2021 ජුලි 31 වන සෙනසුරාදා

ශ්‍රී ලංකා පන්දුවෙන් බේස්බෝල් ගහන ජපන් ඔලිම්පික්ස්

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

ලොව අසිරිමත්ම ක්‍රීඩා උළෙල ලෙස සැලකෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි. නූතන ඔලිම්පික් ඉතිහාසයේ පළමු ගිම්හාන ඔලිම්පික් උළෙල ආරම්භ වූයේ 1896දීය. ප්‍රංශ වංශාධිපතියකු වූ පියරේ ද කූබර්ටින් විසින් නිර්මාණය කරන ලද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයිඕසී) විසින් සංවිධානය කරන ලද මෙය 1896 අප්‍රේල් 6 සිට 15 දක්වා ග්‍රීසියේ ඇතන්ස් හි දී පැවැත්විණි. ජාතීන් 14කට අයත් ක්‍රීඩකයන්  241 දෙනෙක් (එයට සහභාගී වූයේ පිරිමින් පමණි.) එයට සහභාගී වූහ. එක්සත් ජනපද කණ්ඩායම හැරුණු විට සහභාගී වූ සියල්ලෝම යුරෝපීය හෝ යුරෝපයේ වාසය කළ ක්‍රීඩකයෝ වූහ. ඔවුන්ගෙන් 65 වඩා ග්‍රීක ජාතිකයෝ වූහ. ජයග්‍රාහකයන්ට රිදී පදක්කමක් ද, අනුශූරයන්ට ලෝකඩ පදක්කමක් ද ප්‍රදානය කෙරිණි. (පසුකාලීනව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව මේවා රන් හා රිදී බවට පරිවර්තනය කර ඇති අතර තෙවැනි ස්ථානයට පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝකඩ පදක්කම් ප්‍රදානය කෙරේ). සහභාගී වූ රටවල් 14 න් 10 ක්ම පදක්කම් දිනා ගත්හ. 2020 වසරේ පැවැත්වීමට නියමිත වූයේ 32වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලය. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් 2020 වසරේ පැවැත්වීමට නොහැකි වූ හෙයින් එය 2021 වසරට කල් ගියේය. 

ඒ අනුව 32 වැනි ගිම්හාන ඔලිම්පික් තරගාවලිය 2021 ජුලි 23 දින ජපානයේ ටෝකියෝ හි නව ජාතික ක්‍රීඩාංගණයේදී නිල වශයෙන් ආරම්භ වූයේ දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්ය. එදින ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4:30ට ජපානයේ නරුහිතෝ අධිරාජයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උළෙල ආරම්භ වූ අතර එය ජපන් සංස්කෘතික අංගවලින් සමන්විත විය. මෙවර පැවැත්වෙන  ඔලිම්පික් තරගාවලිය සඳහා රටවල් 205ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,656ක් සහභාගී වන අතර ක්‍රීඩා 33කට අයත් තරග ඉසව් 339ක් පැවැත්වීමට නියමිතය. සමාරම්භක උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැර ආරාධිතයන් ඉතා සීමිත පිරිසක් පමණක් සහභාගී වී සිටි අතර රෑපවාහිනි නාලිකා ඔස්සේ එය සජීවි ලෙස ලොව පුරා විකාශය කෙරිණි. ක්‍රීඩා උළෙලට සහභාගී වූ කණ්ඩායම් අතුරින් මුලින්ම  පිවිසියේ ග්‍රීසිය නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසයි. 

