2021 ජුලි 24 වන සෙනසුරාදා

ඡන්ද නීති ඇද අරින්න අලුත් යෝජනා

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 47

මේ වන විට එම නීති සකසා වසර 40කට ආසන්න කාලයක් ගතවී ඇති අතර වර්තමාන සමාජයට ගැලපෙන පරිදි ඒවා යාවත්කාලීන විය යුතුය. මැතිවරණ නීති රීති සංශෝධනය විය යුතු බවට පසුගිය කාලය පුරාම විවිධ දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා මැතිවරණ ක්‍රියාකාරීහු විසින් දිගින් දිගටම ඉල්ලා සිටියහ. 

දැනට පවතින මැතිවරණ හා ඡන්ද විමසීම පිළිබඳව පවතින නීති රීති ප්‍රමාණවත් නොවන බවද ඇතැම් දේශපාලකයන් මේවායේ පවතින හිඩැස්වලින් රිංගා යමින් විවිධ දූෂණ ක්‍රියාවල නිරතවන බවද ඔවුන් පෙන්වා දී තිබිණි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේ පැරණි නීතිරීති යාවත්කාලීන කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය වන බවත්,. කරුණු එකක් දෙකක් සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි නමුදු. මැතිවරණ නීති සංශෝධනයට අදාළ කරුණු රාශියක් පවතින හෙයින් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා ජනතා අදහස් විමසා එම නීති සංශෝධනයට කටයුතු කිරීම සඳහා මෙවැනි කමිටුවක් පත්කරන ලෙසට විවිධ සංවිධාන ඉල්ලා තිබූ බවත්ය.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා නිර්දේශ ලබාගැනීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්  සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ කාරක සභාවක් පසුගියදා පත් කළේ එම ඉල්ලීම් අනුවය. මැතිවරණ ව්‍යුහයේ හා නීති රීතීවලට අදාළ ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කෙරෙන  සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් මෙම විශේෂ කාරක සභාවට පැවරී ඇති වගකීමය. මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සයමසක් තුළ අවසන් කොට එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගනු ඇත.  මින් ඉහත 2003 වසරේ මෙවැනි විශේෂ කාරක සභාවක් පත් කෙරිණි. එම පාර්ලිමේන්තු කාරක සභාව සාමාජිකයන් 32කුගෙන් සමන්විත වූ අතර මෙවර සිටින්නේ සාමාජිකයන් 15 දෙනෙකි.

පිළිගත් දේශපාලන පක්ෂවලට තම යෝජනා ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉල්ලා තිබූ අතර පසුගිය ජුලි  15 දින දක්වා ඒ සඳහා කාලය ලබා දී තිබිණි. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 10 ක්  එම කමිටුවට යෝජනා ඉදිරිපත් කර තිබිණි. මේ හැර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි ප්‍රධානීන්ගෙන්ද, මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරන සංවිධාන මෙන්ම සිවිල් සංවිධානවලින්ද, මහජනතාවගෙන්ද ඒ සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු කර තිබේ. යෝජනා ලබා දෙන අයගෙන් වාචික සාක්ෂි ලබා ගැනීමට කාරක සභාව අදහස් කරන්නේ නම් අදාළ පාර්ශවයන් එම සභාව හමුවට කැඳවීමටද තීරණය කර තිබේ.

මෙම කාරක සභාවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයද තම යෝජනා ඉදිරිපත් කර තිබේ. එම මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට වඩාත් උචිතම මැකිවරණ ක්‍රමය වන්නේ සමානුපාතික මැතිවරණ ක්‍රමය බවයි. එහෙත් සමානුපාතික මැතිවරණ ක්‍රමයක් පැවතියද එය ආරක්ෂා කළ හැකි නීති පැවතිය යුතුය. ඒ සඳහා නියාමනයක් අවශ්‍යය. එහෙත් කිසිදු ආණ්ඩුවක් එම නීති නියාමනය කොට නොමැත. අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වූයේ එබැවින් යැයි ඔහු පවසයි. 

