2021 ජුලි 24 වන සෙනසුරාදා

එකවර මතුවූ ඩබල් කොරෝනාව

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 60

කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එක් පුද්ගලයකුට එකවර ආසාදනය වීමේ හැකියාව ඇති බව සොයාගැනීමට දැන් වෛද්‍ය විද්‍යාඥයන් සමත්ව ඇත. ඒ ඇල්ෆා (බ්‍රිතාන්‍ය) සහ බීටා (දකුණු අප්‍රිකාව) යන ප්‍රභේද දෙකම ආසාදනය වී ඇති කාන්තාවක් ගැන බෙල්ජියමෙන් වාර්තා වීමත් සමගිනි.

කොරෝනා වෛරස් ප්‍රභේද දෙකක් එකවර ආසාදනය වීම ඉතා දුර්ලභ සිදුවීමක් බවත් එසේම මෙවැනි ද්විත්ව ආසාදන තත්ත්වයක් වාර්තා වූ ලොව ප්‍රථම අවස්ථාවද මෙය බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙම ද්විත්ව ආසාදනය සිදුව ඇත්තේ මෙම වසරේ මාර්තු මසදී මියගොස් ඇති 90 හැවිරිදි බෙල්ජියමේ කාන්තාවකටය. එම කාන්තාව කොවිඩ් එන්නත් කිසිවක් ලබාගෙන නොමැති බව සහ ඇයට කොරෝනා වෛරස් ප්‍රභේද දෙක ආසාදනය වී ඇත්තේ අවස්ථා දෙකකදී බව වෛද්‍යවරුන් තහවුරු කරගෙන ඇත.

කාන්තාව වෙනත් අනතුරක් හේතුවෙන් බෙල්ජියමේ OLV රෝහලට ඇතුළත් කර ඇති අතර ඈ කොවිඩ් ආසාදිතයෙක් බව එතැනදී වාර්තා වී තිබේ. මුලින්ම ඈ සතුව හුස්ම ගැනීමේ අපහසුව වැනි කිසිදු රෝගී ලක්ෂණයක් දක්නට නොලැබුණද ඉතා ඉක්මණින්ම ඇයගේ තත්ත්වය දරුණු අතට හැරී තිබේ. ස්වසන මාර්ගය ආශ්‍රිත රෝගී බව ඉහළ යාමෙන් දින 5ක් තුළ ඇය මියගොස් තිබුණි. නව වෛරස මාදිලි සඳහා පී.සී.ආර්. පරීක්ෂණ මගින් ඇය ‌වෙ‌ෙරස වර්ග දෙකකින් ආසාදිත බව වාර්තා වී ඇති අතර දෙවැනි පී.සී.ආර්. වාර්තාවද ඒ බව සනාථ කර ඇත.

මෙය ඉතාමත් දුර්ලභ අවස්ථාවක් බව වෛද්‍ය විද්වත්හු පෙන්වා දෙති. මීට පෙර  කොවිඩ් වෛරසය හා සමග සාර්ස් වැනි වෙනත් කොරොනා වෛරස ආසාදනය වූ අවස්ථා වාර්තා වී තිබේ. නමුත් නව කොවිඩ් වෛරසය වන SARS-CoV-2 වෛරසයේම  අවධානයට යොමුවිය යුතු බවට නම් කළ වෛරස මාදිලි දෙකක් ශරීර ගතවූ තැනැත්තෙක් වාර්තා ගතවූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර ජනවාරි මාසයේ බ්‍රසීලයෙන් තවත් මෙබඳුම දුර්ලභ සිද්ධි 2ක් වාර්තා වීය. ඒ කොවිඩ් වෛරසයේ ගැමා මාදිලිය සහ VUI-NP13L. ලෙස හඳුනාගත් තවත් විපරීත මාදිලියක් එකවර ආසාදනය වූ අවස්ථාවකි. පෘතුගාලයෙන් සහ එංගලන්තයෙන්ද මෙබඳු අවස්ථා 2ක් වාර්තා විය‍. ඉන්දියාවෙන්ද මුල් වතාවට මේ නොබොදා මෙවන් සිද්ධියක් වාර්තා වී ඇත. ඉන්දියාවේ ඇසෑමයේ වෛද්‍යවරියක කොවිඩ් රෝග ලක්ෂණවලින් පෙළෙද්දී කළ පරීක්ෂණ මගින් ඇය ඇල්ෆා සහ ඩෙල්ටා යන මාදිලි 2න්ම ආසාදිත බව සනාථ විය. නමුත් පසුව ඇය දැඩි අසාධ්‍ය මට්ටමට පත්නොවී සුවපත් ව තිබුණි. මේ වෛද්‍යවරිය එන්නත් මාත්‍රා දෙකම ලබාගත් තැනැත්තියක් බව පසුව වාර්තා විය‍.

නමුත් ඉහත කී අවස්ථාවන්ගෙන් පසු මේ ගැන උනන්දුව යටපත් වූ අතර මේ අහඹු අවස්‍ථාව මතුවන තුරැම මෙය දුර්ලභ සොයා ගැනීමක්ව තිබුණි. මේ ගැන වාර්තාව ඉදිරිපත් කළ වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ විවිධ මාදිලි එකවර ආසාදනය බොහෝවිට සිදුවනු ඇති බවත් නමුත් වෙනස් වෙනස් මාදිලි ආසාදිතව පවතීදැයි හඳුනා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ නොකෙරෙන හෙයින් මේ තත්ත්වය මෙතෙක් වසංවී තිබෙන්නට ඇති බවත්ය. මේ නිසා විවිධ මාදිලි හඳුනාගැනීම සඳහා ජාන අනුක්‍රමිකතා පර් යේෂණ බහුල කිරීමට උනන්දු විය යුතු බවටද ඔවුහු යොජනා කර තිබේ.

 සුගත් පී. කුලතුංගආරච්චි

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03