හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේදී දැරියක් ලිංගික අපයෝජනයට ලක්ව අභිරහස් ලෙස පිළිස්සී මියයාම සම්බන්ධයෙන් මේ වනවිටත් පරික්ෂණ සිදුකරමින් පවතින්නේ එය ඝාතනයක් යන සැකයෙනි. එම අභිරහස් සිද්ධියත් ඒ සිද්ධියට අදාළව සාක්ෂිකරුවන් ලබාදුන් පරස්පර ප්‍රකාශත් හේතුවෙන් මෙය සියදිවි නසා ගැනීමකටත් වඩා ඝාතනයක් බවට සැකකළ හැකි බව මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශකයන්ගේ මතය වී ඇත.
එයට හේතුව වන්නේ කාරණා කීපයක් නිසාය. අභිරහස් ලෙස මියගිය ඉෂාලනිගේ දැවුණු සිරුර උදෑසන 6.45 සිට 8.20 වෙනතෙක් නිවසේ තබාගෙන ඇත්තේ ඒ අවස්ථාවේ හැකි අවම කාලයක් තුළ ලබාදිය යුතු ප්‍රතිකාර වලට පවා යොමු නොකරමිනි. කොළඹ හතේ පිහිටි නිවෙසක් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයකුගේ නිවෙසේ වාහනයක් නැතිද යන්න අමුතුවෙන් ප්‍රශ්න ඇසිය යුතු නැත. විශේෂයෙන් රිෂාඩ්ගෙන් එය ඇසිය යුතුද යන්නවත් අඩුම තරමින් අප සිතන්නේ නැත. කෙසේ වෙතත් ඉෂාලිනිගේ සිරුර ඉක්මන් ප්‍රතිකාර වෙත යොමුනොකර 1990 ගිලන් රථයක් පැමිණෙන තෙක් තබා ගැනීම කෙතරම් විස්වාස කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයකි. රිෂාඩ්ගේගේ දියණියගේ වයසද අවුරුදු 16 කි. ඉෂාලිනිගේ වයසද අවුරුදු 16කි. රිෂාඩ්ගේ නිවැසියන් සමවයසේ දරුවන් දෙදෙනකු කෙරෙහි යොමුකළ අවධානය මේ සිදුවු අවස්ථාවේ සිට හොඳ හැටි පැහැදිලිය.
කෙසේ වෙතත් ඊටත් වඩා මෙහි සැකය වන්නේ ඉෂාලිනි රෝහල් ගතකළ පසු ලබාදුන් තොරතුරුය. ඇය දෙමළ තරුණියක් වුවත් රිෂාඩ්ගේ මාමණ්ඩිය විසින් රෝහලට ලබාදී ඇත්තේ සිංහල නමකි.ඒ ඉෂානි යන නමින්ය.ඊටත් වඩා ඇයගේ වයස සඟවා අවුරුදු18ක තරුණියක බව ඔවුන් දන්වා තිබේ. එසේම ඉෂාලිනිගේ සොහොයුරා රෝහලට පැමිණි පසුව එහි සිටි පොලිස් ඇඳුමෙන් සැරසුණු පුද්ගලයෙක් දන්වා ඇත්තේ මෙය ගෙදර අය විසින් සිදුකළ සිදුවීමක් නොවන බවත් ඒ නිසා මෙය වැඩිදුර රැගෙන යාමට හෝ පොලීසිය වෙත යාමට අවශ්‍ය නොවන බවත්ය. මෙතරම් අභිරහස් දෙයක් සිදුව ඇතත් එය මේ ආකාරයෙන් සඟවන්නට උත්සාහ ගැනීමම මෙය සියදිවි නසාගැනීමකට වඩා ඝාතනයක් බවට සැකකළ හැකි සාධකය.
මෙම සිදුවීමේදී ඇය ශරීරයට භූමිතෙල් වක්කර සියදිවි නසාගත් බව පොලීසිය පවා මුලසිට සැකකළ දෙයකි. ඇගේ කාමරයෙන් භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක් හමුවීම ඒ සම්බන්ධයෙන් සැකය තහවුරු කිරීමේ එකම සාක්ෂි වී තිබිණි. එහෙත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීමේදී මීට පෙර මෙම නිවෙසේ මෙහෙකාර සේවය කළ වෙල්ලසාමි වල්ලිඅම්මා නැමැති කාන්තාව පවසා ඇත්තේ කිසිම දිනෙක එම නිවෙසට භූමිතෙල් රැගෙන ආවේ නැති බවය. එසේ නම් ඉෂාලිනිට නිවසින් බැහැරට පවා යා නොහැකි මොහොතක මේ ආකාරයෙන් භූමිතෙල් බෝතලයක් ආවේ කෙසේද යන්න බරපතළ සැකයක් බව අමුතුවෙන් කිවයුතු නැත.
