2021 ජුලි 31 වන සෙනසුරාදා

සජබ හදන්න යන අලුත් සන්ධානය

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 161

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ වසර හැත්තෑවක් ගතවෙන තුරු ආණ්ඩුකරණයේ යෙදුණු ප්‍රමුඛ පක්ෂ දෙක වූයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. එහෙත් ගෙවුණු පස් වසර තුළ සිදුවූ දේශපාලන පෙරුළි හේතුවෙන් මෙම පක්ෂ ද්විත්වය දියවී ගියේය. දැන් මෙරට ආණ්ඩුකරණයේ නිරත වන්නේද විපක්ෂයේ කාර්‍යභාරය ඉටුකරන්නේ ද නව දේශපාලන කණ්ඩායම් දෙකකි. අද අපේ අවධානය යොමුවන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය වෙතයි. අනාගතවාදී ප්‍රවේශයකින් සජබ සන්ධානය ගොඩනැගීම සහ විපක්ෂ ඒකාබද්ධ කිරීමේ යාන්ත්‍රණය පිළිබඳ අපි සොයා බැලීමට තීරණය කළෙමු. ඒ සඳහා අප හා සම්බන්ධව වූයේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතාය.

මේ දිනවලදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනැගීමේ උත්සාහයක සමගි ජන බලවේගය නිරතව සිටියි. පසුගිය දිනවල විවිධ පක්ෂ සහ කණ්ඩායම් සමඟ ඔවුන් සාකච්ඡා කරන බව පෙනෙන්නට ද තිබුණි. සජබ ඒකාබද්ධ විපක්ෂ ගොඩනැගීමේ අරමුණ පිළිබඳ සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ අපි පළමුව තිස්ස අත්තනායක මහතාගෙන් විමසා සිටියෙමු. 

“පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජනය නොකරන විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ වගේම සිවිල් සංවිධාන ව්‍යාපාර සමඟ අපි සාකච්ඡා කරමින් සිටිනවා. අප ඒ බොහෝ දෙනකු සමඟ විපක්ෂ ඒකාබද්ධ ව්‍යාපාරකට යා යුතුයි කියලා සාකච්ඡා මේ වන විට කරලත් තිබෙනවා. මෙහි අරමුණ වත්මන් ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත විරෝධයක් ගොඩනැගීම. මීට සම්බන්ධව සමාරම්භක උත්සවයක් පවා පසුගියදා සාධාරණ සමාජයක් උදෙසා වූ ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාත් ඊට සම්බන්ධ වුණා."

තිස්ස අත්තනායක මහතාගේ පැහැදිලි කිරීම අනුව ආණ්ඩුවට විරෝධය පෑමට හොඳම විදිහ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමයි. ඔහු පවසන ඒකාබද්ධ ව්‍යාපාරයක් හරහා ආණ්ඩුවට  ඇති ජනතා විරෝධය එක් තැනකට ගොනුකිරීමට හැකිවෙනු ඇත. ඔහු එසේ පැවසුවද විපක්ෂ අභ්‍යන්තරයේ ඇති දේශපාලන පරස්පරතා සහ මතගැටුම් අප්‍රමාණය. එම නිසාම ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනගන්නේ නම් මූලික එකඟතා තිබිය යුතුමය. ඒ මොනවාද යන්න පිළිබඳ අපි මීළඟට සාකච්ඡා කළෙමු.
“අපේ දේශපාලන මතිමතාන්තරවල යම් පරස්පරයක් තිබුණත් එකට එකතුවෙලා වැඩ කරන්න අපිට ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. රටේ නීතියේ අධිපත්‍ය ශක්තිමත් කිරීම, මානව හිමිකම් සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, දූෂණයට එරෙහිවීම, ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවේ තීන්දුවවලට එරෙහිවීම වගේ කරුණු ප්‍රධානයි. ඒ නිසා අපිට එකතුවෙලා වැඩ කරන්න පුළුවන් විශ්වාසයක් තිබෙනවා. මේ උත්සාහය ඒ වෙනුවෙන්."
විපක්ෂයේ දේශපාලන බලවේගය තුළ ඇති දේශපාලන පරස්පරතා සුළුපටු නොවේ. ඊට කදිම උදාහරණ පසුගිය දිනවලදී අපිට දැකගන්න ලැබුණි. ද්‍රවිඩ ජාතික සංවිධානය විපක්ෂ පොදු වේදිකාවට ගොඩවීමට කොන්දේසි ඉදිරිපත් කළේය. එම කොන්දේසි උතුරේ ද දකුණේ ද දේශපාලන කෙරෙහි තීරණාත්මක ලෙස බලපාන බව නොරහසකි.

