රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවෙසේ සේවය කළ බාලවයස්කාර දැරියක වූ ජූඩ් කුමාර් ඉෂාලිනීගේ සැකකටයුතු මරණයත් සමඟ ළමා මෙහෙකාර සේවය පිළිබඳ පුළුල් කතාබහක් නිර්මාණය වී තිබේ. ඉෂාලිනී කරත්වයට හා විවිධ වධ හිංසාවලට මෙන්ම ලිංගික අපයෝජනයටද ලක්ව ඇතැයි හෙළිදරව් වූ අතර ඇයට සාධාරණය ඉටු කරන ලෙසට ඉල්ලා වතුකරයේ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි උද්ඝෝෂණ ද ක්‍රියාත්මක විය. වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම අද ඊයෙක ආරම්භ වූවක් නොවේ. විශේෂයෙන් අධ්‍යාපනය ලැබිය යුතු බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ හෝ වෙනත් වෘත්තියක යෙදවීම නීතියෙන් තහනම්ය. වතුකරයේ ඇතැම් පිරිස් පවසන්නේ තම දරුවන් මෙහෙකාර සේවය සඳහා යවන්නේ තම නැතිබැරිකම් නිසා බවටය. තමන් ලබන වැටුපෙන් දරුවන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට අපහසු බව ඔවුහු කියති. ඉෂාලිනීගේ මවද තම දියණිය තැරුව්කරුවකුගේ මාර්ගයෙන් මෙහෙකාර සේවය සඳහා යවන්නේ තමන් ණය බරින් මිරීකී සිටි බැවින් යැයි ඇය පවසා තිබේ. රිෂාඩ්ගේ ගෙදරට ඉෂාලිනි ගෙන ඒමට පෙර තවත් බාලවයස්කාර දරුවන් 11 දෙනෙකු එම පවුලේ අයට ලබා දුන් බවට අනාවරණය වී තිබේ. මේ සියලු දෙනා වතුකරයේ දරුවන්ය. ආර්ථික අපහසුතාවන්ගෙන් පෙළෙන වතුකරයේ දිළිඳු දරුවන් මෙහෙකාර සේවය සඳහා කොළඹ ධනපතියන්ට ලබා දීමේ සංවිධානාත්මක මිනිස් ජාවාරමක් පවතින බවට අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට කියා තිබේ.
වතුකරයේ දරුවන් මෙහෙකාර සේවයට එවීම සම්බන්ධයෙන් දඬුවම් පැමිණිය යුත්තේ ඔවුන්ගේ මව්පියන්ට යැයි සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පලනි දිගම්බරන් “දේශය”ට ප්‍රකාශ කළේය.
“වතුකරයේ දරු දැරියන් මෙහෙකාර සේවයට යවන්න එපා කියන එක. අපි දේශපාලනයට පැමිණි දිනයේ ඉඳල කියපු දෙයක්. ඉස්සර වතුකරයේ දරුවන් වැඩි පිරිසක් මෙහෙකාර සේවයට ගියත් වතුකරයේ දේශපාලනඥයන්ගේ විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස දැන් ඔවුන් මෙහෙකාර සේවයට යැවීම බොහෝ සෙයින් සීමා වෙලා තියෙනවා.
ආර්ථික ප්‍රශ්න නිසා දරුවන් මෙහෙකාර සේවයට යවන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. එලෙස එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා සමස්ත වතුකරයටම නරක නාමයක් ඇතිවෙනවා. මෙවැනි ක්‍රියා නිසා ඉහළ සමාජයේ පිරිස හිතන්නේ වතුකරයේ දරුවන් පහසුවෙන්ම මෙහෙකාර සේවයට යොදා ගන්න පුළුවන් කියලයි. වතුකරයේ බොහෝ පිරිසකට ජීවත්වීමේ අසීරුතා තිබෙනවා. ඒත් දැන් වතුකරයේ මව්පියන් තමන්ට කුමන අන්දමේ ආර්ථික අපහසුකම් තිබුණත් දරුවන් අධ්‍යාපනයට යොමු කිරීමේ ප්‍රවණතාවක් තිබෙනවා. වතුකරයේ මව්පියන්ගේ එකම අරමුණ තමන් හිඟාකාල හරි දරුවන්ට අධ්‍යාපනය ලබා දීමයි. කලින් වතුකරයේ දරුවෝ අවුරුදු 16 වෙනකොට වත්තේම කම්කරුවන් බවට පත් වුණා. දැන් වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන නිසා වතුප්‍රජාව තුළින් බිහිවුණු ගුරුවරු, නීතීඥවරු, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් විනිශ්චයකාරවරුන්, ඉංජිනේරුවන් විශාල පිරිසක් සිටිනවා. කලකට ඉහත වතුකරයේ කම්කරුවන් ලක්ෂ දහයක් පමණ සිටියා. අද වන විට සිටින්නේ එක්ලක්ෂ විසිදහසක් වැනි පිරිසක් පමණයි. යම් මට්ටමකට ඉගෙන ගත් අය වතුකම්කරුවන් ලෙස වැඩ කරන්නේ නැහැ. ඔවුන් විවිධ රුකියාවල නිරතවෙනවා. දැන් වතුකරයේ දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ලබනවා.” යනුවෙන් පැවසීය.
වැඩිහිටියන් මෙහෙකාර සේවයේ යෙදවීමේ ගැටලුවක් නොමැති වුවද බාලවයස්කාර දරුදැරියන් කුමන හෝ වෘත්තියක යෙදවීම නීතියෙන් තහනම් වූවකි. මෙලෙස සේවයේ යොදවන දරුවන්ට නිසි වැටුපක්, ආහාරපාන හෝ සෞඛ්‍ය පහසුකම් හෝ නොලැබෙන බවට මෙන්ම ඔවුන් කෲරත්වයට පත්වන බවට ඉෂාලිනී පිළිබඳ සිදුවීම කදිම උදාහරණයකි. දරුවන් සේවයේ යෙදවීම වැඩිහිටියකු සේවයේ යෙදවීමට වඩා ලාබදායකයැයි ද, ඔවුනට අවම වැටුපක් හා ආහාර ස්වල්පයක් පමණක් ලබා දී තම අවශ්‍යතා ඉටුකරගත හැකි බවද ඇතැම්හු සිතති. එමෙන්ම ඔවුන් අතින් සිදුවන සුළු වැරැද්දකට පවා විවිධ අයුරින් කෲරත්වයට බඳුන් කිරීමට තමන්ට අයිතියක් ඇතැයිද ඔවුහු සිතති. ඔහු දරුවකු හෙයින් තමන්ට අවශ්‍ය පරිදි පාලනය කළ හැකියැයි හාම්පුතුන් සිතන නිසාය. ළමුන්ට එරෙහි කෲරත්වය පසුගිය කාලයේ ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කරයි. ගතවූ, මාස 06 ක් තුළ ළමයින්ට එරෙහි ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 4,740ක් එම අධිකාරියට ලැබී තිබේ.
අවුරුදු 16ට අඩු දරුවන් සේවයේ යෙදවීම තහනම් බවට නීති සම්පාදනය කෙරුණේ 2021 වසරේ ජනවාරි මාසයේය. එතෙක් පැවතියේ වයස අවුරුදු 14ට අඩු දරුවන් සේවයේ යෙදවිය නොහැකි බවට වන නීතියකි. නව නීතියේද අඩුලුහුඬුකම් රුසක් පවතින හෙයින් ළමා මෙහෙකාර සේවය තහනම් කිරීමට අවශ්‍ය නව සංශෝධන රුසක් පනතට එක් කිරීමට කම්කරු කොමසාරිස් දෙපාර්තමේන්තුව ක්‍රියා කරමින් සිටී.. කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාධ්‍යයට අනාවරණ කළ අයුරින් මේ වන විට රටපුරා ළමුන් 43,000ක් පමණ මෙහෙකාර සේවයේ මෙන්ම වෙනත් විවිධ රැකියාවල නිරත වේ. මේ දරුවන්ගෙන් වැඩි පිරිසක් විවිධ හේතූන් මත පාසල් අධ්‍යාපනය අතරමග කඩාවැටුණු පිරිසය.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ ස්ත්‍රීන් හා දරුවන් රැකියාවන්හි යෙදවීමේ ආඥා පනතේ දැනට පවතින නීතිය අවුරුදු 18 දක්වා වැඩි කරන ලෙසට නව නීති සැකසීම සඳහා නීති සම්පාදකවරයාට දන්වා ඇති බවයි. ගෘහස්ත සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනතක් සඳහාද මූලික කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති සම්පාදකවරායාට දන්වා තිබේ. නව පනත් සංශෝධනය කිරීමෙන් පසු සමස්ත අන්තරාදායක රැකියා සංඛ්‍යාව 71 දක්වා ඉහළ නැංවෙනු ඇත. එවිට වයස අවුරදු 18ට අඩු කිසිවකු රැකියාවක යොදාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.
“ළමයින් මෙහෙකාර සේවයට යවන මව්පියන් තමන්ගේ දරුවන් විකුණන් කන අය. ලංකාවේ වෙනත් පළාත්වල දුප්පත් ගම්මානවල ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් මව්පියන්ට ආර්ථික අපහසුතා නැද්ද? ඒ සියලු දෙනා තම දරුවන් මෙහෙකාර සේවයට යවනවද? ඉෂාලිනීගේ සිදුවීම සම්බන්ධයෙන් ගත්තොත් ඒ සම්බන්ධයෙන් දඬුවම් දිය යුත්තේ මව්පියන්ටයි. තම දරුවන් මෙහෙකාර සේවයට යවනවාද නැද්ද කියන එක සිතිය යුත්තේ මව්පියන්. වතුකරයේ බාලවයස්කාර දරුවන් ටික දෙනෙක් හරි මෙහෙකාර සේවයට යවන එක සම්පූර්ණයෙන් නවත්වන්න නීති සම්පාදනය විය යුතුයි. දරුවන් මෙහෙකාර සේවයට යවන අයට සහ තැරුව්කරුවන්ට දඬුවම් දිය යුතුයි.” යනුවෙන් දිගම්බරන් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටී.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුරේෂ් වඩිවේල් ප්‍රකාශ කළේ වතුකරයේ දූ දරුවන් සිටින්නේ විවිධ පුද්ගලයන්ගේ සල්ලාල ක්‍රියා සඳහා නොවන බවයි. තැරැව්කරුවන්ට වතුකරයේ දරුවන් කොළඹ ධනවතුන්ගේ නිවෙස්වල සේවය සඳහා රැගෙන යාමට තමන් ඉඩ නොතබන බවත්, අගනුවර සෑම නිවෙසකටම ගොස් දරුවන් සේවයේ යොදවා තිබේදැයි සොයා බලන බවත් පැවසූ ඔහු දරුවන් මෙහෙකාර සේවයේ යොදවන පිරිසට දඬුවම් කිරීම සඳහා පාර්ලිමේන්තුවට සෞදි ආරාබියේ පවතින නීති ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.
බස්නාහිර පළාත තුළ අවුරුදු 16ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදාගෙන සිටින නිවෙස් පරීක්ෂා කිරීමට පොලිසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. බාලවයස්කාර දරුදැරියන් මෙහෙකාර සේවයේ යොදවාගෙන සිටින නිවෙස්වල හාම්පුතුන්, තැරැව්කරුවන් සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා