2021 ජුලි 31 වන සෙනසුරාදා

කොවිඩ් කඩුල්ල පැනගෙන එන ඩෙංගු

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 126

දින කිහිපයක් ඇදහැලුණු වර්ෂාවත් සමඟ නැවතත් කුඩා සතකුට මිනිස් ජීවිත අවදානමට ලක්කරන්නට අවස්ථාව උදාකර තිබේ. වසර දෙකකට අධික කාලයක් ලොවපුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය මෙරට ජීවිතවලටද පීඩාවක් එල්ල කරද්දී ඩෙංගු වසංගතය පිළිබඳව බොහෝ දෙනකු තුළ වැඩි සැලකිල්ලක් නැත.

කොවිඩ් වසංගතයෙන් බේරීමට මුඛ ආවරණ පැළඳ, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන බොහෝ දෙනා ඩෙංගු මදුරුවා බෝවන ස්ථාන පිළිබඳව එතරම් තැකීමක් දක්වන්නේ නැත. මේ නිසාම මේ දිනවල නවතින වර්ෂාවත් සමඟ එක්රුස්වන ජලය තුළ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානමක් පවතී. මේ අනුව මේ වනවිට දිස්ත්‍රික්ක දහයක ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වන බව පෙනී යයි.

ඩෙංගු රෝගය දිවයිනේ බොහෝ ප්‍රදේශවල වසර මුළුල්ලේම අඩුවැඩි කොටගෙන රෝගීන් වාර්තාවන අතර වැඩි වශයෙන් වාර්තා වන්නේ ජනාකීර්ණ හා නාගරීකරණ ප්‍රදේශයන් තුළදීය. නිරිතදිග මෝසම් වැසි ආශ්‍රිතව වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද (මැයි මස සිට ජූලි අතර කාලයේදී) මෙන්ම ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය පවතින වසර අග කාලයේදීද (ඔක්තෝබර් සිට දෙසැම්බර්) පවතී.

මේ හේතුවෙන් මේ කාලයේදී පවතින දේශගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරේ. නමුත් වසර දෙකකට ආසන්න කාලයක සිට කොවිඩ් රෝගීන් පෙන්නුම් කරන ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයක්ම ඩෙංගු රෝගය හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණවලට සමානකමක් පෙන්නුම් කරන හෙයින් ඇතැම් ඩෙංගු රෝගීහු කොවිඩ් යැයි සැක කරති.

විශේෂයෙන් උණ, තදබල ලෙස පවතින හිසේ වේදනාව, ඇඟපත වේදනාව කොවිඩ් රෝගයට සමානකම් පවතී. මීට අමතරව ඩෙංගු රෝගයේදී වමනය, නිදිමත ගතිය, ආහාර ප්‍රතික්ෂේප කිරීම, තද පිපාසය, සමේ පැහැය වෙනස්වීම, ඇස්යට වේදනාව, ශරීරයේ මතුවන රතු පැහැති ලප වැනි රෝග ලක්ෂණ මතුවිය හැකිය. මීට අමතරව ඇතැම් ඩෙංගු රෝගීන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ වේදනාවද ඇතිවේ. ඇතැම් රෝගීන්ට මෙම රෝග ලක්ෂණයන්වල කිහිපයක් හෝ එකක් පෙන්නුම් කළද ඇතැම් ඩෙංගු රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නම් කරනු ලබන්නේ රෝගය ඉතා අවදානම් තත්ත්වයට පත්වීමෙන් පසුවය.

පළමුවරට රසායනාගාර පරීක්ෂණ මගින් ඩෙංගු රෝගය බවට තහවුරු කරන ලද පළමු ඩෙංගු රෝගියකු වාර්තා වී ඇත්තේ 1962 වසරේදීය. එමෙන්ම ඩෙංගු වසංගත තත්ත්වයක් පළමුවරට වාර්තා වී ඇත්තේ 1965-1966 වසරවලදී වන අතර ඩෙංගු රක්තපාත රෝගීන් කිහිපයක්ද මේ අතර සිටි බවට වාර්තා වේ.

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණයක් හෝ කිහිපයක් පෙන්නුම් කරයි නම් හැකි ඉක්මණින් වෛද්‍යවරයකු ලවා ප්‍රතිකාර හා උපදෙස් ලබාගැනීම ඉතා වැදගත් වේ. විශේෂයෙන් මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරයි නම් කොවිඩ්, ඩෙංගු හෝ වෙනත් රෝගයක් යැයි රෝග විනිශ්චයකට නොගොස් හැකි ඉක්මණින් ප්‍රතිකාර ලබාගත යුතුය. නැතහොත් ඩෙංගු රක්තපාත උණ තත්ත්වයට පත්වී මරණයට පවා පත්විය හැකිය.

