බලශක්ති උත්පාදනය සම්බන්ධව චීනය අනුගමනය කරන අලුත් පිළිවෙළ දෙස ලෝක ප‍්‍රජාව බලවත් අවධානයක පසුවෙයි. දශක කිහිපයකට කලින් පොසිල ඉන්ධන වැඩිපුරම භාවිත කරන රට බවට මහජන චීන සමූහාණ්ඩුව පත්වනු ඇති බවට අනාවැකි පළ විය. එහෙත් එය අනෙක් පැත්තකට හැරෙමින් තිබේ. චීනයේ බලශක්ති ප‍්‍රභව මහ පොළවෙන් ලැබෙන ඛනිජ තෙල්, ගෑස් සහ ගල් අඟුරැ වෙනුවට සූර්ය තාපය වෙත නැඹුරු වන බව අනාවරණය වෙයි. මෙම නැඹුරුව පරිසර හිතකාමී අලුත් බලශක්ති භාවිතාවක් වන අතර එහි රිද්මය ලෝකයේ විස්මයට හේතු වී තිබේ.
කර්මාන්ත හා ව්‍යාපාර වැඩි දියුණු වනවිට බලශක්තිය අවශ්‍යය. දැවැන්ත ජනගහනයක් සහිත චීනය වේගවත් ආර්ථික සංවර්ධනයකය. කාර්මීකරණය වෙමින් තිබේ. සංවර්ධනය සමඟ විදුලිය පරිභෝජනය ඉහළ යයි. මෙතෙක් ලෝකයේ වැඩිම පොසිල ඉන්ධන පරිභෝජනය කරන්නා වශයෙන් පෙනී සිටියේ ඇමරිකාවයි. වාර්තා පෙන්වන ලද පරිදි ලෝකයේ බොරතෙල් නිෂ්පාදනයෙන් හරි අඩක් පමණ ඇමරිකානු අවශ්‍යතා වෙනුවෙන් භාවිතා වෙමින් තිබුණි. සංවර්ධනය සමග බොරතෙල් භාවිත කිරීම සම්බන්ධයෙන් චීනය පෙරට එන බවක් දක්නට ලැබුණ නමුත් එය වෙනස් වී ඇත. ලෝකයේ බොරතෙල් සැපයුම්කරැවන් පවා චීනයෙන් ලැබෙන ඉල්ලුම කෙරෙහි මහත් බලාපොරොත්තු රඳවා තිබුණි. එක තීරයක්, එක මාවතක් වැඩ පිළිවෙළ අනුව චීනය සකස් කරන නව සේද මාර්ගයෙහි වැඩි බරක් ඉන්ධන ප‍්‍රවාහනයට යෙදවෙනු ඇති බවට තිබුණ අපේක්ෂා වෙනස් වී තිබේ. චීනය නව සේද මාවත සාගරය ඔස්සේ බිහිකරන අතර එය ඉන්ධන, ගල් අඟුරැ හෝ ගෑස් වෙනුවෙන් නොවන බව තහවුරැ වන කාරණයකි. චීනයේ සූර්ය කෝෂ විදුලිය භාවිතය වැඩිවන විට පොසිල ඉන්ධන ඉල්ලුම සීමා විය හැකිය. මුළු ලෝකයම සූර්ය බලයෙන් පවතින යුගයක් කරා යොමු වෙමින් තිබේ. ජගත් ප‍්‍රජාව සූර්ය බලය කෙරෙහි අප‍්‍රමාණ විශ්වාසයක් ඇති කරගෙන තිබේ. මහජන චීන සමූහාණ්ඩුව තුළ පවතින පරිවර්තනය ලෝක ප‍්‍රජාවගේ විස්මයට හේතු වී තිබේ.
ප‍්‍රාථමික යුගයේ සිට හිරැගේ බලය ගැන චීන වැසියන් තුළ බලවත් විශ්වාසක් තිබුණි. ලෝකයේ සියලුම ශිෂ්ඨාචාර හිරැ අදහන ලද නමුත් චීනයේ එහි ඇලියාව වෙනස්ය. සූර්ය නමස්කාරය අදත් විශ්වාසයකි. නැගෙනහිර ගැන මහත් ගෞරවයක් තිබේ. සූර්යයාගේ අසීමිත ශක්තිය ගැන අවබෝධ කරගෙන ඇති ලෝක ප‍්‍රජාව එහි ශක්තියෙන් අප‍්‍රමාණ ප‍්‍රයෝජන සැලසුම් කරමින් සිටිති. එරට සිදුවන බලශක්ති උත්පාදනයෙන් කිලෝවොට් බිලියන 140ක් සූර්ය කෝෂවලින් උත්පාදනය වන බව අලුත්ම වාර්තා පෙන්වයි. එය ලෝකයේ සිදුවන සෝලා විදුලිය උත්පාදනයෙන් හරි අඩක් බව දැක්වෙයි.
2015 වසර සමඟ සසඳන විට සූර්ය විදුලිය උත්පාදනය පස් ගුණයකින් නංවා ගන්නට 2020 වසර වනවිට චීනය සමත්ව තිබේ. ඉදිරි වසර පහ තුළ දැනට පවතින උත්පාදනය දෙගුණ වනු ඇති බව අලුත් වාර්තා දක්වයි. වසර 2060 වන විට චීනය, පරිසර හානියක් නැති සම්පූර්ණයෙන්ම හරිත රටක් බවට හැරවෙනු ඇත. චීනය කාබන් මුදා නොහරින රටක් බවට පත්වන බලවත් අභිලාශයක පසුවෙයි. එකී අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා වොට් ට්‍රිලියන 1.9 ක සූර්ය තාප විදුලිය ප‍්‍රමාණයක් නිපදවන දැවැන්ත ඉලක්කයක් සකස් කර ඇත. සූර්ය තාපයෙන් විදුලිය නිපදවීම සඳහා විශාලතම ආයෝජනය කරන්නේ චීනයයි. මුහුදේ පාවෙන සෝලා පැනල් පමණක් නොව ගංගා වල පවා සෝලා බලාගාර සවිකරමින් සිටී.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ පැවැති චීන කොමියුනියුස්ට් පක්ෂයේ දහනම වැනි සැසිවාරයේ දී සූර්ය විදුලිය කෙරෙහි අවතීර්ණ වන තීරණ ගණනාවක් ගෙන තිබිණ. 2021-26 දක්වා වන විදුලිය උත්පාදන පස් අවුරුදු සැලැස්මක් ප‍්‍රකාශයට පත් කිරීම එයින් එකකි. එම සැලසුම තුළ සෑම වසරකම සූර්ය තාපයෙන් විදුලිය උත්පාදනය දෙගුණ කරන පියවරක් යෝජනා කරන ලදී. දැන් එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාවට නැගෙමින් පවතින බව පෙනේ.
සූර්ය තාප විදුලිය ගැන චීනය පර් යේෂණ පවත්වන්නේ එක්දහස් නමසිය පනස් ගණන්වල සිටය. අභ්‍යවකාශයට ගමන් කරන යානාවලට විදුලිය උත්පාදනය පළමු අරමුණ විය. 1968 වසරේදී එය සාර්ථක කරගෙන තිබේ. 1975 වනවිට ඉතාම සුළු මට්ටමකින් ගෘහස්ථ පරිභෝජනය සඳහා සූර්ය විදුලිය උත්පාදන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කෙරිණ. එහි ප‍්‍රතිඵල සහ අතිශය ලාභදායී බව කෙරෙහි චීන පර් යේෂකයෝ නැඹුරැ වූහ. දෙවැනි හා තුන්වැනි පරම්පරාවේ දියුණුම සූර්ය කෝෂ නිපදවන්නට සමත්කමක් පෑහ. එවකට ජර්මනියේ නිෂ්පාදනවලට ලෝකයේ අවධානය යොමු වී තිබුණ අතර වැඩිම වෙළෙඳපොළ අයත් කරගත්තේද ජර්මනියයි. නමුත් චීනයේ විශාලතම ආයෝජන හා කර්මාන්ත පරිසරය ලෙහෙසියෙන් එම පසුබිම වෙනස් කර ඇත. නිෂ්පාදකයන්ට සහ සෝලා පද්ධති සවිකර විදුලිය නිපදවන අංශවලට චීනයෙන් ලැබුණ දිරිගැන්වීම් එහිලා බලපෑ සාධකයක් වූ බව පැහැදිලිය.
ජාත්‍යන්තර වාර්තා දක්වන අන්දමට 2020 දී ලෝකයේ රටවල් තිස් හතක් සිය බලශක්ති අවශ්‍යතාවයෙන් අඩුම වශයෙන් සියයට එකක් සූර්යයාගෙන් සපුරා ගන්නා තරමට දියුණු වී සිටියේය. ගෝලීය උණුසුම පාලනය කරන පියවර සඳහා ජගත් ප‍්‍රජාව පැරිස් සම්මුතියකට අත්සන් කර තිබේ. උණුසුම ඉහළ යන්නට හේතුවන සියලු පැති පාලනය කිරීම ආණ්ඩුවල වගකීමකි. පුනර්ජනනීය බලශක්තිය එහි වැදගත් අංශයකි. පරිසරය ආරක්ෂා කරන අතර අහිතකර වායු නිපදවන්නට හේතුවන සියලුම පැති ගැන වඩා විද්‍යාත්මකව පාලනය වැදගත් විය. සුළඟ, ජලය හා සූර්ය තාපය බලශක්තිය නිපදවන අංශ වශයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට යොමු වී තිබේ.
තාක්ෂණය හා ආයෝජනයට සම්පත් ඇති රටවල් සූර්ය බලයට හැරෙමින් තිබේ. එහි ආර්ථික වාසිය ඉතා වැදගත්ය. එකවරක් ආයෝජනය කළ පසු දශක කිහිපයක් නොමිලේ විදුලිය උත්පාදනය කෙරේ. රාත‍්‍රි කාලයට අවශ්‍යවන විදුලිය අවශ්‍යතා ගැන දැන් සැලකිල්ල යොමු කරයි. විදුලිය ගබඩා කළ හැකි බැටරි ගැන
පර් යේෂණ වේගවත් වී ඇත. එවැනි පර්යේෂණ සාර්ථක වුවහොත් චීනය වැනි රටවල් ලෝකයේ බොරතෙල් හා ගෑස් භාවිත කිරීම අතීතයේ සිහිවටනයක් බවට හරවන්නට ඉඩ තිබේ.
මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.
මිලින්ද මොරගොඩ