කොරෝනා ව්‍යාප්තිය නිසා මේ වසරේද ඔලිම්පික් උළෙල නොපැවැත්විය යුතු බවට විවිධ පාර්ශ්වවලින්  විරෝධතා එල්ල වුවද ප්‍රේක්ෂකයන්ගෙන් තොරව මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වීමට සංවිධායකයෝ තීරණය කළහ. කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් පසුගිය දිනවල ජපානයෙන් හමු වූ බැවින් ජූලි 12 සිට අගෝස්තු 22 දක්වා ජපානයේ ටෝකියෝ නුවර හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද එරට රජය කටයුතු කළේය. ඔලිම්පික් තරගාවලිය ආරම්භ කිරීමට පෙරම එයට සහභාගීවූ ක්‍රීඩකයන් හා නිලධාරින් කිහිප දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවට වාර්තා විය. මේ වන විට ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටින ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන්, නිලධාරින් වෙනත් පුද්ගලයන් 170ක පමණ පිරිසක් වෛරසයට ගොදුරු වී සිටිති.

 පසුගිය වසරේ පැවැත්වීමට තිබූ ඔලිම්පික් උළෙල මෙම වසර දක්වා කල් දැමීම නිසා ජපානයට විශාල අමතර වියදමක් දැරීමටද සිදුවිය. ටෝකියෝ ක්‍රීඩා උළෙල ලන්ඩනයේ රක්‍ෂණ සමාගමක්  වන ලොයිඩ්ස් සමාගමේ රක්ෂණය කර ඇති අතර මියුනිච් රේ සහ ස්විස් රේ යන ගෝලීය රක්ෂණ සමාගම්හි ප්‍රතිරක්ෂණය කර තිබේ. ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 800 ක පමණ අගයකින් යුත් රක්ෂණයක් ලබා ගනී. 2020 ඔලිම්පික් උළෙල කල්දැමීමෙන් ඇති වූ අලාබය රක්ෂණ ඔප්පු මගින් ආවරණය කෙරේ. සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ජපාන යෙන් 12,000 සිට 300,000 දක්වා ආදායමක් හා මළලක්‍රීඩා අවසන් තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් යෙන් 130,000ක පමණ ආදායමක් උපයා ගැනීම සංවිධායකයන්ගේ අපේක්ෂාව විය. එහෙත් ප්‍රේක්ෂකයන්ගෙන් තොරව ක්‍රීඩා තරග පැවැත්වීමට සිදුවීම මත අපේක්ෂිත ආදායම් නොලැබී ගියේය.

මෙවර පැවැත්වෙන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ජපානය සත්කාරකත්වය දරන සිව්වැනි අවස්ථාවය. මින් ඉහත 1964 ගිම්හාන ඔලිම්පික් උළෙල හා 1972 සහ 1998 සීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දරා තිබේ. ටෝකියෝව දෙවරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වූ ආසියාවේ පළමු නගරය ලෙස ඉතිහාසයට එක්වෙයි. 1940 වසරේ ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ ද ජපානයේය. එහෙත් දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් ජපානයට එම අවස්ථාව අහිමි විය.

2020 ඔලිම්පික් තරගාවලිය සඳහා නව තරග කිහිපයක් හා කලක් පැවැති පසුව ඉවත් කරන ලද තරග කිහිපයක් යළි හඳුන්වා දී තිබේ.  තිබේ. නව ක්‍රීඩා අතර  පැසිපන්දු, නිදහස් ආර බීඑම්එක්ස් බයිසිකල් තරග, සහ දැනට පවතින ක්‍රීඩා ගණනාවක මිශ්‍ර ස්ත්‍රී පුරුෂ කණ්ඩායම් ඉසව් මෙන්ම පිරිමින් හා කාන්තාවන් සඳහා මැඩිසන් පාපැදි තරග ඒ අතර වේ. බේස්බෝල් සහ සැහැල්ලු පන්දු, කරාතේ, කඳු නැගීම, සර්ෆ් සහ ස්කේට්බෝර්ඩ් යන ක්‍රීඩා යළි එක් කර තිබේ. ටෝකියෝ 2020 ඔලිම්පික් බේස්බෝල් ඉසව්වේ නිල පන්දුව ලෝක බේස්බෝල් හා සැහැල්ලු පන්දු සම්මේලනය විසින් පසුගියදා එළිදක්වන ලද අතර එහි විශේෂත්වය වන්නේ එය ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද්දක් වීමයි. ඔලිම්පික් බේස්බෝල් තරගාවලිය ජූලි 28 බදාදා ෆුකුෂිමා අසූමා ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර. ආරම්භක තරගය සත්කාරක රට වන ජපානය සහ ඩොමිනිකන් ජනරජය අතර පැවතියේය. මෙවර ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට ආඩම්බර විය හැකි තවත් සිදුවීම් දෙකක් තිබේ. ඒ තාක්ෂණික මෙහෙයුම් කළමනාකරුවකු ලෙස ශ්‍රී ලංකාවේ සුජීව විජයනායක සහ බොක්සිං විනිසුරුවරියක ලෙස නෙල්කා ශිරෝමාලා සහභාගී වී සිටීමය. 

මෙවර රුසියානු ෆෙඩරේශනය ඔලිම්පික් තරගාවලියට සහභාගී වන්නේ තම රාජ්‍යයේ නමින් නොව ආර්ඕසී හෙවත් රුසියානු ඔලිම්පික් කමිටුවේ (Russian Olympic Committee) ධජය යටතේය. රුසියානු ක්‍රීඩකයන් රාජ්‍ය අනුග්‍රහය මත තහනම් උත්තේජක භාවිත කළ බවට චෝදනා එල්ල වූ බැවින් 2019 වසරේ රුසියාවට වසර 4ක ක්‍රීඩා තහනමක් පැනවිණි. පසුව එය වසර දෙකකට අවම කෙරිණි.  ඒ අනුව ඔවුන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට රුසියානු ධජය යටතේ ක්‍රීඩා කළ නොහැකිය. එහෙයින් ඔවුහු රුසියානු ඔලිම්පික් කමිටු ධජය යටතේ තරග වදිති.  ඔවුනට තම රටේ ජාතික ගීය වාදනය කිරීමද තහනම්ය. කිසියම් ක්‍රීඩකයකු රන් පදක්කමක් දිනාගත් විට ඔහු වෙනුවෙන් රුසියානු ජාතික ගීය වාදනය නොකෙරන අතර ඒ වෙනුවට චයිකොව්ස්කිගේ සංගීත කණ්ඩයක් වාදනය කෙරේ. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙක් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වූහ. ඒ නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන්), යුපුන් අබේකෝන් (මීටර 100 ධාවන), චාමර ධර්මවර්ධන (ජූඩෝ), මැතිව් අබේසිංහ (මීටර 100 පිහිනුම්), මැතිල්ඩා කාර්ල්සන් (අශ්වාරෝහක), නිමාලි ලියනාරච්චි (මීටර 800 ධාවන), මිල්කා ද සිල්වා (ජිම්නාස්ටික්), ටෙහානි එගොඩවෙල (වායු රයිෆල්) සහ අනිකා ගෆූර් (මීටර 100 පිහිනුම් ) එලෙස සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට නිලූක කරුණාරත්න, චාමර ධර්මවර්ධන, මැතිව් අබේසිංහ, මිල්කා ද සිල්වා, අනිකා ගෆූර්,  ටෙහානි එගොඩවෙල සහ නිමාලි ලියනආරච්චි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්ව තරගවටවලින්ම ඉවත් වීමට සිදුවී තිබිණි. 

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව පිහිටුවන ලද්දේ 1937 වසරේ දීය. එම වසරේ දී ම එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් පිළිගන්නා ලදි. ශ්‍රී ලංකාව පළමු වරට ඔලිම්පික් උළෙලක් නියෝජනය කළේ 1948 වසරේ දීය. එතැන් සිට මෙවර පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් උළෙල තෙක්  ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් උළෙල 18ක් නියෝජන කර තිබේ.. 1976 දී ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙක් ඔලිම්පික් උළෙල නියෝජනය කළේ නැත. ශ්‍රීලංකාව (එවක ලංකාව හෙවත් සිලෝන්) තමන් සහභාගී වූ පළමු ඔලිම්පික් තරගාවලියේදීම පදක්කමක් හිමිකර ගැනීමට සමත් විය. ඒ මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් දිනා ගත් රිදී පදක්කමයි. ඉන්පසු ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි වූයේ 2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 දිවීමේ තරගයෙන් සුසන්තිකා ජයසිංහ දිනාගත් ලෝකඩ පදක්කමයි. එම ඉසව්වේ රන් පදක්කම්ලාභී මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක භාවිතා කර තිබීම හේතුවෙන් ඇයට පදක්කම අහිමි කෙරුණු හෙයින් එය දෙවැනි ස්ථානය දිනූ බහමාස් ක්‍රීඩිකා පෝලින් තොම්සන්හට හිමි වූ අතර  සුසන්තිකා ජයසිංහට  රිදි පදක්කම හිමි විය.

2020 ගිම්හාන ඔලිම්පික් උළෙලේදී පිරිනැමෙන පදක්කම් නිර්මාණය කර ඇත්තේ ජුනිචි කවානිෂි විසිනි. මෙම පදක්කම් නිෂ්පාදනය කරනු ලැබුවේ මහජනයා විසින් ලබා දුන් ඉලෙක්ට්‍රොනික උපකරණ ප්‍රතිචක්‍රීකරණයකොට ලබාගත් ලෝහ භාවිත කරමිනි. එහි පීත්ත පටිය සාම්ප්‍රදායික ජපන් මෝස්තර අනුව නිර්මාණය කර තිබේ.. රිදී සහ ලෝකඩ පදක්කම් එම ලෝහවලින් නිර්මාණය කෙරෙන අතර රන් පදක්කම් රිදියෙන් තනා රන් ආලේප කර තිබේ. 

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම හිමි වූයේ චීනයටය. ඒ වායු රයිෆල් තරග ඉසව්වෙන් යැං කියැං ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත් වූ බැවිනි. රටවල් තුනක්  පළමුවරට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට මෙවර ඔලිම්පික් උළෙලේදී සමත් වී තිබේ. ඒ බර්මියුඩාව, පිලිපීනය සහ තුරක්මෙනිස්ථානයයි. අඩුම තරගකරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් කළ ලොව කුඩාම රාජ්‍යයක් වූ බර්මියුඩාව ඔලිම්පික් ඉතිහාසයේ පළමු වරට රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඒ කාන්තා තුන් ප්‍රයාම ඉසව්වෙන් ෆ්ලෝරා ඩෆීය. එරටින් ඉදිරිපත්ව සිටින්නේ තරග කාරියන් දෙදෙනෙක් පමණි. පිලිපීනයේ හිඩිලින් ඩියාස් කිලෝග්‍රෑම් 55 බර පන්තියේ කාන්තා බර ඉසිලීමේ ඉසව්වෙන් පිලිපීනයට පළමු රන් පද්ක්කම හිමිකර දුන්නාය. තුරක්මෙනිස්ථානයේ පොලීනා ගුර්යේවා කිලෝග්‍රෑම් 59 බරපන්තියේ කාන්තා බර ඉසලීමේ ඉසව්වෙන්  තම රටට පළමු රිදී පදක්කම දිනා දීමට සමත් වූවාය.

පදක්කම් සටහන අනුව ජූලි 30 වනවිට ඉදිරියෙන් සිටින්නේ චීනයයි. දෙවැනියට සත්කාරක ජපානයත්, තෙවැනියට ඇමෙරිකා එක්සත් ජනපදයත්,  සිව්වැනියට රුසියාව නියෝජනය කරන රුසියානු ඔලිම්පික් කණ්ඩායමත්, පස්වැනියට ඔස්ට්‍රේලියාවත් පත්ව සිටී.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා.

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03