වෛද්‍යවරයකු විසින් මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ගෙන් Full Blood Count සහ රුපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකොට එහි ප්‍රතිඵලවලට අනුව නිශ්චිතවම රෝගියාට වැළඳී ඇති රෝගය පිළිබඳ තීරණය කොට හැකි ඉක්මණින් අවශ්‍ය ප්‍රතිකාර වෙත රෝගියා යොමු කරයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වසරේ ජූලි මස තෙක් මෙතෙක් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේය. ඒ 4929කි. දෙවැනියට ගම්පහ දිස්ත්‍රික්කයෙන්, තෙවැනියට කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ජූනි මසදී පමණක් ඩෙංගු රෝගීන් කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් 1235ක් වාර්තා වී ඇත. නමුත් මේ වසරේදී ජනවාරි ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ 208ක් පමණි. මෙම දත්තවලට අනුව වැසි සමයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරේ. එම දත්තවලට අනුව 2020 වසරේදී ඩෙංගු රෝගීන් 31139ක් වාර්තා වී ඇති අතර එයින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එය රෝගීන් 4257කි. දෙවැනියට එම වසරේදී ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයෙනි. එය 3717කි. මේ වනවිට දිස්ත්‍රික්ක දහයක ඩෙංගු රෝගීන් වාර්තා වේ. 2020 වසරේදී ඩෙංගු රෝගය හේතුවෙන් මියගිය රෝගීන් සංඛ්‍යාව තිස් පහක් වන අතර මේ වසරේ මැයි මස වනවිට ඩෙංගු රෝගීන් හතරක් මියගොස් ඇත.

ඩෙංගු රෝගය වැඩි වශයෙන් අවදානමක් පවතින්නේ වයස අවුරුදු එකට අඩු දරුවන්, වයස්ගත වූ වැඩිහිටියන්, නිධන්ගත රෝග සහිත පුද්ගලයන් මෙන්ම ගර්භණී කාන්තාවන්ටය. මෙවැනි කෙනකුට මෙම රෝගය වැළඳී ඇත්නම් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.

ඩෙංගු රෝගයේදී ඇතිවන උණ තත්ත්වයේදී ඩෙංගු රක්තපාත උණ වෙන්කර හඳුනාගත නොහැකි වුවද නිසි ප්‍රතිකාර නොගැනීමෙන් දින කිහිපයකට පසුව රුධිරවාහිනීවලින් පිටතට ප්ලාස්මා තරලය කාන්දු වීමක්ද සිදුවිය හැකිය. මෙය අවදානම් තත්ත්වයකි. මෙහිදී විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම, ඇතැම්විට කළු පැහැයට මළපහ වීමද රෝග ලක්ෂණ ලෙස දැකිය හැකිය.

පවතින වර්ෂාවත් සමග ජලය එක්රුස්වන ඉවත දැමූ ටයර්, පොල්කටු, යෝගට් කෝප්ප, ජල ටැංකි, වහලවල්වල පිරිසිදු නොකළ පීලිවල පමණක් නොව ජලය එක්රුස්ව ඇති බෝතල් පියන්වල පවා ඩෙංගු මදුරුවන් බෝවිය හැකිය.

නගරාසන්න ප්‍රදේශවල ඉදිකිරීම් කටයුතු කරන ගොඩනැගිලිවල ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝවන බව සොයාගෙන ඇත. විශේෂයෙන් වැසි සමයේදී ඉවත දැමූ සිමෙන්ති උර, පොලිතින් කවරවල පමණක් නොව ඉවත දැමූ බියර් කෑන්වලද ඩෙංගු මදුරුවන් බෝවිය හැකිය. මේ නිසා එවැනි ඉදිකිරීම් කටයුතු සිදුකරන ගොඩනැගිලි ආශ්‍රිතව මේ සම්බන්ධයෙන් සැලකිලිමත්වීම ඉතා වැදගත් වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ මදුරු වර්ග එකසිය හතළිහක් පමණ සිටින අතර එයින් ඊඩ්ස් ඊජිප්ටයි හා ඊඩ්ස් ඇල්බොපික්ටස් නම් මදුරු විශේෂ දෙක ඩෙංගු රෝග කාරක වෛරසය සංසරණය කිරීම සඳහා දායක වේ.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03