2021 ජුලි 31 වන සෙනසුරාදා

ඔන්ලයින් වෙළෙඳාමට බද්දක්!

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 23

අන්තර්ජාලය ඔස්සේ (online) ආනයනය කරන භාණ්ඩවලින් බද්දක් අයකිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“Online හරහා ආනයනය කරනු ලබන භාණ්ඩවලට මා දන්නා තරමින් බදු අයකිරීමක් සිදුවන්නේ නැහැ. නමුත් අපේ රටේ නිෂ්පාදකයකුගේ යම් නිෂ්පාදනයක් සිදු කරද්දී එයට විවිධාකාර බදු එකතු වෙනවා. පාරිභෝගිකයන්ටත් හානියක් නොවන්න, අපේ රටේ නිෂ්පාදන ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් ඒ සඳහා යම්කිසි බදු ක්‍රමයක් හඳුන්වා දීමක් සිදුවෙනවාද?” 

පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විමසූ එම ප්‍රශ්නයට අනුව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධව අදහස් දැක්වීය.

“ලොව පුරා විසිරී සිටින විවිධ ජාලා ලෝකය පුරා ව්‍යාප්ත වෙද්දී ඒ සඳහා රේගුවට වාර්තාවක් සිදුවන්නේ නැහැ. තැපැල් මගින් පාර්සල් හුවමාරු වෙද්දී රේගු අංශයක් ඒ තැපැල් දෙපාර්තමේන්තුවේ තියෙනවා. ඒ නිසා එයට එය ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් online ක්‍රමයේදී එය සිදුවන්නේ නැහැ. එම නිසා ඒ බදුකරණ හා සම්බන්ධ ක්‍රියාවලියක් පිළිබඳ සලකා බලනවා. ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වුණු විශේෂ ක්‍රමයක් අනුගමනය කරන්න බැහැ.” යැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව වෙනත් රටවල පවතින විද්‍යුත් වාණිජ වෙළෙඳාමේ තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවද මෙම බදු ගැනීම සම්බන්ධයෙන් දිවයින පුරා online ඔස්සේ භාණ්ඩ වෙළෙඳාමේ යෙදුණු ඉතා ජනප්‍රිය online ජාලයක් පවත්වාගෙන යනු ලබන අරුණ මනෝජ් මහතා පැවසුවේ මෙවැනි අදහසකි.

“Online ආනයනය කරනු ලබන භාණ්ඩවලට බද්දක් පැමිණීම හරිම අසාධාරණයි. පසුගිය කාලයේදී කොවිඩ් වසංගතයත් සමඟ වැඩිපුරම භාණ්ඩ හුවමාරු වූයේ online ක්‍රමය හරහායි. මේ බොහෝ භාණ්ඩ අපනයනය කරද්දී අපි පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ ඉතා අඩු මුදලකටයි. ඒක හරිම සාධාරණ මුදලක්. ඒ නිසාම online ඔස්සේ ගෙන්වනු ලබන භාණ්ඩවලට බොහෝ පාරිභෝගිකයන් පිරිසක් එකතු වුණා. ඉදිරියේදී අන්තර්ජාලය ඔස්සේ ගෙන්වන භාණ්ඩවලින් බදු අයකිරීමක් සිදුවනවා නම් මේ භාණ්ඩවල මිලත් ඉහළ යනවා. එහෙම වුණොත් ඉතා සාධාරණ මිලට ගත් ලොව පුරා ජනප්‍රිය නවීනතම භාණ්ඩ ඉතා වැඩි මුදලකට පාරිභෝගිකයන්ට ගැනීමට සිදුවේවි.”

මේ වන විට බොහෝ වෙළෙඳාම් සිදුවනු ලබන්නේ අන්තර්ජාලය ඔස්සේය. තමන්ගේ දුරකථනයේ කුඩා මුහුණතේ සටහන් වන ලොව නවීනතම උපාංග, අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කොට දින කිහිපයක් ඇතුළත නිවෙසටම ගෙන්වා ගැනීමේ හැකියාවක් ඇත. මේ නිසාම විශේෂයෙන් තරුණ පිරිස අතර online ඔස්සේ භාණ්ඩ ගෙන්වා ගැනීම පිළිබඳව ඇත්තේ දැඩි උනන්දුවකි. දුරකථන, ඇඳුම් පැළඳුම් පමණක් නොව විදුලි උපාංග පවා අන්තර්ජාලය ඔස්සේ ආනයනය සිදු කරයි. මේ නිසාම මෙම online ජාලය හරහා බොහෝ අයට රුකියා අවස්ථාද උදා වී ඇත.

“අපි දිවයින පුරා online ඔස්සේ භාණ්ඩ බෙදාහරිනවා. බද්දක් සම්බන්ධව තවමත් අපි දැනුවත් වෙලා නැහැ. නමුත් එහෙම බද්දක් අය කරන්නට සූදානම් වෙනවා නම් මේ මොහොතේ ඇත්තටම ඒක අසාධාරණයක්. මිනිස්සු හැමෝම ඉන්නේ ලොකු ආර්ථික ප්‍රශ්නයකයි. පසුගිය කාලවලදී විද්‍යුත් උපකරණ, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලට වුණත් හොඳ ඉල්ලුමක් තිබුණා. නමුත් කොවිඩ් වසංගතයත් එක්කම ඒ බොහෝ භාණ්ඩවලට ලැබුණේ අඩු ඉල්ලුමක්. සමහර භාණ්ඩවලට ඉල්ලුම් ලැබෙන්නේ නැති තරම්. ඉතින්.. එවැනි තත්ත්වයක් පැවතෙද්දී බද්දක් අය කරන්නට යාම ඇත්තටම අසාධාරණයක්.” යැයි අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ වෙළෙඳාමේ යෙදෙන රුවන් මහතා පැවසීය.

“සෙනඟ ගොඩේ තෙරපෙන්නේ නැතිව, අපි online ක්‍රමයට භාණ්ඩ ගෙන්වා ගත්තා. කොවිඩ් නිසා භාණ්ඩයක් මිලදී ගන්න හොඳම ක්‍රමය තමයි online ක්‍රමයට භාණ්ඩ ගෙන්වා ගැනීම. හැබැයි ඒකට තව තවත් බදු එකතු කරන්නට යාමෙන් සිදුවන්නේ සාධාරණ මිලකට, ඉතා පහසුවෙන් මිලදී ගත් භාණ්ඩයට වෙළෙඳුන් විසින් වැඩි මිලක් නියම කිරීමක් සිදුවීමයි. අවසානයේදී මේ හැම බද්දකින්ම අසාධාරණයක් සිදුවන්නේ පාරිභෝගිකයන්ට පමණයි.” අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගන්නා හර්ෂණ පීරිස් මහතා දේශයට පැවසීය.

කෙසේ වුවද අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ආනයනය කරනු ලබන ප්‍රධාන ජනප්‍රියම ජාලා කිහිපයකටම දුරකථනය ඔස්සේ කතා කළද ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට මැලි වූයේ තවමත් මෙය පාර්ලිමේන්තුවේ පමණක් ප්‍රකාශ වුණු, ස්ථිර නොවුණු ප්‍රකාශයක් වූ බැවිනි. කෙසේ වුවද ඔවුන්ගේ පොදු මතය වන්නේද මෙවැනි බද්දක් මේ මොහොතේ ගැනීම සුදුසු නොවන බවය.

I දිශානි ජයමාලි කරුණාරත්න