සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම ලියන ප්‍රවීණයකු වන නීල් විජේරත්නගේ නවතම සංචාරක අත්දැකීම් රචනා එකතුව මගේ ඉරිදාව පසුගියදා සූරිය ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. නවකතා, කෙටිකතා, පරිවර්තන වෙනම ක්‍රීඩා සාහිත්‍යයේද නිරත නීල් විජේරත්න වෘත්තියෙන් නීතිඥවරයෙකි.
මගේ ඉරිදාව අපට හඳුන්වා දුන්නොත්?
පසුගිය වසර ගණනාව මුළුල්ලේ මවිසින් ජාතික පුවත්පත් කිහිපයකට ලියන ලද ලිපි අතරින් තෝරාගත් ලිපි 38කින් මගේ ඉරිදාව කෘතිය සමන්විත වෙනවා. කොලම් ලිපි, දේශීය සහ භාරත සංචාර අත්දැකීම්, නෙක ආකාර දැන හැඳුනුම්කම්, පතපොත විත්ති සහ මෙරට ක්‍රීඩා ඉතිහාසය වැනි විෂය ක්ෂේත්‍ර මේ ලිපිවලට පාදක වෙනවා. මෙම ලිපි මාලාව කොටස් පහකට වෙන්කර තිබෙනවා.
එම කොටස් විස්තර කළොත්?
සැරිසර නින්නාද තමයි පළමු කොටස. ඒ යටතේ ඉන්දියානු ගමන් විත්ති මතක සටහන්, මැඩ්රාස් පික්චර් පෝස්ට් කාඩ් ලාහෝර් පින්තූර කොල්කතාවට පෙර කල්කටාව වාගේ ලිපි වෙනදා මා ලියන කතන්දරමය ගමන් විත්තිවලට වඩා වෙනස්. මෙහිදී මට අවශ්‍ය වුණේ කෙනෙක් කැමරාවෙන් දකිනවා වගේ දර්ශනමය අවස්ථා වචනයෙන් පාඨකයා හමුවට ගෙන එන්නටයි.
මෙහි දෙවැනි කොටසේ එන පාරු කයිවාරු ලිපිය බෙහෙවින් පාඨක අවධානයට ලක්වූවක්. දැනහැඳුනුම්කම් කොටස ඒ.සී. ඩෙප් රිටි පැනීම, බඹර කවි සහ පොලිසියේ ඉතිහාසය හඹා යාම, ඉෂාන් බහාර් අද අපි ඉන්නෙ විනෝදයෙන් මත්වී ඔව් මේ රූ ඩී.සී. ජයසිංහ.... අනේ ඩිංගක් ඉන්නකෝ, ඔය දෑත පොඩ්ඩක් දෙන්නකෝ වැනි ලිපි කිහිපයකින් සමන්විතයි.
පතපොත ඇසුර කොටසේ එන ලිපි අතර මා ළඟකදී නවදිල්ලි ගිය ගමන ගැනත් මගේ ප්‍රියතම ලේඛක කුෂ්වාන්ත් සිං නිතර ආගිය ඔහුගේ නිවස ඉදිරිපිට පොත් සාප්පුවට ගිය අවස්ථාව ගැනත් සඳහන් වෙනවා. අන්තිමට තිබෙන්නේ මෙරට ක්‍රීඩා පුරාණයේ සුවිශේෂී අවස්ථා කිහිපයක් ගැන ලියැවුණු ලිපියි.
සමහරු සංචාරක සටහන් වෙනම කෘති විදිහට ලිව්වත් ඔබ ඒවා තීරු ලිපි ලෙස ලිවීමට උනන්දු වුණේ ඇයි?
මෙය අහම්බෙන් වාගේ සිදුවූවක්. මා නිතර ඉන්දියාවට යන එන කලෙක තමයි මා මිත්‍ර තිලකරත්න කුරුවිට බණ්ඩාරගේ ආරාධනයෙන් පෙරදින කෙළිබිම නමින් ක්‍රීඩා තීරු ලිපියක් ලීවේ. ඉන්පසු යළිත් ඔහුගේ ඇරයුම මත මා ආදම්ගේ පාලම නමින් තීරු ලිපියක් සතිපතා ලිවීමට එකඟ වුණා. ඉන්දියාවේ එදිනෙදා සිදුවන කිසියම් වැදගත් දෙයක් ගැන ලිවීමටයි අප එකඟවූවේ. ඔය අතර මා අතින් මදුරාසි කොලුවා බොම්බායේ පදික වේදිකාවේ රොටි සුවඳ කල්කටාවේ චැටර්ජි මහතා එම මහත්මිය වගේ මගේ පෞද්ගලික අත්දැකීම් රුගත් ලිපි කීපයකුත් ලියැවුණා. මේ වගේ ලිපි මේ කොලමට ගැලපෙන්නෙ නැතිවේවිද යන චකිතය ඇත්තටම මගේ සිතේ තිබුණා. ඒ වුණාට ඒ ලිපි ජනප්‍රිය වුණා. ඒ අනුව ඒ මොඩලයේ කතා ලිවීමට උනන්දුවක් හටගත්තා.
