කොරෝනා අතරින් දැන් වැඩිම අවධානය දිනා ඇත්තේ ඩෙල්ටා මාදිලියයි. ශ්‍රී ලංකාව තුළින්ද රෝගීන් වාර්තා වීමත් සමඟ ඩෙල්ටා රට ගිල ගනීයිද යන සැකය දැන් මතුව තිබේ.
පසුගිය සතිය මුල මෙරටින් වාර්තා වූ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 68 දෙනකු දක්වා ඉහළ ගොස් තිබුණි. එහිදී කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් එම ආසාදිතයන් හඳුනාගෙන තිබිණි. නමුත් සති මැද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ දැන් කොළඹ දිස්ත්‍රික්කයේ නියැදිවලින් සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් හමුවන බවත් රට පුරා සෙසු ප්‍රදේශවලද ඩෙල්ටා ප‍්‍රභේදය අඩු වැඩි ලෙස ව්‍යාප්ත වී ඇති බවත්ය.
මේ දිනවල හඳුනාගන්නා කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසකට ඔක්සිජන් ලබාදීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇත. එමෙන්ම මේ වන විට රෝහල් කිහිපයකම කොරෝනා ආසාදිතයන් ඉහළ ගොස් සැලසුම් කර තිබූ රෝහල් ඉඩකඩ බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බවද ඔහු පෙන්වා දෙයි. එයින් අනතුරු අඟවන්නේ ඉදිරියේදී ඩෙල්ටා පැතිර යාම භයානක ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවටය.
මේ නිසා ජනතාව නිසි ලෙස සෞඛ්‍ය නීති අනුව කටයුතු නොකළහොත් සිව්වැනි රැල්ලක් ඇතිවනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
කලින් පැතිර තිබූ ඇල්ෆා වැනි නව මාදිලි මෙන් නොව මෙය පස් ගුණයකටත් වඩා වැඩි වේගයෙන් පැතිරෙන සහ වාතයෙන්ද පැතිරෙන හෙයින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් සිටින ප්‍රදේශයක රෝගය බෝවීම ඉතා වේගයෙන් සිදු වනු ඇත. ඒ නිසාම මෙරටින් දැනට හඳුනාගෙන ඇත්තේ ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනකු වුවත් ඊට වඩා විශාල පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව විශේෂඥයෝ පහදා දෙති. එබඳු සෑම ආසාදිතයකුම ආසාදිත මාදිලිය වෙන්කර නිවැරදිව හඳුනා ගැනීමට නම් ජාන අනුක්‍රමිකතා පරීක්ෂණ සිදු කළ යුතුය. නමුත් සෑම සැක සහිත ආසාදිතයකු වෙනුවෙන්ම එම ඩෙල්ටා හඳුනාගැනීමේ ජාන විශ්ලෙෂණ පරීක්ෂණ වෙනම සිදු කිරීමක් ප්‍රායෝගිකව කළ නොහැක්කකි. මේ නිසා සමාජය තුළ සැඟව සිටිය හැකි ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය වාර්තාගත ප්‍රමාණයෙන් කිහිප ගුණයක් ඉහළ අගයක් ගැනීම අනිවාර්යය. එනිසා ඩෙල්ටා ප්‍රමුඛ මාදිලිය බවට පැතිරීමේ අවදානම අතිශය ඉහළ මට්ටමක පවතී.
මේ අවදානම ගැන අදහස් පළ කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ද තහවුරැ කර තිබුණේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා මාදිලිය රට තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් ඇති අතර මාසයක් වැනි කාලයක් ඇතුළත එය රට පුරාම පැතිරිය හැකි බවටය.
මේ වන විට කොළඹ නගර සභාව තුළ සියයට 30ක් පමණ ඉන්නේ ඩෙල්ටා මාදිලිය කියන එක තමයි දැනට තියෙන දත්තවලින් අපට හිතාගන්න පුළුවන් වෙන්නේ. ඒගොල්ලන්ගේ කෙලවල තියෙන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩියි, ඒ වගේම අනිත් ඒවාට වඩා ඩෙල්ටා මාදිලිය බෝවෙන ප්‍රවණතාවය ඉතාමත්ම වැඩියි. ඒ නිසා ඩෙල්ටා මාදිලිය වැඩි කල් නොගොස් අපේ රටේ සියයට 50කට වඩා ජනතාවකගේ ආසාදනයට හේතු කාරණාව වෙලා. ඒක තමයි මූලිකම රෝග කාරකය බවට පත්වෙන්නේ කියන එක අපට සැකයකින් තොරයි. රට ඇරලා සාමාන්‍ය විදිහට හැසිරෙනවා නම් එහෙම, මේ ඩෙල්ටා මාදිලිය ඉතාමත්ම වේගයෙන් මාසයක් ඇතුළදී හරි සුමාන දෙකක් ඇතුළතදී හරි අපේ රට පුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර් යෙන්ම දන්නවා.
අපේ රටේ වැඩිහිටියන්ම ඉන්නවා සියයට 15ක් විතර, මේ වෙද්දි සම්පූර්ණ එන්නත්කරණය වෙලා තියෙන්නේ සියයට 08ක් වගේ. ඉතින් ඒකෙන් කියවෙනවා අපේ රටේ බොහෝ අය තවම එන්නත ලබාගෙන නෑ කියන එක. ඒ නිසා තවමත් එන්නතින් අපට තියෙන ආරක්ෂාව ගැන සෑහීමකට පත්විය නොහැකියි. සෑම දිනකම රෝගීන් 40ක් 50ක් ප්‍රමාණයක් රටේ ජීවිත්ෂයට පත්වෙනවා. අපි 50ක් කියන උපකල්පනයකින් ගාණ හැදුවොත් අපි දන්නවා ඒකෙන් කියවෙනවා සියයට 2ක් ජීවිතක්ෂයට පත්වෙනවා කියලා. එහෙම බැලුවොත් අපේ රටේ දැන් මේ වෙනකොට දහදාහක් පමණ රෝගීන් ඉන්නවා.
අපේ රෝගීන් ඉතාමත් වැඩි සංඛ්‍යාවක් තියෙද්දීත් අපි සමහර දේවල් ආරම්භ කිරීමට ඉඩදීලා තියෙනවා ජීවනෝපාය කියන එකේ වැදගත්කම ගැන කල්පනා කරලා. ඉතින් මේ දෙක තුලනය කිරීමේදී රෝගීන් වැඩිවීම අනිවාර්යයි. ඒක සිද්ධ වෙනවාමයි. දැනටත් ඒක අපි දකිනවා. යැයි වෛද්‍ය සංගමයේ සභාපතිනිය ඩෙල්ටා මාදිලිය රට තුළ පත්ව ඇති සැබෑ තත්ත්වය පැහැදිලි කළාය.
සුගත්