“ඉල්ලීම් ඉදිරිපත් කළ පමණින් ඒවා පිළිගත්තා යැයි කියවෙන්නෙ නෑ. උතුරේ දමිළ ජනතාව නියෝජනය කරන දේශපාලන කණ්ඩායමක් විදියට දෙමළ ජාතික සංවිධානය සිවිල් අයිතිවාසිකම් සම්බන්ධ, මානව හිමිකම් සම්බන්ධව, උතුරේ ජනතාවගේ අවශ්‍යතාවයන් සම්බන්ධව විවිධ කරුණු මතු කරනවා. බලය බෙදීම වගේ යෝජනා ඉදිරිපත් වෙන්න පුළුවන්. හේතුව මේ වෙද්දි පළාත් සභාවත් ක්‍රියාත්මක නොවන වටපිටාවක් තිබෙන්නේ. කෙසේ නමුත් මේ සියල්ල සාකච්ඡාවට බඳුන් වන කාරණා පමණයි. අපි මෙතනදී පොදුවේ සලකා බලන්නේ අපි හැමදෙනාටම එකතු වෙන්න පුළුවන් කාරණා. ඒක ඔස්සේ එකඟතාවයක් ඇතිකරගන්න අපි බලාපොරොත්තු වෙනවා."

විපක්ෂයේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ගොඩනැගීමට අමතරව සමගි ජන බලවේගය විසින් ගොඩනගන දේශපාලන සන්ධානය සම්බන්ධව ද අප සාකච්ඡා කළ යුතුයි. සමගි ජන සන්ධාන" නමින් ගොඩනැගෙන මෙම සන්ධානය ගොඩනැගීම පිළිබඳ ගෙවුණු වසරක පමණ කාලය පුරාවට සාකච්ඡා පැවැත්වුණි. එහෙත් මේ දක්වා එම සන්ධාන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී ඇත්දැයි යන්න ගැටලුසහගතය.

“සමගි ජන සන්ධානය ගොඩනැගීමේ කටයුත්ත පිළිබඳව අප සමඟ සිටින සියලු මිත්‍ර දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරලා තියෙන්නේ. ඊට අදාළ කෙටුම්පත් එම පක්ෂ නායකයන්ට ලබාදීලත් තිබෙනවා. දැනටමත් මනෝ ගනේෂන් මහත්මයා නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමක් පවා අත්සන් කරලා අවසන්. අනෙක් මිත්‍ර දේශපාලන පක්ෂ සමඟත් සාකච්ඡා කරලා ඉදිරියේ දී ගිවිසුම්ගත වෙන්න බලාපොරොත්තු වෙනවා." 
එක් පක්ෂයක් යටතේ එක් ලකුණක් යටතේ පසුගිය මහ මැතිවරණයට තරග කළ ද තවමත් සමගි ජන බලවේගය සිය සන්ධානය බිහිකොට අවසන් නැත. තිස්ස අත්තනායක මහතා පවසන පරිදි ඔවුනුත් අතරේ අවබෝධයක් තිබේ. එහෙත් සන්ධානයක් නැත. රිෂාඩ් බදියුදීන් සමඟ සන්ධානගත වීම සම්බන්ධව සලකා බලන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පැවසුවේ මෙම තත්ත්වය මතය.  

සමගි ජන බලවේගය තුළ තනි තනිව නැගී සිටින පුද්ගල චරිත කිහිපයක් ද පසුගිය කාලය තුළදී අපට දැකගන්නට ලැබුණි. එම නිසාම අභ්‍යන්තර අර්බුද ඇති බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ නිරන්තර අසන්නට ලබුණි. මෙහි ප්‍රධානම චරිතය බවට පත්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාය. පාඨලීගේ කාර්යභාරය සම්බන්ධව ද අපි තිස්ස අත්තනායක මහතාගෙන් විමසා සිටියෙමු.

“පාඨලී චම්පික රණවක මහතා ඉල්ලීමක් කරල තිබුණා. සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙන වැඩ කරන්න සූදානම් කියලා. ඒ නිසාම ඔහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් වුණා. මේ වෙනකොට එතුමට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන්නත් ආරාධනා කරලා තිබෙනවා. එතුමාගේ කාර්යභාරය පිළිබඳව එතුමා සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා අතර සාකච්ඡා පැවත්වෙනවා. එම සාකච්ඡාවලින් අනතුරුව එතුමාගේ කාර්යභාරය පිළිබඳව කෘත්‍යාධිකාරී මණ්ඩලයට වාර්තා කරයි. අපි අතර විවිධ දේශපාලන මතිමතාන්තර ඇතිවෙන්න පුළුවන්. සියල්ල සියයට සියයක් නිවැරදියි කියලා අපි තර්ක විතර්ක කරන්න යන්නේ නෑ" 

සමගි ජන බලවේගය තුළ පාඨලී චම්පික භූමිකාව පිළිබඳ තවමත් පැහැදිලි බවක් නැත. කෙසේ නමුත් තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙන්නේ පුද්ගල පක්ෂ අනන්‍යතාවයන් රුකගෙන ඉදිරියට යාමට පක්ෂයට හැකියාවක් ඇති බවයි. ඉදිරියේ දී පුද්ගල තරගකාරීත්වයක් තම පක්ෂය තුළ ඇති නොවනු ඇතැයි ඔහු පවසයි. මෙහිදී අප තිස්ස අත්තනායක මහතාගෙන් විමසා සිටියේ සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු පැමිණි  කුමාර වෙල්ගම මහතාගේ භූමිකාව පිළිබඳවයි. ඒ අනුව ඔහු පක්ෂයේ සාමාජිකත්වය ද තනතුරුද දරමින් වෙනත් පක්ෂයක් නිර්මාණය කිරීමට යාම පිළිබඳව සාකච්ඡා ඇතිවිය.

“කුමාර වෙල්ගම මැතිතුමා සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙක්. ඔහු මතුගම ආසනයේ අපේ සංවිධායකවරයා. ඒ වගේම එතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක්. මම දැක්කා එතුමා මාධ්‍යයට කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගෙන වෙනම දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරන්නට යනවයි කියලා. අපි ඒ සම්බන්ධව අභ්‍යන්තරික තොරතුරු නිල වශයෙන් දන්නෙ නෑ. පක්ෂයට මේ සම්බන්ධ තොරතුරු වාර්තා වෙලා තිබෙන ආකාරය සම්බන්ධවත් පැහැදිලි නෑ. දැනට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක් වශයෙනුත් කුමාර වෙල්ගම මැතිතුමා කටයුතු කරනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සන්ධානයක් හෝ කුමක් හෝ සකස් කරයි කියලා අපි එය සම්බන්ධව එතරම් හිතන්නේ නෑ. මොකද ඔවුන් සියලු දෙනා එකට හිටගනීවී."

සමගි ජන බලවේගය සම්බන්ධව කතා කරන විට එක්සත් ජාතික පක්ෂය පිළිබඳ කතා නොකර සිටීමට නොහැකිය. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර ඇතිවන මතගැටුම් එකෙන් එකිනෙකාට චෝදනා කර ගැනීම මේ දිනවල සුලභ දෙයක් වී තිබේ. කෙසේ නමුත් අභ්‍යන්තරිකව මෙම පක්ෂ දෙක අතර සාකච්ඡා සිදුවන බවද විටින් විට අසන්නට ලැබේ. මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් අපි තිස්ස අත්තනායක මහතාගෙන් අපේක්ෂා කළෙමු.

“එක්සත් ජාතික පක්ෂය සමඟ හෝ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ තවමත් නිල වශයෙන් සමගි ජන බලවේගය කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. විවිධ පුද්ගලයන් විවිධ පාර්ශ්ව මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කර තිබෙන බව නම් සත්‍යයක්. ප්‍රධාන කාරණය තමයි ඉදිරි තීරණාත්මක මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයටත් මගහැර සිටින්නට බෑ. ඔවුන් ස්ථිර ලෙසම මෙවැනි ඒකාබද්ධ වීමකට ආ යුතුයි. එසේ එන්නට නොහැකි වුවහොත් ඔවුන්ගේ දේශපාලන අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වන්නට ඉඩ තිබෙනවා. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට සමගි ජන බලවේගය විනාශ කරන්නට පුළුවන් කියල හිතෙන කිහිප දෙනෙක් ඔතන ඉන්න බව අපි දන්නවා.  අපිට වැදගත්කමක් තියෙන්නේ ඒ අය නෙවෙයි. බිම් මට්ටමේ තාමත් ඉතිරිවෙලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්. පහුගිය ඡන්දයට අනුව ගණනය කළොත් ඉන් ඒ පිරිස ලක්ෂ දෙකක් පමණ වෙනවා. ඒ අය දිනාගැනීම සඳහා මේ වන විටත් අපේ සංවිධායකවරුන් හරහා බිම් මට්ටමේ වැඩපිළිවෙළක් යොදවලා තිබෙන්නේ." 

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කළහොත් එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සිටින සියලු පාක්ෂිකයන් සමගි ජන බලවේගය වෙත එකතු කර ගැනීමට හැකි යැයි තිස්ස අත්තනායක මහතා කියා සිටියි. එසේම මේ දිනවල පළාත් පාලන ආයතන තුළ එක්සත් ජාතික පක්ෂය විසින් පොහොට්ටුවට සහයෝගය ලබාදීම පිළිබඳවත් තිස්ස අත්තනායක මහතා සිය අප්‍රසාදය පළ කරයි. 

සමගි ජන බලවේගයේ තිඹිරි ගෙය එක්සත් ජාතික පක්ෂයි. එහෙත් මේ වන විට සමගි ජන බලවේගය තවත් මහා ගෙයක් වෙමින් තිබේ. මෙරට ප්‍රමුඛ දේශපාලන බලවේග දෙක අතර සමගි ජන බලවේගයට තවත් කොතරම් කලක් රැඳෙන්නට හැකි වේද? ඔවුනට ආණ්ඩු බලය ලබාගැනීමට හැකිවේද?  අපි බලා සිටිමු.

 චමිඳු නිසල් ද සිල්වා