ඔබ ලියූ මෙම තීරු ලිපිවලට ලැබුණු ප්‍රතිචාර ගැන කිව්වොත්?
ගමන් විත්ති පොත් කීපයක් ලියා පළකළ කෙනෙක් හැටියට මා තේරුම් ගත් එක් දෙයක් තිබෙනවා. ඒ ගමන් විත්ති කෘති පමණක් කියවන්නට උනන්දු වන සිංහල විශාල පාඨක පිරිසක් මෙරට සිටින විත්තිය. මගේ පෞද්ගලික අත්දැකීම අනුව මේ පාඨක පිරිස, විවිධ තරාතිරම්වල උදවියයි. ඔවුන් නවකතා, කෙටිකතා, කවිපොත් කියවන උනන්දුවක් නැහැ. ඔවුන්ගේ අවධානය ට්‍රුවල් රයිටිං ගැන පමණයි. මෙය පොත් ප්‍රකාශකයන්ගේ අවධානයට ලක්විය යුතු බව මා සිතනවා.
මෙම ලිපිවල සුහද බස්වහරක් අපි දකිනවා. ඒ බස් වහර හදාගත්තේ විදේශීය චාරිකා කෘති කියවීමෙන්ද?
ඍජු පිළිතුරක් දියහැකියි නැහැ කියලා. මා ලියන රටාව එහෙමත් නැතිනම් වචන භාවිතය මාත් එක්කම වයස්ගත වූවක් කියලා මට හිතෙනවා. ඇත්තටම මම ලියන්නට පටන්ගත් මුල් කාලයේ සිටම උනන්දු වුණේ ලියන හැම වැකියක්ම යම්කිසි චිත්තරෑපයක් පාඨකයා ඉදිරියේ මැවෙන ආකාරයට රසවත්ව ලියන්නයි.
ලොව අනෙක් රටවල් සමඟ බලනවිට අපේ චාරිකා සාහිත්‍ය දුප්පත් නේද?
1960-70 ගණන්වල හොඳ සංචාරක කතා සාහිත්‍යයක් අපට තිබුණා. මා දුටු තිබ්බතය, මා දුටු චෙකොස්ලෝවැකියාව, චීන චාරිකා, රුසියාවේ ඇවිද්ද පා සුන්දර යුරෝපය ඒ අතරින් කීපයක්. පසුව ඒ උනන්දුව ක්‍රමනේ හීන වුණා. හොඳට බැලුවොත් දැන් කාලෙ ජනප්‍රිය හා කුසලතා පූර්ණ නිර්මාණකරුවන් ඉඳහිට හරි සංචාරක පොතක් ලියන්නේ අවුරුදු පතා නවකතා කෙටිකතා පොත් ලියලා පොඩි විවේකයක් ගැනීමට බව පේනවා. ඉන්දියාවේ නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. චාරිකා සටහන් කෘති අනේක වාරයක් සාහිත්‍ය ඇකඩමි සම්මානය දිනා තිබෙනවා.
සමහරු ගෙදර ඉඳන් අන්තර්ජාලයෙන් බලලා සංචාරක ලිපි ලියන බව පේනවා නේද?
අන්තර්ජාල පහසුකම් තිබෙනා මේ කාලයේ විවිධ මාදිලියේ සංචාරක සටහන් ලිවීම අරුමයක් නොවේ. නමුත් අත්දැකීමක් නොලබා හොඳ සංචාරක රචනාවක් ලිවීමට බැහැ. මොන මට්ටමකට හෝ පාඨකයා දැනුවත් කරන්නට යමක් ලිවීම එක අතකට හොඳ දෙයක්. නූතන ගමන් විත්ති සාහිත්‍යය විමසුවොත් අපට තේරෙනවා. හුදෙක් සම්ප්‍රදායික රචනා සඳහා එතරම් පිළිගැනීමක් අද නැති විත්තිය. එකිනෙකා හඳුනා ගැනීම, අනෙකාගේ හඩට ඇහුම්කන්දීම, සමාජ ගවේෂකයකු සේ අනෙකා ගැන විමසිලිමත්වීම, අවට පරිසරයේ සුවඳ, රචකයාගේ පෞද්ගලික අත්දැකීම් ආදිය මේ යයි ගෙනහැර දැක්වීම සෙවණැල්ලක් මෙන් ඒවායෙන් ඉස්මතු විය යුතුයි.
කුසුම්සිරි