විශේෂයෙන් මෙම දැරියට සිදුවන පහරදීම් සහ හිරිහැර සම්බන්ධයෙන් ඇගේ මව දැන සිටි නිසා මව ජූලි 6 වැනිදා ඇයව රැගෙන යාමට පැමිණෙන බව දන්වා තිබේ. එහෙත් ඇය ගිනිතබා ගත් බවට පවසන්නේ ජූලි 5 වැනිදාය. හෙට දිනයේ තමන් රැගෙන යාමට තම මව පැමිණෙන බව දැන දැනත් ඇය මේ ආකාරයෙන් ගිනිතබා ගනීද යන්න දහස් වාරයක් සිතියයුතු ප්‍රශ්නයකි. එපමණක් නොව දැරිය පස් වැනිදා සිට මිය යන දිනය දක්වාම ඇගේ මවට හමුවීමට අවස්ථාවක් ලබානොදීමම ගැටලුවකි. එසේම ඉෂාලිනිගේ පියාට බදියුදීන්ගේ බිරිඳගේ මව විසින් දන්වා ඇත්තේ ඉෂාලිනි නූලක් පුච්චන්න ගිය අවස්ථාවේ මෙය සිදු වූ බවය. එහෙත් ඇය බොරුල්ල පොලීසියට පවසා ඇත්තේ ඉෂාලිනි ගිනිගෙන කෑගසන අයුරු තමන්ට ඇසුණු බව කියාය.
ඒනිසා මේ එකිනෙක පරස්පර ප්‍රකාශත් සිද්ධිත් බැලූ කල මෙය මිනීමැරුමක් බවට සැකකළ හැකි සාධක ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණයට දන්වා සිටියේය. විශේෂයෙන් විදුලි ආලෝකයක් නැති, විදුලි පංකාවක් නැති කුඩාකාමරයක ඉෂාලිනිව සිරකිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් නැමැති ගෘහමුලිකයා වගකිවයුතු බව ඔහු අධිකරණයේදී කියා සිටියේය. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්ඩාමක් පත්කර නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකළයුතු බවට ඔහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. ඒ අනුව අධිකරණයේ නියෝගය වුණේ ජ්‍යේෂ්ඨ අධිකරණ වෛද්‍යවරු හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර මේ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදුකළයුතු බවත් ඒ සඳහා මළසිරුර ගොඩගතයුතු බවත්ය. ඒ අනුව ඉෂාලිනිගේ මළසිරුර අභිරහස් රුසකට පිළිතුරු සොයාදීම සඳහා පසුගිය සිකුරාදා නැවත ගොඩගනු ලැබීය.
මේ ආකාරයට ඉෂානිලිනිට සිදුවු අභිරහස් මරණය ගැන පරීක්ෂණ එක්පැත්තකින් එලෙස ආරම්භ කරන විට තවත් විමර්ශකයන් පිරිසක් නිවෙසේ මෙහෙකාරියන්ගේ අතීතය සොයගෙන යන්නට විය.එහිදී තහවුරු වුණේ මෙම නිවෙසේ මෙහෙකාරියන් 11 දෙනෙකු මීට පෙර සේවය කර ඇති බවය. එම මෙහෙකාරියන්ගෙන් එක් අයකු සොයාගොස් ප්‍රශ්න කරන විට ඇය බාලවයස්කාර මෙහෙකාරියක් ලෙස පැමිණි අවස්ථාවේ රිෂාඩ්ගේ මස්සිනා විසින් දෙවතාවක් ලිංගික අපයෝජනය කළ බව තහවුරු වී තිබිණි. ඇය මේ වන විට වයස අවුරුදු 22 වන අතර ඇයවද සම්බන්ධ කර ඇත්තේ රිෂාඩ්ගේ නිවෙසට ළමා මෙහෙකාරියන් සැපයු ශංකර් විසිනි. මෙහි මූලිකම දෙය වන්නේ ශංකර් විසින් දරුවන් මෙහෙකාර සේවයට යොමුකළා පමණක් නොව ඒ දරුවන්ගේ වැටුප් ශංකර්ගේ ගිණුමට ලබාගෙන ඉන්පසුව ඉන් කොටසක් ඔහු තමාගෙන ඉතිරිය ඒ දරුවන්ගේ දෙමාපියන්ට ලබාදීමය. මෙය සැබවින්ම ළමා මෙහෙකාර මිනිස් ජාවාරමක් වන අතර නීති සම්පාදන ආයතනය වන ව්‍යවස්ථායකය නියෝජනය කරන අයකු වන රිෂාඩ්ගේ නිවසේ මෙවැනි දෙයක් සිදුකිරීම තුළ ඔහු වැනි අයගෙන් මේ රටේ නීතියට ලැබෙන සෙත කුමක්දැයි ප්‍රශ්නයක් ඇත.
කෙසේ වෙතත් ළමුන් 11 දෙනාගෙන් තවත් දෙදෙනකුගෙන් ප්‍රශ්න කර විට ඔවුන් පවසා ඇත්තේ රිෂාඩ්ගේ මස්සිනා කිහිපවතාවක් තමන්ට ලිංගික හිංසන සිදුකිරීමට උත්සාහ ගත් බවත් ඒ සෑම අවස්ථාවකින්ම බේරීගිය බවත්ය. එසේම තවත් හයදෙනෙකුගේ ප්‍රකාශ ලබාගත් විට රිෂාඩ්ගේ බිරිඳ විසින් දැඩිලෙස පහරදුන් බවත් ඇතැම් අවස්ථාවල තමන්ව පුළුස්සා දැමු බවත් ඔවුන් සඳහන් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. විශේෂයෙන් මේ පරීක්ෂණ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසුවේ එක් අවස්ථාවක එක් තරුණියක් කොමොඩ් කටේ එබූ බවය. ඒ තරම් කෲර ලෙස තරුණියන්ට සලකා ඇති බව පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.
එකී ළමුන් 11ක් දෙනාගෙන් නව දෙනෙකුගේ ප්‍රකාශ ලබාගත්තත් ඇතැම් තරුණියන් ගැන කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී ඇත. ඒ ඔවුන් ඉන්නා තැන තවමත් නිශ්චිතව සොයාගැනීමට නොහැකි වී ඇති නිසාය. එහෙත් පොලිස් කණ්ඩායම් කිහිපයක් හැටන්, නුවරඑළිය ප්‍රදේශවලට ගොස් පරීක්ෂණ සිදුකරන්නේ ඔවුන්ගේද තොරතුරු ලබාගැනීමේ අරමුණෙනි.
කෙසේ වෙතත් ඉෂාලිනිගේ මරණයත් සමඟ මෙරට ළමා මෙහෙකාර සේවය ගැන නැවතත් බොහෝ දෙනාගේ අවධානය යොමුවී ඇත. එලෙස යොමු වී ඇත්තේ ඉෂාලිනි මරණයට පත්වු නිසාය. එසේ නොමැතිව ඉෂාලිනි ප්‍රතිකාර ලබාගෙන සුව වූවා නම් අද මේ සම්බන්ධයෙන් කතාබහක් ඇතිවන්නේ නැත. අඩුම තරමින් පරීක්ෂණයක්ද සිදුවන්නේ නැත. එයට හොඳම උදාහරණය ඉෂාලිනි රෝහල් ගතකළ මොහොතේ පටන් ඇයගේ ඥාතීන්ට වක්‍රාකාරයෙන් එල්ල කළ බලපෑම්ය. එපමණක් නොව ඉෂාලිනි මිය නොගියා නම් ශංකර් තවත් තරුණියක් ගෙනවිත් රිෂාඩ්ගේ නිවසට බර දෙනු ඇත. ඇයත් මේ ආකාරයෙන් වද හිංසාවට ලක්වානු ඇත. එසේනම් එම සිද්ධියද යට යනු ඇත. ඒ නිසා සැබවින්ම ඉෂාලිනිගේ මරණය සමස්ත ළමා ශ්‍රමිකයන්ගේ ජීවිතය බේරාගැනීමක් හා සමානය. එසේම රිෂාඩ්ගේ වධකාගාරය හෙළිදරව් කිරීමක් හා සමානය. ඒ නිසා තව දුරටත් මෙවැනි සිදුවීම් සිදුවීමට ඉඩ දෙනවාද? ඉෂාලිනි වැනි තරුණියන් තවත් මිය යන්නට ඉඩ දෙනවාද? යන්න මේ රටේ රජයත් වගකිවයුතු ආයතනත් තීරණය කළ මොහොතකි. මේ අවස්ථාව තවත් මග හරිමින් යන්නේ නම් ඉෂාලිනි වැනි දරුවන් දරිද්‍රතාවය හේතුවෙන් කොළඹ හතේ ගෙවල් වල අභිරහස් ලෙස මිය යනු ඇත.
ගයාන් ගාල්ලගේ