පසුගිය කාලයේ පක්ෂ මාරු කිරීම්, එකම පක්ෂයේ නියෝජිතයන් අතර ගැටුම් වැනි කරුණු සම්බන්ධයෙන් කිසිම ආණ්ඩුවක් කිසිම පියවරක් ගත්තේ නැහැ. නියාමනයක් සිදු වුණේත් නැහැ. අපේක්ෂකයකුට සමස්ත දිස්ත්‍රික්කය පුරාම ප්‍රචාරක කටයුතු කිරීමට සිදු වුණා. මෙවැනි  ක්‍රියා හේතුවෙන් ජනතාවට මනාප ක්‍රමය එපා වුණා. මේ වන විට සමානුපාතික මැතිවරණ ක්‍රමය ඉතා නරක අඩියකට පත් වෙලා. ඒ නිසා මෙම ක්‍රමය වෙනස් කළ යුතු බවට ප්‍රකාශ වෙනවා. එම නිසා දැනට පවතින ක්‍රමය ඉක්මවා යන සියලු දෙනාට  නියෝජනයක් ලැබෙන, මැතිවරණ ප්‍රචණ්ඩත්වය අවම කරන, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වැළැක්විය හැකි ක්‍රමවේදයක් හඳුන්වාදීම සඳහා ජනතාවගෙන් හා දේශපාලන පක්ෂවලින් අදහස් හා යෝජනා ලබා ගැනීම අවශ්‍යයයි.. ඒ සඳහා අප මධ්‍යස්ථානය මගින්ද කාරකා සභාවට යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා.* යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර පසුගියදා එම කාරක සභාවට තම යෝජනා ඉදිරිපත් කළ පැෆරල් සංවිධානයේ නියෝජිතයන් කොට්ඨාස හා සමානුපාතික නියෝජනය ඇතුළත් මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් මෙරට පැවතීම වඩාත් සුදුසු යැයි යෝජනා කර තිබේ.
මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා 
පසුගිය කාලය පුරාම මැතිවරණ ක්‍රම නිර්මාණය කළේ රටට උචිත වන පරිදි නොව දේශපාලන පක්ෂවල අවශ්‍යතාව අනුවයි. බොහෝ විට බලයේ සිටින පක්ෂය තවදුරටත් තම බල ව්‍යුහය ආරක්ෂා කර ගැනීම, දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට තමන්ගේ මන්ත්‍රිධුර ප්‍රමාණය එසේම තබා ගැනීම වැනි තාක්ෂණික කරුණුවලට වැඩි අවධානයක් යොමු කළා. අප කිව්වේ මෙවැනි තාක්ෂණික කරුණු කෙරෙහි අවධානය යොමු කළත් මැතිවරණ ක්‍රමයේ ගුණාත්මකභාවය පිළිබඳව මීට වඩා ගැඹුරින් සලකා බැලිය යුතු බවයි. තවත් වසර පනහක් හැටක් වැනි කාලයක් තුළ රටේ සිදුවිය හැකි ආර්ථික, සාමාජීය හා දේශපාලනික පරිවර්තනවලට ගැලපෙන ඒ ඒ වෙනස්කම් ග්‍රහණය තරගත හැකි මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය බව අප පෙන්වා දුන්නා. මේ හැර අප ප්‍රධාන යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. පළමුවැන්න පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය එසේම පවත්වා ගනිමින් ඒ සම්බන්ධයෙන් ඇති චෝදනාවලට විසඳුම් සෙවීම, දෙවැන්න වූයේ සමානුපාතික පදනම ආරක්ෂා කර ගනිමින් මිශ්‍ර ක්‍රමයකට යොමුවීම, එහිදී 50ට 50 හෝ 60ට 40 වැනි අනුපාතයකට එය සිදු කළ යුතු යැයි අප කියා සිටියා. තෙවැනි යෝජනාව වූයේ සමානුපාතික පදනම යටතේ මැතිවරණ කොට්ඨාශ ප්‍රමාණය වැඩි කිරීම. දැනට ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් තිබෙනවා. අපගේ අදහස වන්නේ මෙම දිස්ත්‍රික්ක 22 මැතිවරණ දිස්ත්‍රික්ක 40 වැනි ප්‍රමාණයක් දක්වා වැඩි කළ යුතු බවයි.* යනුවෙන් පැවසීය.

ඉහත කී යෝජනාවලට පරිබාහිරව තවත් වැදගත් යෝජනා කිහිපයක් මෙම සංවිධාන මගින් යෝජනා කර තිබේ. ඒ අතර ජනකොට්ඨාශයන්හි ජන ගණත්වයට අනුපාතිකව නියෝජනයක් ලැබිය යුතු වීම, මැතිවරණ ක්‍රමය සරල විය යුතු වීම සහ මැතිවරණ ක්‍රමය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු විය යුතු බව, මැතිවරණ අපේක්ෂක වියදම් සීමා කිරීම, ජනාධිපතිවරණය සහ මහමැතිවරණය එක් දිනයක පැවැත්වීම, මැතිවරණ කැලැන්ඩරයක් ක්‍රියාත්මක කිරීම, මැතිවරණ ක්‍රියාවලියේ සහ දැනට පවතින මැතිවරණ නීතියේ ඇති අඩුපාඩු හඳුනාගෙන යාවත්කාලීන කිරීම, රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපළ අවභාවිතය වැළැක්වීම, දඩ මුදල් සම්බන්ධ මැතිවරණ නීති යාවත්කාලීන කිරීම, සෑම ජන්දදායකයෙකුටම සාධාරණ ලෙස තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම, ප්‍රචාරණය සම්බන්ධ නීති මෙන්ම ප්‍රමාණවත් කාන්තා නියෝජනයත් තහවුරු කිරීම, පූර්ණ කාලීන ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම,  ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්දපොළට යාමට නොහැකි පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම, විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද කාරක සභාව හමුවේ අදහස් ප්‍රකාශ කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මහා මැතිවරණය ඇතුළු  සියලු මැතිවරණවලදී  කාන්තා නියෝජනය 30 සිට 70 දක්වා වැඩිකිරීම සහතික කළ යුතු යැයි සඳහන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර තිබේ. සියලු දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් සියයට 50ක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතු බවටද, පළාත් පාලන මට්ටමේ ඡන්ද සියයට 25෴ක කෝටාව නොවෙනස්ව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහාද විශේෂ කාරක සභාවට යෝජනා ඉදිරිපත් කිරීමට එම සංසදය තීරණය කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03