අතීතයේ ශ්‍රී ලංකාවේ පැවති පරිසර හිතකාමි ගොවිතැනට කණකොකා හැඬුවේ රසායනික පොහොර භාවිතයට එය නැඹුරු වීමත් සමඟය. පරිසරයට මෙන්ම මිනිස් ජීවිතවලට ඉන් විශාල බලපෑමක් සිදු වූ අතර පිළිකා, වකුගඩු වැනි රෝග රැසක් මෙරට තුළ ව්‍යාප්තවීමට එය බලපෑවේය. වත්මන් රජය යළි කාබනික ගොවිතැනට යොමුවීමට පියවර ගත්තේ ජනතාව මුහුණ පා සිටින මෙම භයානක උවදුරුවලින් ඔවුන් ගලවා ගැනීමේ අරමුණිනි.
පසුගියදා මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉතාලියේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ රාජ්‍ය නායක පූර්ව සැසියට සහභාගි වූ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා කියා සිටියේ කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති පුරාණ දියුණු වාරි ශිෂ්ඨාචාරයක් සමඟ දැඩිව බැඳුණු කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලංකාව සතු බවත්, එබැවින් තිරසර කෘෂිකර්මාන්තය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන බවත්. නව විද්‍යාත්මක දියුණුව සහ කළමනාකරණ ක්‍රමවේද සමඟ මෙරටට හිමි ඓතිහාසික භාවිතයන් යොදා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. රසායනික පොහොර මගින් ජනජීවිතයට බලපාන අහිතකර තත්ත්වය අවම කිරීම සඳහාත් අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතභාව සහ පෝෂණය සහතික කිරීම උදෙසාත් ශ්‍රී ලංකාව කාබනික පොහොර භාවිතයට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.
රසායනික පොහොර යනු ශාක වර්ධනය පවත්වා ගැනීම සඳහා පසට එකතු කරන පූර්ණ හෝ අර්ධ වශයෙන් කෘත්‍රිමව නිපදවන අකාබනික ද්‍රව්‍යයයන්ය. රසායනික පොහොර බෝග සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ තුනකින් සමන්විතය. එහෙත් ඒවායේ ආම්ලිකතාව ඉතා ඉහළ වන අතර පසෙහි සාරවත්භාවය ක්‍රමයෙන් අවම කරයි. කාබනික වගාව ලෙස සැලකෙන්නේ කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය හා පළිබෝධනාශක භාවිතයෙන් තොරව කෙරෙන වගාවයි. කාබනික පොහොර යනු ශාක වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු ස්වාභාවික ජීවීන්ගේ අවශේෂ හෝ අතුරුඵලවලින් ලබාගන්නා ද්‍රව්‍යයන්ය. ඒ සඳහා භාවිත කෙරෙනුයේ කොම්පෝස්ට් පොහොර, කොළ පොහොර සහ අස්ථි කොටස් වැනි කාබනික සම්භවයක් ඇති පොහොරය. ජෛව පළිබෝධ පාලනය, මිශ්‍ර බෝග වගාව සහ කෘමි විලෝපිකයන් පෝෂණය කිරීම එමගින් දිරිමත් කරනු ලැබේ. පසට ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ එකතු කිරීම, පාංශු කාබනික ද්‍රව්‍ය වැඩි කිරීම, ජලය රඳවා ගැනීමේ ධාරිතාව වැඩි කිරීම, සුළඟින් හා ජලයෙන් පස ඛාදනය වීම අවම කිරීම, මන්දගාමී එහෙත් නිරන්තරයෙන් පෝෂ්‍ය පදාර්ථ මුදා හැරීම කාබනික පොහොර මගින් සිදු වේ. කෘත්‍රිම පොහොර හෝ රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොර හෙයින් එමගින් පරිසරයට හානියක් නොමැත.
මේ වනවිට ලොවපුරා රටවල් 187 ක් කාබනික වගාවට යොමු වී තිබේ. දත්තවලට අනුව 2018 වසර වන විට හෙක්ටයාර 72,300,000ක පමණ භූමි ප්‍රදේශයක කාබනික ගොවිතැන සිදුවේ. ඒ අනුව ගෝලීය සමස්ත ගොවිබිම් ප්‍රමාණයෙන් 1.5ක් කාබනික වගාවන්ය.
2019 දී ඉන්දියාව ලොව ප්‍රමුඛතම කාබනික ආහාර නිපදවන රට බවට පත්වූයේ කාබනික නිෂ්පාදකයන් වැඩිම රට එරට වූ බැවිනි. එම වසරේ ඉන්දියාවේ කාබනික ආහාර නිෂ්පාදකයන් මිලියන 1.4 ක් සිටි අතර එය ලෝකයේ අනෙකුත් ප්‍රමුඛ රටවල් නවයේ ඒකාබද්ධ කාබනික ආහාර නිෂ්පාදකයන්ගේ සංඛ්‍යාවට වඩා වැඩිය. ඉන්දියාවේ වැඩිම කාබනික ආහාර නිෂ්පාදකයන් සංඛ්‍යාවක් සිටියද, ලොවපුරා කාබනික කෘෂිකාර්මික ඉඩම්වලින් වැඩිම කොටස ඕස්ට්‍රේලියාව සතුය. ඕස්ට්‍රේලියාවේ කාබනික වගාව සමස්ත කාබනික ගොවිබිම් සංඛ්‍යාවෙන් අඩක් පමණ වේ.
තම රටේ සමස්ත වගාවෙන් වැඩි ප්‍රමාණයක් කාබනික වගාවට වෙන්කර ඇත්තේ ලිච්ටෙන්ස්ටයින් රාජ්‍යයයි. එරට වගාවෙන් 38.5ක් කාබනිකය. සැමෝවාවේ 34.5ක්ද, ඔස්ට්‍රියාවේ 24.7ක් කාබනික වගාවන්ය. තවත් රටවල් 16ක, සමස්ත වගාවෙන් 10 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාබනික වගාව සඳහා වෙන්වී තිබේ.
අප්‍රිකානු රටවල සමස්ත කාබනික වගාව හෙක්ටයාර මිලියන 1.3කි. ඒ අතුරින් වැඩිම කාබනික වගාව සිදුකරන රාජ්‍යය උගන්ඩාවය. එහි හෙක්ටයාර 231,157ක කාබනික වගාව සිදුකරන අතර ලෝකයේ දෙවැනියට වැඩිම කාබනික වගාව සිදුකරන්නේද උගන්ඩාවය. එරට කාබනික වගාවේ නිරත ගොවියන් සංඛ්‍යාව 190,552කි.
ආසියාවේ සමස්ත කාබනික වගාව හෙක්ටයාර මිලියන 2.9කි. එහි නිරත ගොවීන් සංඛ්‍යාව 230,000කි. ආසියාවේ වැඩිම භූමි ප්‍රමාණයක කාබනික වගාව සිදු කරන්නේ චීනයයි එරට හෙක්ටයාර මිලියන 1.6ක කාබනික වගාව සිදු කෙරේ. යුරෝපා සංගමයට අයත් රටවල හෙක්ටයාර මිලියන 7.2ක් කාබනික වගාවට වෙන්වී තිබේ. යුරෝපයේ වැඩිම කාබනික වගාව සිදුවන්නේ ඉතාලියේය. එහි හෙක්ටයාර මිලියන 1,150,253ක ප්‍රදේශයක් කාබනික වගාව සඳහා වෙන්වී තිබේ. දෙවැනියට ස්පාඤ්ඤයද (හෙක්ටයාර 988,323), තෙවැනිව ජර්මනියද (හෙක්ටයාර 865,336) සිටී.
උතුරු ඇමෙරිකාවේ හෙක්ටයාර මිලියන 2.2ක් කාබනික වගාවට වෙන්වී ඇති අතර ඉන් වැඩිම වගාව ඇමෙරිකා එක්සත් ජනපදය මගින් සිදු කෙරේ. ලතින් ඇමෙරිකාවේ හා කැරිබියානු රටවල හෙක්ටයාර මිලියන 6.4ක්ද, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ෆීජි, පැපුවා නිව්ගිනියාව, ටොන්ගා සහ වනුවාතු වැනි රටවල හා දූපත්වල සමස්ත ගොවිබිම් ප්‍රමාණයෙන් හෙක්ටයාර මිලියන 12.1ක් කාබනික වගාව සඳහා වෙන්වී තිබේ. ඒ අනුව සමස්ත ලෝක කාබනික වගාවෙන් 38ක් සිදු කෙරෙන්නේ එම රටවලය.
ඉකෝවියා ඉන්ටලිජන්ස් නමැති වෙළඳපළ පර් යේෂණ සමාගමේ දත්තවලට අනුව කාබනික ආහාර සඳහා වන ගෝලීය වෙළඳපොළ 2018 දී ප්‍රථම වතාවට යුරෝ බිලියන 97 කට ආසන්න වූ අතර 2019 දී එය යුරෝ බිලියන 106 ඉක්මවා තිබිණි. 2019 කාබනික ආහාර සඳහා යුරෝ බිලියන 40.6 ක ගෝලීය වෙළෙඳාමක් සහිත ප්‍රමුඛතම වෙළඳපොළ එක්සත් ජනපදය සතු වූ අතර ජර්මනියේ (යුරෝ බිලියන 10.9) සහ ප්‍රංශයේ. (යුරෝ බිලියන 9.1) ඉල්ලුමක් පැවතියේය. එම වසරේ ප්‍රංශ කාබනික වෙළඳපොල 15 කට වඩා වර්ධනය විය.
ඒකපුද්ගල කාබනික ආහාර පරිභෝජනය අතින් ප්‍රමුඛ රටවල් දෙක වන්නේ ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්තයයි. එම රටවල එක් පුද්ගලයෙක් වාර්ෂිකව පිළිවෙලින් යුරෝ 344 සහ 338 ක් වටිනා කාබනික ආහාර නිෂ්පාදන පරිභෝජනය කරයි. ඩෙන්මාර්කයේ කාබනික ආහාර සඳහා වැඩිම ඉල්ලුමක් පවතින අතර එහි සමස්ත ආහාර වෙළඳපොලෙන් 11.5 ක්ම කාබනික ආහාරය. කාබනික ආහාර සඳහා වැඩිම ඒකපුද්ගල පරිභෝජනය සහිත රටවල් දහයෙන් පළමු අටම යුරෝපා රටවල්ය. නවවන හා දහවන ස්ථානවල පිළිවෙළින් එක්සත් ජනපදය හා කැනඩාවය.
මේ වනවිට ලොව රටවල් රැසක් රසායනික පොහොර භාවිතයෙන් ක්‍රමයෙන් ඈත් වෙමින් සිටී. 1990 දශකයේ සිට චීන රජය, විශේෂයෙන් එරට පළාත් පාලන ආයතන කාබනික කෘෂිකර්මාන්තයේ දියුණුව සඳහා විශාල වශයෙන් ආධාර ලබා දී ඇත.
ඉන්දියාව 2016 දී, උතුරු සිකිම් ප්‍රාන්තය 100 කාබනික ගොවිතැනක් බවට පරිවර්තනය කිරීමේ ඉලක්කය සපුරා ගත්තේය. කාබනික ගොවිපළ ආරම්භ කිරීම සඳහා මුදල් ආධාර ලබාදීමටද ඉන්දීය රජය පියවර ගෙන තිබේ. කෘෂි නිෂ්පාදන අලෙවියේදීද කාබනික නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් පවතී. අපනයන අගය පුළුල් කිරීම සඳහා ඉන්දියාව විවිධ උපාය මාර්ග අනුගමනය කරමින් සිටී. කාබනික සහල්, ධාන්‍ය වර්ග ආදිය අපනයනයේදී සාමාන්‍ය ගොවිතැනට වඩා වැඩි ආදායමක් ලබාගැනීමට එරට ගොවී ජනතාවට හැකිවී තිබේ.
ඩොමිනිකන් ජනරජය සිය කෙසෙල් වගාවෙන් විශාල ප්‍රමාණයක් කාබනික බවට පරිවර්තනය කර ඇත. ලොව සහතික කළ කාබනික කෙසෙල් වලින් 55 ක් ඩොමිනිකන් ජනරජය සතුය.
තායිලන්තය කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා තායිලන්ත තිරසර කෘෂිකාර්මික ප්‍රජාවන් සඳහා වන ආයතනය නමින් ආයතනයක් 1991 දී පිහිටුවන ලදී.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා