2021 ජුලි 24 වන සෙනසුරාදා

කුඩු විකුණන බෝනික්කෝ

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 44

මත්ද්‍රව්‍ය ජාවාරම්මු කලින් කලට විවිධ උපක්‍රම භාවිත කරමින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා හුවමාරුව සිදු කරති. මේ වෙනුවෙන් ලංකාවේ භාවිත කළ නවතම ක්‍රමයක් ලෙස කුරියර් සේවාව හරහා ත්‍යාග ප්‍රවාහනය කරන ආකාරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ සිදුවීමක් අනාවරණය වී තිබේ. කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදු කළ මෙහෙයුමකට පසුව මෙකී ජාවාරම සම්බන්ධයෙන් වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මීට දවස් හතකට පමණ ඉහත දිනයකි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත ලැබුණු තොරතුරකි.

අලුත් කතාවක් තියෙනවා... කොළඹ ඉඳලා අනුරාධපුරයට හෙරොයින් ට්‍රාන්ස්පෝට් එකක් වෙනවා. හැබැයි මේක කාටවත් සැකයක් හිතෙන්නේ නෑ... ගිෆ්ට් අයිටම් ඇතුළේ දාලා කුරියර් සර්විස්වලින් තමයි යවන්නේ. අදත් ඕඩර් එකක් යවනවා. මම මේ කියන කුරියර් සර්විස් එකට ගිහින් මම දෙන ඇඩ්‍රස් එකට යවන පාර්සලය චෙක් කරන්න.

ඔත්තුකරු විසින් මෙසේ කියමින් කුරියර් ආයතනයක නම හා ලිපිනය සමඟ අනුරාධපුරය ප්‍රදේශයේ ලිපිනයක් ලබා දී තිබිණි. වහාම ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු එම කුරියර් ආයතනයට ගොස් කරැණු පහදා සැකසහිත පාර්සලය පරීක්ෂා කිරීමට කටයුතු කළහ. එහිදී ඔත්තුකරු විසින් ලබා දී තිබූ අනුරාධපුරය ප්‍රදේශයේ ලිපිනයක් සහිත තරමක පාර්සල හමුව තිබෙන අතර එය විවෘත කර බැලීමේදී සෙල්ලම් බෝනික්කකු දකින්නට ලැබී ඇත. ඔත්තුකරැ කියා තිබුණේ ත්‍යාග හෝ එවැනි භාණ්ඩ ප්‍රවාහනය මුවාවෙන් හෙරොයින් ප්‍රවාහනය කරන බවය. මේ නිසා නිලධාරීහු සූක්ෂ්මව එම රෙදි බෝනික්කන් පරීක්ෂා කර පුළුන් පුරවා මැහුම් දමා තිබූ කෙළවරක් ගලවා බැලූහ. එහිදී හෙරොයින් ඇසුරෑ පාර්සල එම බෝනික්කන් තුළ සඟවා තිබියදී සොයාගෙන තිබුණි. මේ ආකාරයට ඔත්තුකරැ විසින් ලබාදුන් තොරතුර සනාථ වූ පසුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීහු අනුරාධපුර ප්‍රදේශයේ අදාළ ලිපිනය හා එම පුද්ගලයා පිළිබඳව විමර්ශනය කිරීමට කටයුතු කළහ. රහසිගතව එම විමර්ශනය සිදු කරන අතරතුර තවත් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණේ හෙරොයින් සමඟ බෝනිකකා ඇසුරෑ පාර්සලය කුරියර් ආයතනය වෙත ලබා දුන් පාර්ශ්වය පිළිබඳ සෙවීමටය.

ඒ අනුව කොළඹ කොම්පඤ්ඤවීදිය ලිපිනයක් සම්බන්ධයෙන් සොයා බලා තිබුණු අතර එහි නම් සඳහන්ව තිබුණේ කාන්තාවකට අයත් එකකි. ඇය විසින් එම බෝනික්කා සහිත පාර්සලය අනුරාධපුර ලිපිනය වෙත යැවීම සඳහා බාරකර ඇත. සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව කුඩු නෝනි යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තියකි. ඇය මීට ඉහතදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණු අතර ඒ හෙරොයින් ජාවාරම සිදු කිරීම සම්බන්ධයෙනි. 49 හැවිරිදි වියේ පසු වූ ඇය කාලයක සිට හෙරොයින් ජාවාරම සිදු කළ කෙනෙකි.

මෙම කාන්තාව පිළිබඳව සිදු කළ වැඩිදුර විමර්ශනයේදී ඇයගේ තාවකාලික පදිංචිය කඩුවෙල ප්‍රදේශයේ බව හඳුනාගෙන ඇත. එම නිවෙසට මාසික කුලිය වශයෙන් රුපියල් 35,000ක් ලබාදෙන බවද කියා ඇත. තෙමහල් නිවෙසක් වූ එය ඉතාම සුරක්ෂිත එකකි. එම නිවෙස තුළ සිදු කළ පරීක්ෂා කිරීමේදී කුඩු නෝනිට අයත් හෙරොයින් ග්‍රෑම් 56ක් සොයාගැනීමට හැකිව තිබිණි. මේ සමඟ අනුරාධපුරය ලිපිනයේ කුඩු පාර්සලය ලබාගැනීමට නියමිතව සිටි පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට හැකිවිය. අනතුරුව සැකකාරිය හා සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රැඳවුම් නියෝග යටතේ තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙම කුඩු නෝනි ලෙස හඳුන්වන ජාවාරම්කාරිය ත්‍යාග පාර්සල් හා වෙනත් උපකරණ හා භාණ්ඩ කුරියර් ආයතන හරහා යවන මුවාවෙන් ඒ ආශ්‍රිතව හෙරොයින් ප්‍රවාහනය කරන ජාවාරමේ නිරතව සිට ඇතැයි පැවසේ. මේ ආකාරයට ආරක්ෂක අංශ හා භාණ්ඩ ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතන මුලා කරමින් අසාමාන්‍ය ලෙස කුඩු ප්‍රවාහනය කරන නවතම ප්‍රවණතාවක් පවතින බවට හෙළිව තිබේ. මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් සොයා බලන විමර්ශන වැඩිදුරටත් ක්‍රියාත්මකය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර