2021 ජුලි 31 වන සෙනසුරාදා

කළු කඩේ කොන්ද කඩන්න සතොස පෙරට - ආචාර්ය බන්දුල ගුණවර්ධන

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 79

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩවල මිල දිගින් දිගටම ඉහළ යාම වැළැක්වීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය මේ දිනවල විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහළ හෙලීමට වෙළෙඳ අමාත්‍යාංශය පසුගිය සමයේ දිගටම යම් යම් පියවර ගත්තද ඒවා ප්‍රායෝගිකව ඵලදායී වී නැති බව යළිත් භාණ්ඩ මිල ඉහළ යාම අනුව පෙනී යයි. ජනතාව ආණ්ඩුවට චෝදනා කරන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමට රජයට ස්ථිරසාර වැඩපිළිවෙළක් නොමැති බවය. අතීසාරයට අමුඩ ගසන්නා මෙන් තත්ත්වය තීව්‍ර වූ විට එය පාලනය කිරීමට යම් යම් පැළැස්තර දැමුවද ඒවායින් නිසි විසඳුමක් ලැබී නැතැයි පාරිභෝගිකයෝ පවසති.

භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශය එකපිට එක ගැසට් නිවේදන නිකුත් කළද ව්‍යාපාරිකයන් එම ගැසට්ටුව තඹ සතයකටවත් ගණන් නොගෙන කටයුතු කරන බව පසුගිය දිනවල පෙනී ගියේය. ගැසට්වල සඳහන් මිලට වඩා වැඩි මිලට විවෘතව අලෙවි කිරීම සිදුවිය. මිල පාලන නිලධාරීන් හදිසි වැටලීම් කළද ඒවායින් සිදුවූ ප්‍රතිඵලයක් නැති විය. මෙයට ආසන්නතම උදාහරණය වූයේ සහල් මිලය. සහල්වලට වාර 4ක් පමණ මිල පාලනය කර ගැසට් නිකුත් කළද අද වන විටද සහල් අලෙවි කරන මිල තීරණය කරනුයේ ව්‍යාපාරිකයන් විසිනි. එය එසේ නම් මිල පාලන ගැසට් නිකුත් කරන්නේ කුමකටදැයි විමසීමට මහජනතාවට සිදුව තිබේ. ඇතැමුන් විමසන්නේ ආහාර ද්‍රව්‍යවල මිල තීරණය කිරීමට වෙළෙඳුන්ට ඉඩ දෙනවා නම් ආණ්ඩුවක් කුමටද කියාය.

භාණ්ඩ මිල පාලනය කිරීම පිළිබඳ ප්‍රධාන වශයෙන් වගකීම පැවරෙන්නේ වෙළෙඳ ඇමැතිවරයාටය. වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනයන් පසුගිය දිනවල ආනයනකරුවන් සහ තොග වෙළෙඳුන් සාකච්ඡා මේසයකට කැඳවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උපරිම මිල සඳහන් කර ගිවිසුම්වලට එළඹිණ. විශේෂ හේතුවක් නොමැති වූයේ නම් එම මිලට අලෙවි කිරීමට වෙළෙන්ඳෝ ඇමැතිවරයා සමඟ එක්වී සතුටින් විසිර ගියහ. එහෙත් එම ගිවිසුම් මිල තිබුණේ මාසයක පමණ කාලයකි. යළිත් ඔවුන් පුරුදු සෙල්ලමට වැටුණු අතර හිතු හිතූ අන්දමට මිල ඉහළ ගියේය. ගිවිසුම් අලුත් කළද මිල පහළ වැටුණේ නැත.

මේ අතර වැඩි මිලට ද්‍රව්‍ය අලෙවි කිරීමේ වරදට දැනට පවතින දඬුවම් ඉහළ නැංවීමට පියවර ගනිමින් තිබේ. එහි පළමු පියවර වශයෙන් සහල් වැඩි මිලට විකිණීමේ දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට රජය පියවර ගෙන ඇත. ඒ සඳහා වන නීති ප්‍රතිපාදන ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. පසුගියදා රටේ සියලුම වී නිෂ්පාදකයන් කැඳවා සාකච්ඡා කර රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට එකඟතාවක් ඇතිකරගත් අතර ඒ එකඟතාව මත විවිධ මිල ගණන්වලට වී මිලදී ගැනීම සහ සහල් අලෙවි කිරීම නවතාලීමට හැකිවන අතර වැඩි මිලට අලෙවි කරන්නන්ට ලක්ෂයක දඩයකට මුහුණදීමට සිදුවන බවද ඇමැතිවරයා කියයි.

සහල් මිල ඉහළ යාමට එරෙහි පියවරක් ලෙස සහල් ටොන් ලක්ෂයක් ආනයනය කර ආරක්ෂිත තොගයක් ලෙස ළඟ තබාගන්නා බව පසුගියදා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන අනාවරණය කළේය. රාජ්‍ය වාණිජ සමූපාකාර තොග වෙළෙඳ සමාගම දැනට අක්‍රියව පැවතියද එය යළි ප්‍රාණවත් කර ඒ හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට කටයුතු කරන බව වෙළෙඳ ඇමැතිවරයා පසුගියදා පැවසීය. ඒ අනුව දැනට මිල ඉහළ නගිමින් පවතින සීනි, කුකුළු මස්, පරිප්පු, අල, ලූනු සහ පොල්තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඍජුවම ඒ හරහා ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. වෙළෙඳපොළේ මේ වන විට පවතින අත්‍යවශ්‍ය භාණ්ඩවල කෘත්‍රිම හිඟයක් ඇතිකර මිල ඉහළ දැමීමේ ඇතැම් වෙළෙඳුන්ගේ ප්‍රයෝගකාරී වැඩපිළිවෙළ අඩපණ කිරීම මෙහි අරමුණ බව ඇමැතිවරයා පවසයි. පෞද්ගලික අංශය සතු ඒකාධිකාරය බිඳ දැමීම මෙහි අරමුණ වන අතර ඊට අදාළ යෝජනාව අනුමැතිය සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩලයට යොමුකර ඇති බවද ඇමැතිවරයා පවසයි.
මේ වන විට ස.තො.ස. විවෘත වෙළෙඳපොළේ පවතින මිලට මැදිහත් වී මිල හැකි තරම් දුරට අවම කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන දේශයට අනාවරණය කළේය.

“රජයට මිල පාලනය කළ හැකි භාණ්ඩ මෙන්ම මිල පාලනය කළ නොහැකි භාණ්ඩද තිබෙනවා. ආනයනික භාණ්ඩවල මිල තීරණය වන්නේ විදේශ වෙළෙඳපොළේ මිල හා විනිමය අනුපාතික අනුවයි. ඒ නිසා ඒවායේ මිල අපට පාලනය කළ නොහැකියි. එහෙත් දේශීය නිෂ්පාදන භාණ්ඩවල මිල සීමා කිරීමට හැකියි. ඇතැම් වෙළෙඳුන් දේශීය භාණ්ඩවලින් අධික ලෙස ලාභ උපයන බව පෙනී ගොස් තිබෙනවා. එසේම අතරමැදියන් ද මිල ගණන් ඔසවනවා. ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන්ම නිෂ්පාදනය කරන විට මිල ඉහළ යනවා. එවැනි භාණ්ඩවල මිල මා පෞද්ගලිකව උත්සාහ කරලා පහළ දමා තියෙනවා. එම වැඩපිළිවෙළ අප දිගටම පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා.

කොවිඩ්-19 වසංගතයෙන් ගැලවීමට පාවිච්චි කරන මුව ආවරණවල මිල රුපියල් 40 – 50 පමණයි වෙළෙඳපොළේ තිබුණේ. කැලණියේ දාස සමූහ ව්‍යාපාරයේ සහයෝගය ලබාගෙන මේවා සතොස හරහා බෙදාහැරීමට කටයුතු කළ අතර එහි මිල වූයේ රුපියල් 25යි. අප එයට ප්‍රමිති සහතිකය (SLS) ලබාගත්තාට පසු ඉල්ලුම වැඩිවීම නිසා මිල රුපියල් 20ට අලෙවි කළ හැකි වුණා. ඊට පසු තවත් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් රුපියල් 15 දක්වා අඩු කරන්නට ලැබුණා. මේ වන විට මෙයින් රුපියල බැගින් මහපොළ ශිෂ්‍යත්ව අරමුදලටද ලබා දී රුපියල් 14 බැගින් විකිණීම දැනට කරගෙන යනවා. පාසල් විවෘත කළ පසු පාසල් දරුවන් සඳහා මෙම මුඛ ආවරණයක් රුපියල් 10 බැගින් අලෙවි කිරීමට බලාපොරොත්තු වෙනවා. අපගේ මෙම ක්‍රියාදාමය නිසා වෙළෙඳපොළේ සෑම මුව ආවරණයකම මිල සැලකිව යුතු ලෙස අඩු වී තිබෙන බව කිව යුතුයි.

පේරාදෙණිය සරසවියෙන් සොයාගත් බැක්ටීරියා සහ වෛරස නාශක (නැනෝ) තාක්ෂණයේ මුහුණු ආවරණය නවෝත්පාදනයක් ලෙස නිපදවා පාසල් දරුවන්ට කුඩා ප්‍රමාණ, මධ්‍ය ප්‍රමාණ හා විශාල පරිමාණ වශයෙන් සිල්ලරට රුපියල් 200 මිලකට අලෙවි කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේවා මාස තුනක කාලයක් තුළ 25 වරක් පමණ සෝදා පාවිච්චි කළ හැකිවීමයි. මේවා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් (STC) තමා බෙදාහරින්නේ.

විෂබීර නාශක දියරවලට මේ දිනවල විශාල ඉල්ලුමක් පවතිනවා. මේවා ව්‍යාජ ලෙස විවිධ වැඩි මිලට අලෙවි කරනවා දක්නට පුළුවන්. විශාල බොරුවක් තමා කරන්නේ. ප්‍රමිතියෙන් බාල ඒවාද තියෙනවා. ඇතැම් සාධාරණ සමාගම් කිහිපයක් පමණක් අඩු මිලට අලෙවි කරනවා. කෙසේ නමුත් අමාත්‍යාංශය මැදිහත් වී වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 100ක් අඩුවෙන් අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා. රජයට අයිති ITI ආයතනය මගින් තමා අලෙවි කරන්නේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් එකවරම පසුගියදා දිය ලුණු කිලෝව රුපියල් 100ටත් වඩා මිල ඉහළ ගියා. මෙයට ප්‍රතිකර්මයක් වශයෙන් මුලදී රුපියල් 60 බැගින් අලෙවි කළ කැට ලුණු පැකැට්ටුව රුපියල් 43ට සහ කුඩු ලුණු පැකැට්ටුව රුපියල් 35 බැගින් හිඟයකින් තොරව ස.තො.ස. මගින් අලෙවි කිරීම ආරම්භ කළා. එහි ප්‍රතිඵලයක් ලෙස විවෘත වෙළෙඳපොළේ මිල පහළ වැටුණා.

අපේ රටේ තේ නිෂ්පාදනය කළත් අපට සාධාරණ මිලකට හොඳ තේ කුඩු ලබාගන්න බැහැ. රටේ නිපදවන සිංහයා ලාංඡනය සහිත අංක 1 තේ කුඩු පැකැට්ටුව මෙතෙක් කල් අලෙවි වුණේ රුපියල් 135 – 140 වැනි මිල ගණන්වලටයි. මේ වන විට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ කළු තේ පැකැට්ටුව ස.තො.ස. සහ වාණිජ නීතිගත සංස්ථාව මගින් රුපියල් 95 බැගින් අලෙවි කිරීම පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් (ජනවසම) ජනතා වතු සංවර්ධන මණ්ඩලයද ඒ මිලට අලෙවි කරන අතර සෙසු තේ සමාගම්ද පහළ මිලට අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ දිනවල සීනි මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. සීනි බදු අඩු කළත් එම සහනය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. සීනි ආනයන සමාගම් සමඟ එකඟවෙලා අපි කොතරම් මිල නියම කළත් එය සාර්ථක වූයේ නැහැ. ජනක වක්කුඹුර ඇමැතිවරයා රජයේ සීනි සමාගම මේ වන විට විශාල ලාභ ලබන තත්ත්වයට පත්කර තිබෙනවා. සුදු සීනිවලට වඩා දුඹුරු සීනි ගුණාත්මක බව පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා. දුඹුරු සීනි කිලෝව රුපියල් 115 බැගින් ස.තො.ස. ජාලය හරහා අලෙවි කිරීමට අප මේ වන විට කටයුතු කරමින් පවතිනවා. විවෘත වෙළෙඳපොළේ සීනි කිලෝව මේ වන විට රුපියල් 140ක්.

රෙදි සෝදන සබන්වල සී.එෆ්.එම්. අගය සියයට 59ක් විය යුතු බවට ප්‍රමිතිය නියම කර තිබෙනවා. එසේම සිරුරේ ගාන සුවඳ සබන්වල සී.එෆ්.එම්. අගය සියයට 79.5ක්ද ළදරු සබන්වල සියයට 80ක්ද විය යුතුයි. ඇතැම් සමාගම්වල බලපෑම් නිසා මෙම සී.එෆ්.එම්. අගය ගැසට් කරන්නට නොහැකිව සිටියා. අපි බී.සී.සී. සමාගම සහ තවත් සමාගම් මගින් සී.එෆ්.එම්. අගය 59 ඇති සත්ත්ව තෙල් අඩංගු නැති පොල්තෙල්වලින් නිෂ්පාදිත සතොස සබන් ග්‍රෑම් 155 කැටය රුපියල් 40ට අලෙවි කරන අතර අද බොහෝ සමාගම් වැඩි මිලට අලෙවි කරන්නේ ග්‍රෑම් 80 සබන් කැටයි. අපි ඒ නිෂ්පාදන සමඟ තරග කිරීමට ලබන සතියේ සිට ග්‍රෑම් 80 සබන් කැට නිපදවා ඒවා රුපියල් 30 බැගින් ස.තො.ස. හරහා අලෙවි කිරීම පටන් ගන්නවා. එසේම කැබැල්ලක බර ග්‍රෑම් 110ක් වන ඩිටර්ජන් බාර් සබන් කැට පහම රුපියල් 80ක සහන මිලට ස.තො.ස. ශාඛා ජාලය ඔස්සේ අලෙවි කරමින් පවතිනවා. රෙදි සෝදන සබන් කුඩු නිෂ්පාදනය කිරීමට ස්වජාතික වෙළෙඳුන් 10 දෙනෙක් වෙළෙඳපොළට රැගෙන ඒමේ සැලසුමක් තිබෙනවා. ඉන්දියාවේ මේ නිෂ්පාදනය ගෘහ කර්මාන්තයක් ලෙසයි කරන්නේ. ඉදිරියේදී දේශීය නිෂ්පාදකයන් ලවා නිපදවා ස.තො.ස. හරහා අඩු මිලට අලෙවි කිරීමට බලාපොරොත්තු වෙනවා.

ආනයනය කරන හාල්මැස්සන් විවෘත වෙළෙඳපොළේ කිලෝවක මිල රුපියල් 1200ක්. අමාත්‍යාංශය මැදිහත් වී විනිමය ගිවිසුම් යටතේ කිලෝව රුපියල් 595ට ස.තො.ස. මගින් අලෙවි කළ අතර පසුව කිලෝව රුපියල් 500ට අලෙවි කළා. මේ වන විට තායිලන්ත හාල්මැස්සන් සතොස අලෙවි කරන්නේ කිලෝව රුපියල් 340 බැගින්.

අසාමාන්‍ය ලෙස සහල් මිල වැඩි වුණා. කුමන ක්‍රියාමාර්ග ගත්තද ඒවා සාර්ථක වූයේ නැහැ. කතිපයාදිකාරී ව්‍යාපාර කරන වෙළෙඳුන් කිහිප දෙනෙක් දිවයිනේම සහල් මිල පාලනය කරනවා. එයට ප්‍රතිකර්මයක් ලෙස වඩාත් ගුණදායක රතු කැකුළු සහල් පසුගිය 26දා සිට කිලෝව රුපියල් 88 බැගින් අලෙවි කිරීමට පටන්ගෙන තිබෙනවා. කිලෝව රුපියල් 96 බැගින් නාඩු සහල් අලෙවි කරනවා. සම්බා සහ කීරි සම්බා සහල් ලබන සතියේ සිට කිලෝව රුපියල් 50 – 75 අතර මිල අඩුකර අලෙවි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඉදිරි විනිමය ගිවිසුම් යටතේ මයිසූර් පරිප්පු කිලෝව රුපියල් 184ට අලෙවි කරන අතර මේ වන විට වෙළෙඳපොළේ රුපියල් 225ට අලෙවි කරන නූඩ්ල්ස් ග්‍රෑම් 400 පැකැට්ටුව රුපියල් 126ක් මිල අඩු කරලා රුපියල් 99 බැගින් දැන් අලෙවි කරනවා.
අපනයනය කරන තත්ත්වයේ සොසේජස් වර්ග GILF යන ආයතනය සමඟ ගිවිසුම්ගත වී වෙළෙඳපොළේ පවතින වර්තමාන මිලට වඩා සියයට 10ක් අඩුවෙන් මේ වන විට අලෙවි කිරීම ආරම්භ කර තිබෙනවා. හලාවත ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳුන් සමඟ සම්බන්ධ වී (වැකූම් පැක්) කළ මාළු ග්‍රෑම් 250 රුපියල් 200 ආසන්න මිලකට අලෙවි කරන අතර ඉදිරියේදී රුපියල් 100 ගණනේ මිල අඩු කර ස.තො.ස. ශාඛා හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වෙනවා.”

ඇමැතිවරයා පවසන්නේ තමන් අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ලාභය උපරිම කර ගැනීම ගැනම නොසිතා අපනයනය කරන ගමන්ම ස්වදේශිකයන්ට ස.තො.ස. මගින් අඩු මිලට දීමට කටයුතු කරන ලෙසටයි. ඔවුන්ගේ අපනයනයද දිරිමත් කිරීමට රජය කටයුතු කරන බව ඔහු කියයි. ඉදිරියේදී දේශීය නිෂ්පාදකයන් බොහෝ දෙනෙක් තම භාණ්ඩ ස.තො.ස. ශාඛා ජාලය මගින් නම්කර ස.තො.ස. ලේබල් යටතේ අලෙවි කිරීමට කැමැති වී සිටින නිසා අනාගතයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල විශාල ලෙස අඩුවනු ඇතැයි වෙළෙඳ ඇමැතිවරයා විශ්වාසය පළ කර සිටී.

වෙළෙඳ ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ ඉදිරියේදී රටේ භාණ්ඩ බෙදාහරින සමස්ත ජාලයම වෙළෙඳ අමාත්‍යාංශය මගින් හැසිරවීමට කටයුතු කරන අතර ස.තො.ස. මෙගා වෙළෙඳසල් 100ක් හා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව (STC) යටතේ Q Shop 1000ක් අලුතින් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවයි. ඉදිරියේදී විනිමය ගිවිසුම් වෙළෙඳ අමාත්‍යාංශය ස්වදේශීය නිෂ්පාදකයන් සමඟ අත්සන් කරන අතර ඒ අනුව නුදුරු අනාගතයේදී සමස්ත රටේම මිල යාන්ත්‍රණය වෙළෙඳ අමාත්‍යාංශය මගින් හසුරුවන බැවින් පෞද්ගලික වෙළෙඳුන්ටද ස.තො.ස. මිලට අලෙවි කිරීමට ඒකාන්තයෙන් සිදුවන බවට ඇමැතිවරයා සහතික වෙයි.

 යසවර්ධන රුද්රිගූ