් තුවාල ලබා ලේ ගලමින් සිටි අපරාධකරු වහාම මීගමුව රෝහල වෙත යවා තිබිණ. මේ අතර සිදුවීම සම්බන්ධයෙන් සීදූව පොලිස්ථානය දැනුම්වත් කිරිමටද නිලධාරීන් පියවර ගෙන තිබුණි. ඒ වනවිට තුවාල ලබා අසාධ්‍යව පසුවූ අපරාධකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම අපරාධකරු මිහිඳුකුලසූරිය ලලිත් වසන්ත පිංතු හෙවත් ලලිත් පිංතු බවට සීදූව පොලිසියේ අපරාධ අංශ විමර්ශන නිලධාරීහු හඳුනාගෙන ඇත. ලලිත් පිංතු නැමැත්තා මිනීමැරුම් පහක් ඇතුළු ප්‍රධාන පෙළේ කොල්ලකෑම් විසිඑකකට සම්බන්ධ අපරාධකරුවෙකි. 

මාකඳුරේ මධූෂ් නැමැති හිටපු පාතාල කල්ලි නායකයාගේ සමීපතමයකු වූ ලලිත් පිංතු මාකඳුරේ මධූෂ් විදෙස්ගතව සිටියදී ඔහුගේ වුවමනාවට මිනීමැරුම් හා අපරාධ රුසක් සිදුකළ අයෙකි. මාකඳුරේ මධූෂ් ඝාතනය වීමෙන් පසුව ඔහු එතෙක් ගෙනගිය පාතාල බලය මොහු සියතට ගැනීමට සූදානමින් පසුවී ඇත්තේ පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුළ ලබාගැනීමට සිහින මවමිනි. ලලිත් පිංතු කාලයක් පුරා බන්ධනාගාරගතව සිටි අයකු වන අතර මීගමුව බන්ධනාගාරයේ රඳවා තබා සිට ඇත. එහි සිටියදී එවකට එම බන්ධනාගාර අධිකාරිව සිටි අනුරුද්ධ සම්පායෝ හා හිතවත්ව ඔහුට අතදිගහැර වියදම් කරමින් බන්ධනාගාරය තුළදී මොහු අති සුඛෝපභෝගී ජීවිතයක් ගතකර ඇතැයි කියයි. ශීතකරණ, මයික්‍රො අවන් ඇතුළු නවීන ගෘහ උපකරණ පවා ගෙන්වාගෙන සිරමැදිරියේ සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ අයකු බවට කියැවේ


ලලිත් පිංතු මාකඳරේ මධූෂ් ඝාතනය වීමත් සමග ව්‍යාජ නම් භාවිතා කරමින් විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස් කරගෙන ඇත. ඔහුගේ අදහස වී ඇත්තේ එම විදෙස් ගමන් බලපත්‍රයක් මගින් ඩුබායි රටට පලාගොස් මධූෂ්ගේ පාතාල ක්‍රියාකාරකම් සියල්ල මෙහෙයවීමටය. කෙසේ හෝ පිංතු මීට මාස දෙකකට ඉහතදී බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණ ඇති අතර පවතින කොවිඩ් වසංගතය නිසා විදෙස්ගතවීමට අවස්ථාවක් ලැබී නැත. මේ අතර ඉන්දියාවට හෝ මුහුද මගින් පලායාමට උත්සාහයක් ගෙන ඇති අතර කොවිඩ් උවදුර හමුවේ නාවික හමුදාව මුහුදු රුකවල් හා මෙහෙයුම් දැඩි කිරීම නිසා එම අවස්ථාවද වැළකී ඇත.

පිංතු නැමැත්තා අංක 48, පොදු වෙළඳපළ අසල, කටුනායක ලිපිනයේ පදිංචිව සිටි අයෙකි. අංක 7/26/A, ජයවර්ධනපුර, අමන්දොලුව, සීදූව ලිපිනයේ නිවෙසකද මොහු රුඳී සිට තිබෙන අතර 44 හැවිරිදි පිංතු ධීවරයකු වශයෙන් පෙනී සිටි අයෙකි. කාලයක පටන් අපරාධවලට සම්බන්ධ මොහු 1999 වර්ෂයේ අයකු පැහැරගෙන ගොස් පිහියෙන් ඇන පොලුවලින් පහරදී ඝාතනය කර ඇත. 2004 වර්ෂයේ අයකු පැහැරගෙන පහරදී ඝාතනය, 2011 වර්ෂයේ අයකුට වෙඩි තබා ඝාතනය, එම වසරේම වත්තල ප්‍රදේශයේ අයකුට වෙඩිතබා ඝාතනය කිරීම, මෙන්ම 2011 වසරේ කරාටිපුර රොෂාන් යන අයට වෙඩි තබා ඝාතනය කිරීම සිදුකර ඇත.

මේ අතර බහින්බස්වීමකදී 2002 වසරේ සීදූව පුද්ගලයකුට පිහියෙන් ඇන ඇත. එසේම මොහු විසින් සිදුකර ඇති කොල්ලකෑම් රාශියකි. ඒ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිට සිදුකළ කොල්ලකෑම් ගණනාවකි. මුදල් කොල්ලකෑම, ස්වර්ණාභරණ කොල්ලකෑම, ව්‍යාපාරික ස්ථාන කොල්ල ඇතුළු අපරාධ සීදූව, රාගම, කටුනායක, ජාඇල, මාතර බලගොල්ල, අලුත්ගම, මින්නේරිය, පිළිමතලාව හා මාරවිල ඇතුළු දිවයිනේ ප්‍රදේශ රුසකදී සිදුකර ඇති බව අනාවරණය වී ඇත. පිංතු බන්ධනාගාරගතව සිටියදී මාකඳුරේ මධූෂ් හා දුරකතන හෝ අන්තර්ජාලය හරහා සම්බන්ධ වී මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ අයෙකි. රන්හොටි ගෙදර වජිර කුමාර හා සුරසිංහ ආරච්චිගේ ගිහාන් ෆොන්සේකා, පිංතු හා එක්ව මාකඳුරේ මධූෂ්ට උදව් ලබාදී ඇත.

පසුගිය 17 වැනිදින රාත්‍රියේ සිදුකළ වැටලීම අතරතුර විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට මෙම අපරාධකරුවන් විසින් වෙඩි තැබූ මයික්‍රො වර්ගයේ ගිනි අවිය අත්අඩංගුවට ගෙන සැකකරුවන් දෙදෙනා සමග මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03